Main Logo

Wednesday 26 August 2020

ද්විත්ව රටවැසියන් හා වගකිව යුතු තනතුරු

 සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ද්විත්ව රටවැසියන් හා වගකිව යුතු තනතුරු 


සමහරු ධනවාදයට විරුද්ධ වෙනවා ධනවාදය කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැතිව. ධනවාදය කියන්නෙ වෙළෙඳපොළ තිබීම කියල සමහරු කියනවා. සමහරු තාක්‍ෂණය අල්ල ගෙන. මෙතන ප්‍රශ්නය තාක්‍ෂණයවත් වෙළෙඳපොළවත් නො වෙයි. මේ අය මාක්ස්වාදීන් වෙන්න බැහැ. මාක්ස් ධනවාදය කියන්නෙ මොකක් ද කියන එක අර්ථදක්වල තියෙනවා. (මේ ධනවාදය ඔහුට පෙණුන හැටි නොවෙයි). ඔහු එතරම් හොඳින් දැන නොසිටියත් ආසියාතික නිෂ්පාදන මාතයක් ගැනත් කියල තියෙනව. ඒවා කියවනව නම් හොඳයි. 

නිෂ්පාදන මාතය නිෂ්පාදනයෙහි දී ශ්‍රමය යොදා ගන්නා ආකාරය ආදිය ගැන කිසිවක් නොදැන ධනවාදය ගැන කියන එක ප්‍රශ්නයක් ද කියල කාට හරි අහන්න පුළුවන්. නැහැ අපට නම් ප්‍රශ්නයක් නැහැ. භෞතික විද්‍යාව උපාධියට හැදෑරුවා කියන අයට බෙල් අසමානතා නොදැන ඉන්න පුළුවන් නම් ධනවාදය කියන්නෙ මොකක් ද කියන එක නොදැන ධනවාදයට විරුද්ධ වීම ප්‍රශ්නයක් නොවෙයි. ඒත් මට වෙන ප්‍රශ්නයක් තියෙනවා. ධනවාදයට විරුද්ධ බව කියන අය එයට විරුද්ධ ව ඉදිරිපත් කරන නිෂ්පාදන මාතය මොකක් ද? සමාජවාදය ද? පුටින්වාදය ද? මාඕවාදය ද? ඒ කියන්නෙ ඒ හා සම්බන්ධ නිෂ්පාදන ක්‍රම. එහෙම ක්‍රම තියෙනවා ද? ඉස්සෙල්ල ධනවාදයට විකල්පය කියල ඒ සාක්‍ෂාත් කර ගැනීමට කරන්නේ මොකක් ද කියලත් කිව්ව නම්.  අප නම් ධනවාදයට විරුද්ධ ව විකල්පයක් ඉදිරිපත් කරනවා. 

ඒත් මට අද කතා කරන්න ඕන ඒක ගැන නොවෙයි.  පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් තව ටිකක් ධනවාදය ගැන කියවපුවාවෙ. මේ කියවන යුගය මිසක් තේරුම්ගන්න යුගයක් නො වෙයි. ඒ නූතනත්වය විකාශය වෙන ආකාරය. නූතනත්වය හා ධනවාදය පටලවා ගන්න එපා. ධනවාදය බිහිවෙලා තියෙන්නෙ නූතනත්වයේ. තමන්ගෙ බෞද්ධ විරෝධී බව ධනවාදයට විරුද්ධ වීම බෙල් අසමානතා නොදැන ඊපීආර් පරීක්‍ෂණය ගැන කතා කිරීම ආදියෙන් වහා ගැනීමටත් නූතනත්වයෙන් ඉඩ දීල තියෙනවා. ඇතැම් කතෝලිකයන් ඊනියා මාක්ස්වාදීන් සමාජවාදීන් වෙන්නෙ බෞද්ධ විරෝධය සඳහා. 

මට අවශ්‍ය දහනවය ගැන කතා කරන්න. මා කැමතියි දහනවයෙ සාධනීය අංග තියෙනව නම් ඒවා තියා ගන්න. දහනවය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්‍ෂා කිරීමට ගෙනා සංශෝධනයක් නො වෙයි. එය පෞද්ගලික විරුද්ධතා පදනම් කරගෙන ගෙනාපු එකක්. එහි අරමුණ වුණෙ රාජපක්‍ෂලාට මෙන් ම සිරිසේනටත් පහර ගැසීම. ඔවුන්ට විවිධ තනතුරු නොදැරීමට ඒවාහි කාලය සම්පූර්ණ කිරීමට ඉඩ නොදීමට තමයි දහනවය ගෙනාවෙ. 

ඒ වගේම අගමැති ලෙස රනිල්ගෙ බලතල වැඩි කර ගැනීමට. රනිල්ට ඒ ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකක් තිබුණෙ නැහැ. ඔහු තුනෙන් දෙක ලබා ගත්තෙ ඉන් පහර වදින රාජපක්‍ෂලාගෙන් හා සිරිසේනගෙන්. රනිල් දක්‍ෂයකු වන්නේ එවැනි අවස්ථාවල. ඔහු රාජපක්‍ෂලා මෙන් ම සිරිසේන ද රැවටුවා. 

දහනවය ගෙනාවෙ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට කියන එකෙන් කියැවෙන්නෙ නැහැ එය මුළුමනින් ම අහෝසි කළ යුතු ය කියා. මෙරට බොහෝ දේ කෙරෙන්නේ පෞද්ගලික කරුණු වෙනුවෙන්. මා දහනවයෙ ඊනියා සුවාදීන කොමිසම් තියා ගන්න කියන්නෙ නැහැ. ඔය ප්‍රජාතන්ත්‍රවාදෙ  තමන්ට ඕන විධියට අර්ථදැක්වෙන එකක්. යහපාලනේ සුවාදීනයන් වැඩ කළ හැටි අප දැක්ක. 

අර ජනාධිපතිකම දෙවරකට වඩා දරන්න බැහැ කියන එකත් බොරු කතාවක්. යමකු දෙවරක් ජනාධිපති තනතුරේ රටට යහපතක් කරල තියෙනව නම් ඔහු තුන්වැනි වතාවට පත්කර ගන්න ඡන්දදායකයන් කැමති නම් ඔහුත් නැවත ජනාධිපති වෙන්න කැමති නම් ප්‍රශ්නයක් තියෙන්න බැහැ. ඔය පුටින් යස අගේට ඉන්නෙ. පුටින් සමාජවාදයට යන බවක් නම් පේන්න නැහැ. ඒත් ඒකට ඡන්දදායකයන් අකමැති බවකුත් නැහැ. ඇතැම් පළාතක යම් යම් උද්ඝෝෂණ තියෙන බව ඇත්ත. ඒත් පුටින් ඉන්නවා.

ද්විත්ව රටවැසියන්ට මෙරට මැති ඇමතිවරු ජනාධිපති වීමට බැරි වෙන විධියට තියෙන වගන්තිය නම් තියා ගන්න ඕන. කවුරු හරි හිතනව නම් ඒ බැසිල් පාර්ලිමේන්තු ඒම වැළැක්වීමට කියා එය වැරදියි. මෙහි දී ඒ ඒ පුද්ගලයා අරගෙන කතා කරන්න බැහැ. නීති හදන්න ඕන සාධාරණ (පොදු යන අරුතින්) අයුරින් බලපාන විධියට. මා කියන්නේ ද්විත්ව රටවැසි නීතිය පරිපාලන සේවය, තානාපතිවරුන් ඇතුළු විදේශ සේවය, අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, දේශපාලන වශයෙන් පත් කරන තානාපතිවරු, ආදීන්ටත් තිබිය යුතු ය කියා. 

ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ලෙස මානුෂික සටන් මෙහෙයුම සංවිධාන කෙළේ ද්විත්ව රටවැසියකු ලෙස. ඒ අවස්ථාවේ එක්සත් රාජ්‍ය එතුමාට බලපෑමක් කෙළේ නැහැ. ඒ සටන් මෙහෙයුම සෘජු ව එරටට බලපෑවේ නැහැ. එහෙත් ඒ විශේෂ අවස්ථාව අපට සාධාරණය කරන්න බැහැ. රනිල් වැන්නන් ද්විත්ව රටවැසියන් නොවුණත් වෙනත් රටවලට බලපෑමට යටත්වෙන එක ඇත්ත. එහෙත් එයත් සාධාරණය කරන්න බැහැ. අප නීති සම්පාදනය කරන්න ඕන සාධාරණ වශයෙන් ගෙන. අප කල්පනා කළ යුත්තේ සාධාරණ වශයෙන් ගත් කල රටට හානියක් නොවීම, අවම හානියක් වීම ආදිය මිසක් අර පුද්ගලයා මෙහෙමයි මේ පුද්ගලයා අරෙහෙමයි ආදිය නො වෙයි.

අනෙක් අතට ද්විත්ව රටවැසි බාධකය තිබෙන විට එවැනි රටවැසිකම් තියෙන යම් පුද්ගලයකුට රටට සේවය කිරීමට අවශ්‍ය නම් අනෙක් රටේ රටවැසිකම අත්හරින්න පුළුවන්.  රටට සේවය කිරීමට වඩා වෙනත් රටකත් රටවැසිකම වැදගත් නම් අපට කරන්න දෙයක් නැහැ. අපට කවුරුන්වත් කියන්න ඕන නැහැ ද්විත්ව රටවැසියන්ට මෙරට රටවැසිකම තියෙනව කියල. අපේ ප්‍රශ්නය ඔහුට තවත් රටක රටවැසිකම තිබීම හා ඒ නිසා ඔහුගේ ඇලීම් පිළිබඳ ගැටුමක් ඇති වීම. අදාළ තනතුරු දරන්නන්ට කිසිම රටකට බලපෑමක් ඇති කිරීමට ඉඩ තියෙන්න බැහැ. වෙනත් රටවල් ඇතැම් පුද්ගලයන්ට කොහොමත් බලපෑම් කරනවා කියා අපට ව්‍යවස්ථාවෙන් ම බලපෑම් කිරීමට අවස්ථාවක් සලසා දෙන්න බැහැ.