෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
ජාතිකත්වයට විරුද්ධ ඊනියා වමට අම්බලමක් වූ ජවිපෙ
ඊයේ ලිපිය වෙනදා තරම් පිරිසක් කියවා නැහැ. එහි මාතෘකාව බොහෝ දෙනාට එතරම් ආකර්ෂණීය වී නැහැ. මා හිතුවාට එහි සාහිත්‍ය රසයක් නොතිබෙන්න ඇති. ඔවුන් හරිනි වැදගත් නැහැ කියලත් හිතන්න ඇති. හරිනි මෙරට දේශපාලනයට සතපහක වැදගත්කමක් නැති බව ඇත්ත. මා ඇගේ නම අවසානයේදීත් මාතෘකාවේදීත් සඳහන් කෙළේ ජ වි පෙරමුණට වී ඇති ඇබැද්දිය කීමට පමණයි. ජ වි පෙරමුණ දැන් අවශ්‍ය වී ඇත්තේ නාගරික පුහු උගතුන් කිහිප දෙනකුට පමණයි. ඔවුන් අතර ඊනියා මහාචාර්යවරුන් මෙන් ම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට තරම් උසස් පෙළ පරීක්‍ෂණයෙන් ලකුණු ගැනීමට බැරිව තම දෙමව්පියන්ගේ මුදලින් හරි දෙමව්පියන්ගේ දේශපාලන සම්බන්ධකම්වලින් හරි පිටරට මොකක් හරි විශ්වවිද්‍යාලයකට ගිහින් උපාධිය ගත්ත අයත් ඉන්නවා. එ සමහරුන්ට පශ්චාත් උපාධිත් ඇති. අපි නොදන්න පශ්චාත් උපාධි!
උසස් පෙළ පරීක්‍ෂණයත් ශිෂ්‍යත්ව පරික්‍ෂණයත් මා කුඩා කල පාසල්වලට ඇතුළත් කිරීම සඳහා පැවති පරීක්‍ෂණත් තරග විභාග. ඒ පරීක්‍ෂණවලින් සමත් වීම අසමත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් වුවත් අදාළ පාසල්වලට, විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට හැකි වීම යම් මිනුම් දණ්ඩක් ලෙස සැලකෙනවා. ඒ බැරි අයටත් පශ්චාත් උපාධිත් ලබා ගන්න පුළුවන්. අර මිනුම් දණ්ඩ වැඩක් නැහැ කියා කාට හරි කියන්න පුළුවන්. මේ එකක්වත් වැඩක් නැහැ තමයි. නමුත් රැකියාවක් ලබා ගැනීමේ දී මේ වැදගත් වෙනවා. ලංකාවේ එය වඩාත් වැදගත් වන්නේ අලුත් දැනුමක් සංස්කරණය කරන්නන් ලංකාවේ නැති නිසයි. උසස් පෙළින් පසුබා කොහෙන් හරි උපාධියක් අරගෙන ඉන් පසු හරිහමන් රැකියාවකුත් ලබා ගැනීමට නොහැකි ව පොරවල් වෙන අයත් ලංකාවේ ඉන්නවා. හරිනිට නම් විශ්වවිද්‍යාලයක රැකියාවක් ලැබුණා. හරිනි වෙනුවෙන් ලියන ඇතැමුනට එහෙමවත් නැහැ. ඔවුන් අලුත් අදහසක් කියලත් නැහැ. ඒත් පොරවල්.
මට අවශ්‍ය වුණෙ ජ වි පෙ ගැන කියන්න. මා දැක්කා සුමේධ වීරවර්ධන (ඔහු දර්ශනය පිළිබඳ ව ප්‍රථම පංතියේ සාමාර්ථයක් තියෙන විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකු බව කියන්නේ දාර්ශනිකයන් කුලප්පු කිරීමට ම නොවෙයි) තම මුහුණු පොත් ගිණුමේ ජයදේව (උයන්ගොඩ නොවෙයි) නමැත්තකුගේ ලිපියක් පළ කර තිබෙනවා. ජයදේව හැත්තෑවේ දශකයේ මුල පේරාදෙණියේ සිටි ජ වි පෙ ක්‍රියාකාරිකයෙක්. ලිපියෙන් කියැවෙන් ඔහුගේ අත්දැකීම් කිහිපයක්. ඔහු ජ වි පෙ අත්හැර ගිහින්. ඔහු හැත්තෑවේ පේරාදෙණියේ එළිමහන් රඟහලේ (වලේ) විජේවීර පැවැත් වූ දේශනයක් ගැන කියා තිබුණා. මාත් වික්‍රමබාහුත් ඒ දේශනය ඇසීමට ගියා. මා විජේවීර පළමු වරට දුටුවේ එදා. අප දෙදෙනාට නම් ඒ කතාව විකාරයක් වුණා. මා හිතන්නේ අප ට්‍රොට්ස්කිවාදී දෘශ්ටියකින් දේශනය ඇසූ නිසා එසේ වන්න ඇති. අප කාටත් දෘශ්ටි තියෙනවා. සමහරු ලියන්නේ හරියට තමන්ට දෘශ්ටියක් නැතිව වගේ. ඒ අය නිවන සම්මාබෝධ කළ අය වෙන්න ඇති.
මට විජේවීර අවසාන වරට මුණ ගැසුණේ ඔහු සැඟ වී සිටි කාලයේ රත්මලානේ එක්තරා නිවසක දී. ඒ නිවස මගේ පාසල් මිතුරකුගේ. මගේ මිතුරා ජ වි පෙරමුණට එකල හිතවත් ව හිටියා. පසු කලෙක ඔහුට ලංකාව අත්හැර යන්නත් සිද්ධ වුණා. මා ජ වි පෙට විරුද්ධව ලියන විට එහි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් මා ඝාතනය කිරීමට උත්සාහ දැරුවා. ඒ අතර සමහර ජ වි පෙ ශිෂ්‍ය නායකයන් මා හමුවන්නත් ආවා. දේශපාලනයේ දී එවැනි දේ සිදුවෙනවා.
විජේවීර මෙරට වමට ජාතිකත්වයක් මුසු කරන්න දැරූ දෙවැනි පුද්ගලයා. පළමු පුද්ගලයා වෙන කවුරුන්වත් නොවෙයි මෙරට මාක්ස්වාදයේ පියා වූ පිලිප් ගුණවර්ධන. විජේවීරට අමතර ව ජී අයි ඩී ධර්මසේකරත් වමට ජාතිකත්වය මුසු කරන්න උත්සාහ ගත්තා. සෝභිත හාමුදුරවන්ගේ සභාපතිත්වයෙන් අප චින්තන පර්ෂදය පිහිටුවද්දී ධර්මසේකරත් එහි ආරම්භක සාමාජිකයකු වුණා. අද ඔහු පැවිදි ජීවිතයක් ගත කරනවා. චින්තන පර්ෂදයෙහි කුලියාපිටියේ ප්‍රනන්දත් පවිත්‍රා වන්නිආරච්චිගේ පියා වූ ධර්මදාස වන්නිආරච්චිත් පියසේන දිසානායකත් ආරම්භක සාමාජිකයන්. චින්තන පර්ෂදයෙහි ආරම්භක සාමාජිකයන් අතර ලාබාලයා ගෙවිඳු කුමාරතුංග. අද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. කවුරු හරි පඬියකු කියන්න බැරි නැහැ තාම දිවුරුම් දී නැහැ කියා.
ගෙවිඳුගේ මිතුරකු හිටියා රොහාන් සිල්වා කියා. ඔහුත් එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඔහු කතෝලික බැතිමතෙක්. ගෙවිඳු සමග විසිදුනු මුද්‍රණාලය පටන් ගත්තේ රොහාන් හා තවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වූ නෙම්සිරි ජයතිලක. නෙම්සිරිත් දැන් බෞද්ධ නමුත් කතෝලික පවුලක උපන්නෙක්. රොහාන් අද ඕස්ත්‍රේලියාවේ. නෙම්සිරි විවෘත විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ දර්ශනය උගන්වා (දාර්ශනිකයන් කැමති වේ ද) දැන් විශ්‍රාම ගෙන. ඔහු චින්තන පර්ෂදයේ වත්මන් භාණ්ඩාගාරික. මා තවමත් ලේකම්. සමහර විට මා ඒ අතින් රනිල්ට වඩා පරණ වෙන්න පුළුවන්. අපේ ජීවිත ඔහොම තමයි. මා මියන්මාරයේ.
චින්තන පර්ෂදයේ වැඩ වට්ස්අප් මගින් කෙරෙනවා. සුම් සාකච්ඡාවක් ද තියන්න බලාපොරොත්තු වෙනවා. පඬි නැට්ටන්ට එය ප්‍රශ්නයක් ද? ඔවුන්ට ප්‍රශ්නයක් වුණත් රටටවත් පර්ෂදයටවත් ප්‍රශ්නයක් නොවෙයි. චින්තන පර්ෂදයෙන් රටට යම් බලපෑමක් වුණා ද කියා මා දන්නේ නැහැ. ගුණදාස අමරසේකර කිසි දිනෙක චින්තන පර්ෂදයෙහි සාමාජිකයකු නොවූ බවත් කියන්න ඕන.
ධර්මසේකරට විජේවීරට වඩා ජාතිකත්වයක් තිබුණා. ඔවුන් දෙදෙනා ම මාඕවාදීන් ව සිටියා. මාක්ස්වාදීන් අතරින් මාඕවාදීන් තමයි ජාතිකත්වයට වඩා නැඹුරු වුණේ. මගේ ජාතිකත්ව ගමන වෙනත් ම ගමනක්. එය පටන් ගත්තේ ට්‍රොට්ස්කිවාදයෙන් හා භෞතික විද්‍යාවෙන්. මාඕවාදයෙන් ජාතිකත්වයට පැමිණි ඇතැමුන් තවමත් මා දෙස බලන්නේ සැකයෙන්. ජ වි පෙරමුණේ කවදා හරි හිටි අයට අවිඥානික ව හරි මාඕවාදී හැඩහුරුවක් තියෙනවා. ඔවුන්ට මා අවිශ්වාසයි.
ධර්මසේකරට විජේවීරට වඩා ජාතිකත්වයක් තිබුණත් ඇමරිකන් තනාපති කාර්යාලයට පහර දෙන කාලයේ ඔහුට විජේවීරට වඩා අනුගාමිකයන් ජ වි පෙරමුණේ හිටියත් ධර්මසේකර පසුව අසාර්ථක වුණා. වැඩි පිරිසක් තමන් වඩා ප්‍රායෝගික යැයි සිතූ දේශපාලනයක් කළ විජේවීර සමග එක් වුණා. විජේවීර මුල සිට ම ජාතිකත්වය හා මාක්ස්වාදය (මාඕවාදය) අතර දෝලනය වුණා. ඔහු ඒ ඒ අවධිවල ලියූ ලේඛනවල එය දකින්න පුළුවන්. එයින් කියන්නේ මා ඒ සියළු ලේඛන කියවා ඇතැයි යන්න නො වේ.
හැත්තෑඑකට වඩා අසූ ගණන් වෙන විට විජේවීරගේ ජාතිකත්වය වැඩි වෙලා තිබුණා. එයට කොටි ත්‍රස්තවාදයත් බලපෑවා. ජ වි පෙරමුණ කොටින්ට විරුද්ධයි. මා දන්නවා ඇතැම් දේශපාලනඥයන් ජ වි පෙරමුණට විරුද්ධ ව ප්ලොට් සාමාජිකයන් යෙදා ගත් බව. ඔවුන් ප්ලොට් ආයුධත් යොදා ගත්තා. ඉන්දු ලංකා ගිවිසුම හා ඒ සම්බන්ධ ක්‍රියාවලිය මගින් විජේවීර හා ජ වි පෙ තවත් ජාතිකත්වයට යොමු කළා. ගුණදාස අමරසේකර ගණඳුරු මැද අරුණළු දැක්කා. ඔහුත් ජාතිකත්වය හා මාක්ස්වාදුී සමාජවාදය මුසු කර ගත්තෙක්.
විජේවීර ඝාතනය කෙරුණා. ජ වි පෙට නායකත්වය දෙන්න සෝමවංස අමරසිංහ ආවා. ඔහු හිටියේ එංගලන්තයේ. මට සෝමවංස මතක විජේවීරගේ කිට්ටු සගයකු ලෙස. විජේවීරගේ පොතක් රැගෙන ඔහු අපේ නිවසට පැමිණියා. මගේ මතකය එය දෙමළ ජාතිවදය ගැන ලියු පොත බව. සෝමවංස විජේවීරටත් වඩා ජාතිකත්වයට නැඹුරුයි. මට ඔහු අවසන් වරට මුණ ගැසුණේ පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් සමග අර විශ්වාසභංගයේ ඡන්දය දීම ගැන සාකච්ඡා කිරීමට බත්තරමුල්ලට ගිය අවස්ථාවේ. මගේ මතකය එදා අනුර බණ්ඩාරනායක ලණුවක් කා එ ජා පක්‍ෂයට ගියා කියලයි.
මේ සියල්ල අතර ජ වි පෙරමුණේ ජාතිකත්වය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරියට ආවා. එක් මතයක් ජාතිකත්වය සමග සම්බන්ධකම් තවදුරටත් ගෙන යෑම. ඒ වෙනුවෙන් සෝමවංස අමරසිංහ හා විමල් වීරවංස පෙනී සිටියා. ජාතිකත්වය අතහැරීම අනුර දිසානායක විජිත හේරත් නායකත්වයෙන් ක්‍රියාත්මක වුණා. අවසානයේ දී විමල් වීරවංස පමණක් නොව සෝමවංස අමරසිංහට ද පක්‍ෂය අත්හැර යෑමට සිදු වුණා. අනුර දිසානායක හා විජිත හේරත් පක්‍ෂ නායකත්වයට පත් වුණා. ලාල් කාන්ත වැන්නන් තම කාර්යභාරය අත්හැර සිටි බවයි මගේ හැඟීම. බිමල්ලා හඳුන්නෙත්තිලා බලවත් වුණා.
ජාතිකත්වය අත්හැර ජ වි පෙරමුණට පැවැත්මක් නැහැ. විජේවීර ජ වි පෙරමුණේ යම් ජාතිකත්වයක් හැම දා පවත්වාගෙ ගියා. ජාතිකත්වය අත් හැර ජ වි පෙරමුණට මාඕවාදී සමාජවාදයක් නැහැ. ඒ දෙක අඩු වැඩි වශයෙන් එකට පැවතුණා. කලක දි ජාතිකත්ව සංරචකය (කොටස) වැඩි වෙන්න ඇති. තවත් කලෙක මාඕවාදී සමාජවාදී සංරචකය වැඩි වෙන්න ඇති. ඒහෙත් ජ වි පෙරමුණේ එකක් නැතිව අනෙකට පැවැත්මක් නැහැ. ඒ දෙක මුසුව පවතින විට ඊනියා උගත් ගැමි තරුණයන්ට යම් බලාපොරොත්තුවක් දීමට හැකි වුණා. මා හැමදාමත් කියන්නේ මේ ඊනියා උගත්කම කියන්නෙ බටහිර නූතනත්ව උගත්කමක් කියලයි. උගත්කම පරිහරණය කරන අතර එහි ආධිපත්‍යයෙන් මිදෙන්න ඕන. පඬි නැට්ටන්ට ඒක තේරෙන්නෙ නැහැ. ඔවුන්ගෙ අර දයලෙක්තිකයට මොක ද වෙලා තියෙන්නෙ? දයලෙක්තිය දයලෙක්තිය කිව්වට පඬියන් පඬි නැට්ටන් දන්න දයලෙක්තිකයක් නැහැ. කොහොමත් මාක්ස්වාදී අපෝහකය (දයලෙක්තිකය) රූපිකයක් පමණයි.
ඊනියා උගත් ගැමි තරුණයන් මාඕවාදී සමාජවාදයට ආකර්ෂණය වුණා. එහෙත් විප්ලව දෙකකින් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වුණා. ඔවුන් අද ඉන්නෙ පැරණි ජ වි පෙ ජාතිකත්වයෙ නොවෙයි. පොදු ජන පෙරමුණු ජාතිකත්වයෙ. ජාතිකත්වයේ ප්‍රභේද තියෙනවා. අනෙක් පැත්තෙන් ජාතිකත්වයෙන් මිදුණු අනුර දිසානායක ඉක්මණින් ම මාඕවාදී සමාජවාදයෙනුත් මිදිලා ඊනියා ලිබරල්වාදයකට ගියා. එය ලිබරල්වාදයෙ දෙවැනි ඉනිම කියන එක නොවෙයි. එහෙම දෙවැනි ඉනිමක් නැහැ. මේ ලිබරල්වාදය මූලික වශයෙන් ජාතිකත්වයට විරුද්ධයි. ජාතිකත්වයෙන් මිදුණු අයට ජාතිකත්වයට විරුද්ධ වන්න වෙනවා. වෙන මොනවා කරන්න ද? අනේ අපි ඔය එකකටවත් නැහැ කියල ඉන්න බැහැ.
ජාතිකත්වයට විරුද්ධ ජ වි පෙ ඒ අදහස් තියෙන නගරයට සීමා වෙලා. ඔවුන් වටා ජාතිකත්වයට විරුද්ධ පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වැනි ඊනියා ලිබරල්වාදයේ දෙවැනි ඉනිමටත් විරුද්ධ ය කියන, කෙලින් ම සජිත්ට (රනිල්ට) පක්‍ෂපාත වීමට නොහැකි අය එකතු වෙලා. අද ඇත්තේ ජාතිකත්වය හා ජාතිකත්වයට විරුද්ධ අය අතර අරගලයක්. අද ජ වි පෙ කියන්නෙ ජාතිකත්වයට විරුද්ධ එහෙත් කෙලින් ම සජිත්ට පක්‍ෂ විය නොහැකි සතපහකට වැඩක් නැති වමකට එකතු වීමට හදල තියෙන අම්බලමක් පමණයි.