Main Logo

Tuesday, 11 August 2020

අලි සබ්‍රි අලි ප්‍රශ්නයක් නොවිය යුතුයි

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






අලි සබ්‍රි අලි ප්‍රශ්නයක් නොවිය යුතුයි

මා හිතන්නේ මෙරට දෙමළ ජාතිවාදී ප්‍රශ්නය දැන් බොහෝ දුරට විසඳිලා කියල. දෙමළ ජාතිවාදී ප්‍රශ්නය කියන්නෙ දෙමළ කතාකරන ජනයාට වූ ඊනියා අසාධාරණයක් නිසා ඇති වූ ප්‍රශ්නයක් නො වෙයි. එය සිංහල ජාතිකත්වයට, විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව විදේශිකයන් පළමුව වෙල්ලාල නායකයන් ද පසුව ත්‍රස්තවාදය ද යොදා ගැනීමේ ප්‍රතිඵලයක්. අද විදේශිකයන්ට තව දුරටත් එය පවත්වා ගෙන යන්න බැහැ. විග්නේෂ්වරන්ලා ගජේන්ද්‍ර පොන්නම්බලම්ලා රූකඩ පමණයි. ඔවුන් පාර්ලිමේන්තු එන්නේ ජේ ආර්ගේ ඊනියා ජාතික ලැයිස්තුවල පිහිටෙන් මිස ජනතා ඡන්දයෙන් නො වෙයි. ඔවුන් කොළඹ පදනම් කරගත් වෙල්ලාල නායකයන්. 

එහෙත් මුස්ලිම් ප්‍රශ්නය එසේ නො වෙයි. එය උපතින් ම ජාත්‍යන්තරයි. එය විදේශිකයන් විසින් මෙහෙයවනු ලබන්නක් නො වෙයි. එය විදේශික ප්‍රශ්නයක්. අද ලෝකයේ ඇත්තේ සභ්‍යත්ව තුනක ගැටුමක්. හන්ටින්ග්ටන්ගේ සභ්‍යත්ව ගැටුම මාක්ස්ගේ ඊනියා පංති ගැටුම වගේ නොවෙයි. මාක්ස්වාදී වචනවලින් ම කියනවා නම්  සභ්‍යත්ව ගැටුම, ඊනියා පංති ගැටුම මෙන්  මනෝරාජික වූවක් නො වෙයි. ලෝක සභ්‍යත්ව ගැටුම තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි, මුස්ලිම් හා චීන සභ්‍යත්ව අතර. බෞද්ධ සභ්‍යත්වය කියා එකක් නැහැ. සභ්‍යත්වය යන්න බටහිර සංකල්පයක්. ඒ වචනය සිවිලිසේෂන් යන්නෙහි පරිවර්තනයක් ලෙසිනුයි යෙදෙන්නෙ. ඒ නිසා අප සභ්‍යත්වය යන වචනය යොදා ගන්නේ නම් අදාළ අර්ථයෙන් යොදා ගන්න ඕන. මාටින් යක්ගේ චීන සභ්‍යත්ව රාජ්‍යය සංකල්පය සිංහල සමාජයේ යොදා ගන්න බැහැ. සිංහල බෞද්ධ රාජ්‍යය කියල කටක් ඇරල කියන්න බැරි අයට නම් සභ්‍යත්ව රාජ්‍යය හොඳයි. 

ලෝකයේ හින්දු බෞද්ධ සභ්‍යත්වයකුත් නැහැ. එවැන්නක් නැති නිසා අප අතරමං වූ ගතියක් දැනෙනවා. ඒ කෙසේ වෙතත් ක්‍රිස්තියානි සභ්‍යත්වයේ රටවල් හා මුස්ලිම් සභ්‍යත්වයේ රටවල් අතර ගැටුම ඔවුන්ගේ රටවල තදින් ම කෙරී ගෙන යනවා. එහෙත් මෙහි වැඩි දෙනකු නොසිතන පැත්තක් තියෙනවා. හින්දු බෞද්ධ රටවල දී ක්‍රිස්තියානි සභ්‍යත්වය විසින් අදාළ සංස්කෘතීන්ට විරුද්ධ ව මුස්ලිම් සභ්‍යත්වය යොදා ගැනෙනවා. 

එපමණක් නො වෙයි. ක්‍රිස්තියානි රටවල් ඇතැම් විට බෞද්ධයන් ද ඒ ඒ රටවල මුස්ලිමුන්ට විරුද්ධ ව යොදා ගන්නවා. ලංකාවේ හා තවත් රටවල එය සිදු වෙනවා. ඒවා මෙහෙයවෙන්නේ එකම තැනකින්. වියනා සම්මුතිය නිසා මට මෙයට වැඩි දෙයක් කියන්න බැහැ. මෙරට මුස්ලිම් අන්තවාදයට විරුද්ධ සංවිධාන සමග අප එකතු වන්නේ නැත්තේ ඇයි ද යන ප්‍රශ්නය විවිධ ජාතිකවාදීන්ට තිබුණා. දැනුත් තියෙනවා. එහෙත් අප ක්‍රිස්තියානි සභ්‍යත්වයේ බළල් අතක් වී බෞද්ධ මුස්ලිම් ගැටුමක කොටස් කරුවන් වීමට සූදානම් නැහැ.  

මුස්ලිම් සංස්කෘතීන් අනුව ඔවුන් බොහෝ විට වෙනත් රටකට ගියත් ඒ රටෙහි සංස්කෘතියට අවශෝෂණය වන්නේ නැහැ. මෙය තරමක් දුරට වෙනස් වන්නේ පැරණි ස්වර්ණභූමියේ මුස්ලිමුන් අතර. ඉන්දුනීසියාවේ අදත් හින්දු බෞද්ධ සංස්කෘතික ලක්‍ෂණ තියෙනවා. අප රටට ගෙනා මැලේ ජා ආදී මුස්ලිමුන් සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය ලෙස පිළිගෙන කටයුතු කරනවා. එහෙත් කේරළ තමිල්නාඩු දේශසීමාවෙන් පැමිණි මලයාලම් වචන මිශ්‍ර දෙමළ කතා කළ අරාබි මුස්ලිමුන් එසේ නො වෙයි. මෙරට බහුතර මුස්ලිමුන් එසේ වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි අයගෙන් පැවතෙන්නන්. 

මොවුන් සිංහල ජනසමාජයට එකතු වන්නේ ඉතා හෙමින්. අද එ  අය සිංහල කතා කිරීමට පටන් ගෙන තියෙනවා. එය හොඳ ලක්‍ෂණයක්. එහෙත් ඒ අතර ඔවුන් අරාබි භාෂාව යෙදා ගැනීමටත් උත්සාහ කරනවා. කාත්තන්කුඩිය පැත්තේ අරාබි භාෂාවෙන් පාරවල නම් ලියා තියෙනවා. රට ඉඳි වවනවා. ඒ අතර මද්‍රාසා පාසල් පවත්වාගෙන යනවා. තවත් දේ කරනවා. මේ තමයි මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණය. එයට ඇතැම් මුස්ලිම් රටවල් සක්‍රීය ව සහභාගි වෙනවා. පසුගිය දා හිස්බුල්ලා කතාවස්තුවෙන් කියැවුණෙ ඒ කරුණයි. විදේශීය මුස්ලිම් ආක්‍රමණයක මුල් තවත් තැන්වලත් විහිදිලා. 

අලි සබ්‍රිට ඇමති තනතුරක් දීම සාකච්ඡා කළ යුත්තේ මේ සංදර්භයේ. මා හිතන පරිදි ඔහු කළුතර හැදුණු වැඩුණු කෙනෙක්. ඔහුට සිංහල පුළුවන්. ඔහු සමහර විට සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගන්නවාත් වෙන්න පුළුවන්. එහෙත් ඔහු පාස්කු ප්‍රහාරය කාලයේ සිට ඊයේ පෙරේදා වන තුරු කර ඇති ඇතැම් ප්‍රකාශ සිංහල බෞද්ධයන්ට විරුද්ධයි. එවැනි තැනැත්තකු මහා බුද්ධිමතකු වුවත් නීති විශාරදයකු වුවත් සිංහල බෞද්ධයන් අතර පිළිගැනීමට ලක් වන්නේ නැහැ. අලි සබ්‍රි අලි සබ්‍රි කෙනකු මිස පොඩි සබ්‍රි කෙනකු නොවන බව සිංහල බෞද්ධයන් දන්නවා. එහෙත් අලි සබ්‍රි අලි ප්‍රශ්නයක් නොවිය යුතුයි. 

මා කියන්නේ මේ අමාත්‍ය මණ්ඩලයේ මුස්ලිම් ඇමතිවරුන් නොසිටිය යුතු බව  නො වෙයි. මෙරට ඇත්තේ සිංහල ජාතිය පමණක් නො වෙයි. ජනවර්ග හා ජන කොටස් මෙරට ඉන්නවා. අපට ඔවුන් පිට කරන්න බැහැ. අප ඔවුන් ජාතිය ඇතුළට ගන්න ඕන. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ ඔවුන් සිංහල බෞද්ධ විය යුතුයි කියල. මෙරට පොදු සංස්කෘතියක් තියෙන්න ඕන. පොදු ජන විඥානයක් තියෙන්න ඕන. පොදු සංස්කෘතියෙහි ප්‍රධාන සංරචකය සිංහල බෞද්ධ. ඒ පොදු බව ඇතුළෙ ඒ ඒ ජනවර්ගවල, ජන කොටස්වල අනන්‍යතා තියාගන්න පුළුවන් වෙන්න ඕන. 

අප දෙමළ ජන කොටස් හා මුස්ලිම් ජනවර්ගය පිට මිනිසුන් හැටියට නොසැලකිය යුතුයි. අප කල්පනා කළ යුත්තේ ඔවුන් ඇතුළත් කර ගන්නේ කෙසේ ද කියායි. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ සියළු සංස්කෘතීන් සමානය කියා. ලෝකයේ කිසිම රටක එහෙම සංස්කෘතීන් සමානත්වයෙන් සැලකෙන්නේ නැහැ. බටහිරයන්ගේ බහුසංස්කෘතික බහුබූතය අප රැවටීමට තනාගත් සංකල්පයක් පමණයි. එංගලන්තයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට තියෙන තැන වෙනත් කිසිම සංස්කෘතියකට ලැබෙන්නේ නැහැ. ප්‍රංශ සංස්කෘතියට කොහොමටවත් ලැබෙන්නේ නැහැ.

අප මුස්ලිම් ජාත්‍යන්තරයට එරෙහි ව ගොස් මුස්ලිම් ජනතාව දිනා ගන්න ඕන. ඔවුන් ජනාධිපතිවරණයේදීත් මැතිවරණයේදීත් ඡන්දය දී ඇත්තේ සජිත්ට හා ඔහුගේ පක්‍ෂයට. මැතිවරණ ප්‍රතිඵලවලින් ඒ බව පැහැදිලියි. හකීම්ලාට ලැබී ඇති මනාප සලකන්න. අලි සබ්‍රි මුස්ලිම් ඡන්දදායකයන්  දිනාගෙන නැහැ. අතාවුල්ලා වැනි අයකු මුස්ලිම් ජනයා සජිත්ලාට ඡන්දය දීමෙන් වැළැක්වීමට සබ්‍රිට වඩා වැඩ කර තියෙනවා. ඇමති මණ්ඩලයේත් ඉන් පිටත් සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනත් ජනවර්ග ජනකොටස් දිනාගත හැකි අයට අවස්ථාව තියෙන්න ඕන.