Main Logo

Thursday 6 August 2020

ඡන්දෙ ඉවරයි කවුද දිනුම්

                        


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9

 

 

 

ඡන්දෙ ඉවරයි කවුද දිනුම් 

 

ඡන්දෙත් ඉවරයි. ප්‍රතිඵල නම් ටිකක් පරක්කු වෙයි වගේ. ප්‍රතිඵල නිකුත් කළාට පස්සෙ හැමෝම තමන් දිනල ඇති බව අපට තේරුම් කරල දේවි. තමන් හැරෙන්න අනෙක් අය පැරදිල කියලත් කියාවි. ඒත් ඉතින් අගමැති වෙන්නෙ සජිත්වත් රනිල්වත් අනුරවත් සම්බන්ධන්වත් ඥානිස්සර හාමුදුරුවොත් නොවෙයි. රතන හාමුදුරුවො අගමැති වුණා නම් චම්පක මොනව හිතයි ද? චම්පකට ජනාධිපති තබා අගමැති වෙන්නවත් බැහැ. මන්ත්‍රී වෙන එකත් එච්චර ම විශ්වාස නැහැ. 

 පොදු ජන පෙරමුණ ජාතික ආණ්ඩුවක් හදයි කියලත් හිතන්න පුළුවන්. දේවානන්දල සහ තවත් අය එකතු කර ගෙන ඇමති මණ්ඩලය තිහට වැඩි කර ගන්නත් පුළුවන්. ඒවා හොඳ වැඩ නම් නො වෙයි. ජනාධිපතිතුමාට අවශ්‍ය ඇමති මණ්ඩලයක් පත් කර ගන්න ඉඩ දීල අනෙක් බලවතුන් අයින් වෙනව නම් හොඳයි. ඇතැම් බලවතුන් වැඩ කරන විධිය බලු වටින්නෙ නැහැ. මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන්න ඔවුන් තම අනුගාමිකයන්ට  ආශිර්වාද කරනවා. නීතිය අතට ගැනීම මුලදි ම නවත්තන්න පුළුවන් නම් හොඳයි.  

පොදු ජන පෙරමුණ හා ශ්‍රී ල නි ප අතර ඇති සමගිය නැති කරන්න ඇතැමුන් උත්සාහ දරාවි. එහි පිටුපස ඇත්තෙත් ඇමති ධුර කෑදරකම මිසක් වෙන එකක් නො වෙයි. ඔය ඇමතින් වෙන්න බලා ඉන්න අයත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් වෙලා ඊට පස්සෙ ඇමතිවරුන් වෙන්න බලන් ඉන්න අයත් තේරුම් ගන්න ඕන මෙය තම තමන්ගෙ සංවිධාන ශක්තිවල ජයග්‍රහණයක් නොවන බව. පක්‍ෂය පිහිටුවල අවුරුද්දෙන් දෙකෙන් බලය ගත්ත කියල උදම් අනන අය අමතක කරන කරුණ තමයි මෙය ජාතිකත්වයේ ජයග්‍රහණයක් බව. උදම් අනන්නන්ට කිසිම ඉඩක් දිය යුතු නැහැ.  

ඒ වගේම ඩීල් (ගණුදෙනු) දේශපාලනඥයනුත් දැන් නැවත කරළියට එයි. ඩීල් දේශපාලනයට සම්පූර්ණයෙන් තිත තියන්න ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට අනෙක් සියල්ලන් ම උදව් කරන්න ඕන. කවුරු හරි හිතනවා නම් දැන් මැතිවරණය ඉවරයි ආයෙ ඔය ජාතිකත්ව කාරයන්ට ඉඩ නැහැ කියල ඔවුන්ගෙ බලාපොරොත්තු සුන් වේවි. ඩීල්කාරයන්, මැරයන්, පාතාලයන්, පරිසර නාශකයන් ආදීන් දේශපාලනයෙන් ඉවත් කිරීමට පළමු පියවර ගන්න ඕන කාලෙ ඇවිදින්.  

පිහිටුවන්න යන ආණ්ඩුව ජාතික මතධාරීන්ගේ පමණක් ආණ්ඩුවක් නොවන බව අප දන්නවා. ජාතික මතධාරීන්ගේ පමණක් පක්‍ෂයකට ඡන්දය දෙන්න තවමත් ජනතාව සූදානම් නැහැ. ඒත් 1994 මා කළුතරට තරග කරපු කාලයට වඩා අවුරුදු විසිපහකට පමණ පස්සෙ ජාතිකත්වය බලවත් වෙලා. ඡන්ද ප්‍රතිඵලවලින් ඒ බව පැහැදිලි වේවි. කොටි පැරැද්දුවෙත්, දහතුනට යටවෙලා හරි ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කර ගත්තෙත් ජාතිකත්ව දේශපාලනයකින් බව අමතක කළ යුතු නැහැ. 

අපි දැනට මේ දුම්රියේ යනවා. අප දන්නවා මේ දුම්රියේ හා අනෙක් ප්‍රධාන දුම්රිය අතර වෙනස. අප දුම්රිය තෝරගන්න දන්නවා. මාතරට යන්න ඕන මිනිහ බදුලු දුම්රියේ නගන්නෙ නැහැ. මෙරට වමට මේ වෙනස හඳුනාගන්න බැහැ. මාක්ස්වාදයේ එයට ඉඩක් නැහැ. ඔවුන් මොන දුම්රියේ නැග්ගත් ඒක පීලි පනිනවා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයෙන් විද්‍යුත් චුම්බක සංසිද්ධි සඳහා කතාවක් ගොඩනගන්න බැහැ. පට්ටම පට්ටපල් බොරුවක් වූ මාක්ස්වාදයට ජාතිකත්වය තේරෙන්නේ නැහැ.  

මෙවර මැතිවරණයේ ඡන්දය දීමේ ප්‍රතිශතය 71ට අඩුවෙලා. කොවිඩ් 19 එහි දී සුළු කාර්යභාරයක් කරන්න ඇති. ඒත් මෙරට සිංහල ජනයා ඡන්දය දෙන්නෙ ඔහොම තමයි. ජනාධිපතිවරණයකින් තම ජනප්‍රිය අපේක්‍ෂකයා ජයග්‍රහණය කිරීමත් සමග පැවැත්වෙන මැතිවරණයක ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවා. 2010 මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වූ අවස්ථාවේ ඡන්දදායකයන් 74.5%ක් ඡන්දය දී තියෙනවා. එහෙත් 2010 මැතිවරණයේ දී ඡන්දය දී ඇත්තේ 61%ක් පමණයි. මේ ප්‍රතිශතවලට දෙමළ මුස්ලිම් ඡන්ද ද ඇතුළත්. ඔවුන් සාමාන්‍යයෙන් එක ම ආකාරයකින් මෙන් ඡන්දය දෙනවා. ඒ කියන්නේ සිංහල ඡන්දදායකයන් ඡන්දය දීමේ ප්‍රතිශතය 15කින් පමණ අඩුවෙනවා කියන එකයි.  

මෙවර ද එවැනි ම රටාවක් පෙන්නුම් කරනවා. 2019 ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයන් 83.7%ක් ඡන්දය දී තියෙනවා. මෙවර මැතිවරණයේ දී එය 71%  දක්වා අඩු වෙලා. අඩු නොවන දෙමළ මුස්ලිම් ඡන්දදායකයන්ගේ ඡන්ද ප්‍රතිශතවලට ඉඩක් තිබ්බොත් සිංහල ඡන්දදායකයන් ඡන්දය දීම 14%කින් 15%කින් පමණ අඩුවෙලා කියා හිතනවා. මේ ගැන අනවශ්‍ය ආකාරයකට කලබල වෙන්න ඕන නැහැ. ඒත් සිංහල ඡන්දදායකයන් තම අලස මනස වෙනස් කර ගන්න උත්සාහ කරන්න ඕන.  

2015 දි එහෙම ලොකු ප්‍රතිශත වෙනසක් සිද්ධ වුණෙ නැහැ. ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයන් 81.5%ක් ඡන්දය දීල තිබුණ. මැතිවරණයෙ දි 77.7%ක් ඡන්දය දීල තිබුණා. අර වගේ ලොකු ප්‍රතිශත වෙනසක් වුණෙ නැහැ. ප්‍රතිශත වෙනස 4ට අඩුයි. කාට හරි මේ ගැන පූර්ණ අධ්‍යයනයක් කරන්න පුළුවන්. එය එතරම් අමාරු දෙයක් නො වෙයි. ඕන නම් පර්යේෂණ පත්‍රිකා දෙක තුනක් ලියන්නත් පුළුවන්. හොඳ අධ්‍යයනික මාතෘකාවක් දාගන්න වෙයි.   

ජාතිකවාදීන් මේ ආණ්ඩුවෙන් යම් වැඩ කොටසක් බලාපොරොත්තු වෙනවා. ඒ සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩනැගීම නම් නො වෙයි. එහෙත් ඒ සඳහා අඩිතාලමක් අත්තිවාරමක් දමන්න පුළුවන් වේවි.    

 

  

 

A