Main Logo

Saturday 8 August 2020

දිනේෂ්ගෙ වෙන්න තිබුණු පරාජය හා මා

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9



දිනේෂ්ගෙ වෙන්න තිබුණු පරාජය හා මා


පසුගිය දා පැවැත්වුණු මැතිවරණයට මා ඉදිරිපත් වුණා නම් මොකක්ද වෙන්න තිබුණෙ කියන ප්‍රශ්නය මගේ හිතට එනවා. එය වැරදි ප්‍රශ්නයක් තමයි. මා මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ මොන පක්‍ෂයෙන් ද? එය ජන බල පක්‍ෂවලින් වෙන්න බැහැ. වික්‍රමබාහු තරග කළාට එ ජා පක්‍ෂයෙන් වෙන්නත් බැහැ. ඉදිරිපත් වෙන්න තිබුණෙ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණු සංධානයෙන්, පොදුජන පෙරමුණ නමින්. 

උගතකු බුද්ධිමතකු වෘත්තීයකයකු වියතකු නොවන මා වියත්මගේ නැහැ. යුතුකමට මට ඉටුකිරීමට ඇති යුතුකමක් නැහැ. බැසිල් රාජපක්‍ෂ ඉන්න තේරීම් කමිටුවකින් මා තෝර ගන්නෙත් නැහැ. මා කතා කරන්නේ හුදු සිහිනයක් ගැන. බැරි වෙලාවත්, මැතිවරණ කොමිසමේ සභාපති ඇහුව විධියට ලෝකෙ කැරකෙන එක නැවතිලා හරි මොකක් හරි වෙලා මට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වෙන්න ලැබිල කොළඹට හරි කළුතරට හරි තරග කළා නම් මොකක් ද වෙන්න තිබුණෙ. නිසැකයෙන් ම මා පරදිනවා. 

මා ජාතික ව්‍යාපාරයට හරි ජාතියට හරි රටට හරි ආගමට හරි ගුණදාස අමරසේකර කරල තියෙන වැඩ කොටසින් දාහෙන් එකක් කර නැති බව යුතුකම හා නිව්ස්ලීඩ් කියාවි. ඒ, දෙගොල්ල අතර ප්‍රශ්න තිබියදී. මා එහෙම රට ජාතිය ආගමට වැඩ කරන අයකු නො වෙයි. මා මට හිතෙන දේ කරන්නකු පමණයි. වියත්මගේ අය මා වෙනුවෙන් රැස්වීම් තියන එකක් නැහැ. කොහොමත් ඔවුන්ගෙ සංස්කෘතිය (හැදිච්චකම) මට හුරු නැහැ. මා නැහැදිච්ච මිනිහකු කියන විද්වතුන් ඉන්නවා. බැසිල් මා වෙනුවෙන් රැස්වීමක කතා කරන එකක් නැහැ. මහින්දට මා පේන එකක්වත් නැහැ.

බොහෝ ජනමාධ්‍ය මට කිසිම ප්‍රචාරයක් දෙන එකක් නැහැ. දෙරණ රූපවාහිනිය ඇපෙන් ගැලවෙන්න මොකක් හරි කරාවි. අරුණ පත්තරෙත් පොඩි වාර්තාවක් පළ කරාවි. ගාමිණි සුමනසේකර හා එඩ්මන්ඩ් රණසිංහ නික්ම යෑමෙන් පසු දිවයිනට අනුව මා වැදගත් දෙයක් ලියන්නෙ නැහැ. මනෝජ්ගෙන් අහන්න. ගාමිණී වීරකෝන්ගෙන් පසුව දි අයිලන්ඩ් පත්තරෙත් එහෙමයි. මේ කාලයට ලියන ලිපි කියවල මිනිසුන් ඡන්දෙ දෙන්නෙ නැහැ. ඒතරම් පිරිසක් ලිපි කියවන්නෙත් නැහැ මා උඩින් ම පරදිනවා. උඩින් ම පරදිනවා කියන්නෙ මොක ද ඒක යටින් ම පරදිනවා වෙන්න ඕන ද? 

මට වඩා දහස් ගුණයක සේවයක් ඒකීය රාජ්‍යය, රටේ ස්වෛරීභාවය, සාසන උන්නතිය සඳහා කර ඇති දිනේෂ් ගුණවර්ධනට ලැබිල තියෙන්නෙ මනාප අසූදහසකට අඩු ප්‍රමාණයක් කියලයි මට මතක. අවුරුදු හතළිහකට වැඩි කාලයක් එක ම ස්ථාවරයක හිටි දිනේෂ් ගුණවර්ධනට වඩා ඊයේ පෙරේදා වෙනකන් එ ජා පක්‍ෂයේ සිංහල විරෝධී ප්‍රතිපත්තියේ සිටි විජේදාස රාජපක්‍ෂට මනාප ලැබීිලා. සරත් වීරසේකර රට ජාතිය ආගමට විශාල සේවයක් කර තියෙනවා. ඔහුට මගේ ගෞරවයක් තියෙනවා. ඔහුට කොළඹින් වැඩිම මනාප ලැබිලා. ඒත් මා හිතනවා දිනේෂ් ගුණවර්ධනට ඊට වඩා මනාප ලැබෙන්න ඕන කියලා. එහෙම කියන එක හැදිච්ච මිනිහෙක්ගෙ ගුණයක් නො වෙයි. මා නැහැදිච්ච මිනිහෙක් බව ජී එල් පීරිස්, ඩබ් ඩී ලක්‍ෂමන්, පී ඩබ් ඇපාසිංහ ආදී ආණ්ඩුවේ හිතවතුන් දන්නවා. 

මට අවශ්‍ය ආණ්ඩුවෙ ආරවුල් ඇති කරන්න නො වෙයි. මා මේ ලියන දේට හැදිච්ච මිනිහකු වන දිනේෂ් ගුණවර්ධන කොහොමටවත් කැමති වෙන එකක් නැහැ. ඒත් මා ලියන්නේ මට හිතෙන දේ. දැන් මගේ කට වැහෙන්නෙ වියනා සම්මුතියෙන් පමණයි. පොදු පෙරමුණෙන් හරි ශ්‍රී ල නි පක්‍ෂයෙන් හරි ඉදිරිපත් වුණු වෙනත් කිසිම අපේක්‍ෂකයකුට වඩා දිනේෂ් ගුණවර්ධනගෙන් ඒකීය රාජ්‍යය වෙනුවෙන් වැඩක් කෙරිල තියෙනවා. අලුතෙන් පත්වෙච්ච ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙනුත්  ඒක එහෙමයි. දිනේෂ් ගුණවර්ධන මංගල සමරවීරත් එක්ක සුදු නෙළුම් අරගෙන අවලම් තවලම් ගියේ නැහැ. ඒත් තව ටිකෙන් ඔහු කොළඹින් පරදින්න තිබුණා. මා ගැන කියනුම කවරේ ද? 

අපි යන්නේ කොයි පාරේ මාක්ස් ලෙනින් ගිය පාරේ කියමින් ගාලු පාරෙ නුවර පාරෙ ගිය කාලයක් මටත් තිබුණ. දැන් නම් කියන්න තියෙන්නෙ විජේදාස යන පාරේ කියලා. ඒක සිග් සැග් පාරක් ටිකක් වෙලා යන විට ඔළුව කැරකෙන්නත් ඉඩ තියෙනවා. ඒත් මේ රටේ මිනිසුන්ට පේන්නෙ සිග් සැග් පාරවල යන අය පමණක් වෙන්න ඇති. කලකට ඉස්සර එක් මාධ්‍යවේදියෙක් මට කිව්වෙ මා හැමදාම ලියන්නෙ එක ම දේ කියලා. කිසිම අලුත් ගතියක් නැහැ කියලා. ඇත්තට ම බලන් යන කොට අවුරුදු තිස්හතක් පමණ මා කියල තියෙන්නෙ එකම දෙයක් පමණයි. ඉතින් ජනමාධ්‍යවල මට ප්‍රචාරයක් දෙන්නෙ අහවල් දේකට ද? මා ලිපි පන්දාහකට වැඩිය ලියල ඇති. ඒ ලිපි සියල්ල එකම කතාව නමින් පළ කරන්න හිතෙනවා. ඒත් ගන්න කෙනෙක් නැති වේවි. 

ඊනියා ජනමාධ්‍යවේදීන් දිනේෂ් ගුණවර්ධනට ප්‍රචාරයක් දෙන්නෙ නැත්තෙත් හැමදාම එකම කතාව කියන හින්දා වෙන්න ඇති. මේක මේ පාර විතරක් වෙච්ච දෙයක් නො වෙයි. කලින් වතාවලත් ඔහොම තමයි. මිනිස්සු පක්‍ෂයක් තෝරා ගන්න කොට දේශපාලනය සලකල බලනවා. අද මිනිසුන් ඉන්නෙ ජාතිකත්වයෙ. ඒ කියන්නෙ ඔවුන් ආර්ථිකය ගැන හිතන්නෙ නැහැ කියන එකවත් ජාතිකවාදීන් ආර්ථිකය තාක්‍ෂණය විදේශ ප්‍රතිපත්තිය ගැන කතා නොකරන අද්භූතවාදී (අතිභූත - නොපවතින- පැවතීම ඉක්මවූ - රොමෑන්ටික්) පිරිසක් කියන එක නො වෙයි. ඔවුන් දන්නවා ආර්ථිකයත් ක්‍රියා කරන්නෙ යම් සංස්කෘතියක් පදනම් කර ගනිමින් බව. 

ඒත් මිනිසුන් පක්‍ෂයක් තුළ මනාප ලකුණු කිරීමට පුද්ගලයන් තෝරා ගන්නෙ බොහෝ විට එදිනෙදා ක්‍රියා මත. ඒක අර එදාවේල ටුවර්ස් වගේ වැඩක්. අද රනිල් එක්ක ඉඳලා හෙට රනිල්ට බනිනව නම් ඒක වැදගත්. හෙට එයා මොනව කරයි ද කියල නිකමටවත් හිතෙන්නෙ නැහැ. පෙරේදා මොනවද කළෙ කියල දැන ගන්න ඕනෙත් නැහැ. අද කරන එක තමයි වැදගත්. ඒත් හැමෝට ම නොවෙයි. සමහරුන්ගෙ පරම්පරාව ගැනත් හොයනවා. මනාපෙ දෙන එක හිරයක් දෙනවා වගේ.

මිනිසුන් මට ඇතැම් විට මතක් කරල දෙනවා මා ඊළාම් අයිතිය වෙනුවෙන් ලිපි ලිව්ව කියලා. මගේ අතීතය වැදගත් වෙන්නෙ මා විශ්වාස කරන්න බැරි අයකු කියා ඔවුන් හිතන නිසා වෙන්න පුළුවන්. මගේ අතීතය විතරක් නොවෙයි මගේ පරම්පරාවෙ අතීතයත් කාලයක් තිස්සෙ ප්‍රශ්න කෙරුණා. මගේ මුතුන් මිත්තන් පැමිණියෙ කේරළයෙන් ද කියල ප්‍රශ්නයක් තිබුණා. නමේ දේවාදිත්‍ය කොටස ලැබුණෙ කොහොම ද කියල ප්‍රශ්න තිබුණා. මා ඒ සියල්ලට ම පිළිතුරු දීල තියෙනවා. දේවාදිත්‍ය පමණක් නොවෙයි ථකුරාර්ථ කියල කොටසකුත් තියෙනවා. ථකුර ඇවිල්ල තියෙන්නෙ වත්මන් රාජස්ථානයෙන්. ඒත් අපි දැන් කාලෙක ඉඳලා සිංහල. වංගයෙන් ආපු අයත් සිංහල නොවැ. 

මා මැතිවරණයට ඉදිරිපත් වුණා නම් අවුරුදු හැත්තැහයක ජීවිතය ගැන පමණක් නොවෙයි එක්දහස් ගණන්වල ඉඳලා පරම්පරා ප්‍රශ්නවලට මට උත්තර දෙන්න වෙනවා. උත්තර දුන්නත් මා පරදිනවා. දිනේෂ්ට ඒ ප්‍රශ්නය තිබුණෙ නැහැ. කවුරුන්වත් අඩු තරමෙන් බොරළුගොඩ ගැනවත් ඇහුවෙ නැහැ. ඔහුට තිබුණෙ ඔහුගෙ අතීතය සම්පූර්ණයෙන් ම අමතක කර දැමීමේ ප්‍රශ්නය. ප්‍රශ්න අහන්නෙ මොන පදනමකින් ද කියන එක තමයි ලොකු ම ප්‍රශ්නය. බොහෝ දෙනා කැමති වෙයි මා මියන්මාරයෙ ම ඉන්නව නම්.