෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
පනස්හයේ දරුවන්ගේ දරුවෝ හා පාර්ලිමේන්තුව
මෙවර මැතිවරණය ජාතිකත්වයට වැදගත්. ඒකෙන් කියැවෙන්නෙ නැහැ පාර්ලිමේන්තුව ජාතිකත්ව පාර්ලිමේන්තුවක් වෙනවයි කියල. නමුත් පනස්හයේ දරුවන්ගේ දරුවන් අත්පොත් තබන්නේ මේ මැතිවරණයෙන්. මෙයට කලින් පාර්ලිමේන්තුවල ජාතිකත්ව මන්ත්‍රීවරුන් නොසිටියා නො වෙයි. මා ඔවුන්ගේ නම් කියන්න යන්නේ නැහැ. ඒ තානාපතිවරයකු නිසා නො වෙයි. මැතිවරණ නීති රීතිවලට අනුකූල ව. කවුදෝ නීතිඥයකු යැයි කියා ගන්නා අයකු මැතිවරණ කොමිසමට පැමිණිළි කරල තිබුණ ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිතුමා මැතිවරණ නීති රීති උල්ලංඝනය කරනව කියල. මා නම් එසේ හිතන්නේ නැහැ. එතුමා වියනා සම්මුතිය අනුව වැඩ කරනවා. එතුමා ලංකාවේ මැතිවරණවලට මැදිහත් වන්නේ නැහැ.
නීතිඥ මහතා කියන්නේ මියන්මාරයේ ලංකා තානාපති ගැන වෙන්න පුළුවන්. තානාපති කාර්යාලවලට පුරුදු ප්‍රථම පුරුෂයෙන් කියනවා නම් ඔහු එසේ මැතිවරණ නීති රීති කඩකරන්නේ නැහැ. ඔහු විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ සේවකයකු නො වෙයි. එවැනි අයට ඇති බැඳීම් ඔහුට නැහැ. ඔහු අඩු තරමෙන් රාජ්‍ය සේවකයකුවත් නො වෙයි. ඔහු ජනාධිපතිතුමා විසින් පත් කෙරුණු අයකු මිස විදේශ සේවයේ අයකු නො වෙයි. ඔහු මියන්මාරයේ හොඳින් ඉන්නවා. දේශපාලන ලිපි ද ලියනවා.
දැන් නැවතත් උත්තම පුරුෂයට. ජාතිකත්වය දේශපාලනයේ තියෙනවා. අපේ ජාතිකත්වය අවුරුදු දහස් ගණනක් පරණයි. එය කිසිසේත් ම බටහිර ජාතික රාජ්‍යය හා ජාතිය කියන සංකල්ප සමග බැඳී නැහැ. අපේ විශ්වවිද්‍යාල හා වෙනත් උගතුන් යැයි කියන අයට සැම දෙයක් ම පෙනෙන්නේ බටහිර ඇහෙන්. අප බටහිර සංකල්ප අවශ්‍ය විධියට යොදා ගන්නවා. එහෙත් හැම තැන ම නො වෙයි. ජාතිය සම්බන්ධයෙන් අපට ඇත්තේ අපේ සංකල්ප හා ප්‍රවාද (කතන්දර).
දැනුම සම්බන්ධයෙන් අපට ඇත්තේ ලෝකයේ වෙනත් තැනක නැති අනන්‍ය වූ දැනුමක්. අනෙක් හැම දැනුමක ම කියන්නේ කාගෙ හරි මොකක හරි පැවත්ම හරි නොපැවැත්ම ගැන හරි ඒවායෙ සීමාකම් ගැන හරි. ඒ සම්බන්ධයෙන් විවිධ කතන්දර කියනවා. අප කියන්නේ ඒ සියලු දැනුම්, අපත් ගොඩනගන දැනුම් ද ඇතුළුව, අවිජ්ජාව හරි අවිද්‍යාව හරි නිසා සංස්කරණය කරන බොරු ලෙස. ඒ බොරු, බොරු හිටියට ප්‍රත්‍යක්‍ෂ කිරීම, ඊනියා බුද්ධියෙන් දැන ගැනීම නොවෙයි, තමයි නිවන් සම්මාබෝධය. ඒ ප්‍රත්‍යක්‍ෂ කරන්නේත් මනසින් නම් නො වෙයි. ප්‍රත්‍යක්‍ෂ කියන වචනය යෙදා ගන්න එක හරි ද කියා මා දන්නේ නැහැ. දැනට මා එය යොදා ගන්නවා. එ මහාචාර්ය කළුපහන දී ඇති අර්ථයෙන්.
අපේ විශ්වවිද්‍යාල පමණක් නොවෙයි පාසල් ද අපට යමක් දීල නැහැ. මියන්මාරයේ නිදහස් සටනේ පුරෝගාමීන් ඉඳලා තියෙන්නෙ එකල කියපු විධියට රැංගුන් විශ්වවිද්‍යාලෙ. අපේ ලංකා විශ්වවිද්‍යාලෙන් ආරම්භ කරපු නිදහස් සටන මොකක් ද? අපේ පාසල්වලින් ආරම්භ කරපු නිදහස් සටන මොකක් ද? මෙරට ජාතිකත්වය ක්‍රියා කර ඇත්තේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතියෙන් බාහිර ව. අපේ පාසල් පද්ධතියෙ බුදුදහම උගන්වන්නෙත් තවත් විෂයක් ලෙස. අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ. බෞද්ධ කියන පාසල්වලත් තත්වය එසේමයි.
මියන්මාරය ඉන්දියාව පකිස්ථානය (එකල බංග්ලාදේශයත් ඇතුළු ව) හතළිස් ගණන්වල ම ජනරජ බවට පත්වෙද්දි අප ඩොමීනියන් තත්වයෙන් ඕනවටත් වඩා සෑහීමකට පත් වුණා. අපට ඩොමීනියන් තත්වය ලැබුණ කියන එකත් වැරදියි. ත්‍රිකුණාමලය හා කටුනායක බිරිතානීන් යටතෙ පැවතුණා පමණක් නොවෙයි. ආරක්‍ෂක අමාත්‍යාංශයත් විදේශ අමාත්‍යාංශයත් නාමික ව පමණයි ලංකාවෙ අගමැති යටතෙ තිබුණෙ. අපේ තරම් ගැත්තන් පිරිසක් අහළ පහළ රටක පාසල් පද්ධතියෙන් බිහිකර නැහැ.
විශ්වවිද්‍යාලයක් කියන්නෙත් එක පැත්තකින් බටහිර නිර්මාණයක්. එහෙත් යමකු බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාලයකින් හිතන්න පුළුවන් පිරිසක් බිහි කර ගන්න. ලංකාවෙන් එහෙම බිහි වුණෙ නැහැ. අපට විශ්වවිද්‍යාලවලට වඩා පාසල් වටිනවා. ආසියාවෙ විශ්වවිද්‍යාලයක් ලැබුණු රටවල් අතර කාලය අනුව අන්තිම හරියෙ ලංකාව ඉන්නෙ. 1915 දි පමණ රාජකීය විිද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ වුවමනාව ඉංගිරිසින්ට තිබිල තියෙනවා. එහෙත් විද්‍යාලයෙ ආදි ශිෂ්‍ය ඩෝර්න්හොස්ට් ප්‍රමුඛ පිරිසක් එයට විරුද්ධ වෙලා. එකල රාජකීය විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ලෙ තමයි අද කොළඹ විශ්වවිිද්‍යාලයෙ ගණිත අංශය තියෙන්නෙ. 1921 දී විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවන්න රාජකීය විදුහලේ ගොඩනැගිලි අරගෙන රාජකීය විදුහලට අල්ලපු වත්තෙ ගොඩනැගිලි හදල දීල.
අපේ විශ්වවිිද්‍යාලවලින් 1921 ඉඳන් ජාතිකත්වයක් ඇති පිරිසක් බිහිවුණෙ නැහැ. එවැනි පුද්ගලයන් කිහිප දෙනකු හිටියෙ නැහැ කියල මා කියන්නෙ නැහැ. එහෙත් එය ජාතික ව්‍යාපාරයක් වුණෙ නැහැ. විශ්වවිද්‍යාලවලින් බිහිවුණෙ රටට වැඩක් නැති ඇත්තට ම රටට බරක් වුණු ව්‍යාජ විප්ලවවාදීන් හා වාමංශිකයන්. පේරාදෙණිය කියන්නෙ පෙම් උයනක් හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ කෙළි බිමක්.
අසූවෙ දශකයෙ තමයි කොළඹ විශ්වවිද්‍යාලය මුල් කර ගෙන ප්‍රථම වරට ජාතික ව්‍යාපාරයක් විශ්වවිද්‍යාල පද්ධතියෙ ඇති වුණෙ. ගවේෂකයො, චින්තන පර්ෂදය, කාලය සඟරාව ආදිය එහි මුල. කාලය සඟරාවෙ බර ඇද්දෙ කොළඹ විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨ ශිෂ්‍යයන්. අනෙක් ශිෂ්‍යන්ගෙනුත් එයට උදවු උපකාර ලැබුණා. අද ඒ ශිෂ්‍යයන් ජාතික ව්‍යාපාරයෙ බර අදිනවා. පනස්හයේ දරුවන්ගෙ දරුවන්. පනස්හයේ දරුවන් සංකල්පය බිහිවුණෙත් කොළඹ විශ්වවිද්‍යාලයෙන්. ඒ 1989 සැප්තැම්බරයෙ.
පනස්හයේ දරුවන් අද තම දරුවන් දෙස බලා සතුටු වෙනවා. දරුවන්ගෙ දරුවන් අද විවිධ විශ්වවිද්‍යාලවලින් ඇවිල්ල. අනාගතය බිහිවෙන්නෙ පනස්හයේ දරුවන්ගෙ දරුවන්ගෙන්. මේ මැතිවරණය ගැන මට ඇත්තේ දැඩි විශ්වාසයක්. මාත් පනස්හයේ දරුවෙක්. අප වැඩි කලක් ජීවත්වෙන එකක් නැහැ. එහෙත් අපෙන් පසුවත් රට තියෙනවා. අපේ දරුවන් ඉන්නවා. පත්වන මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් සියයට දහයක්වත් ජාතිකත්වයේ වෙන එකක් නැහැ. එය සියයට තුනට නම් වැඩි වේවි.
මේ පාර්ලිමේන්තුව තමයි අනාගත ලංකාවෙ අත්තිවාරම නිර්මාණය කරන්නෙ. එයට ජාතිකත්ව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා වෙනත් පනස්හයේ දරුවන්ගෙ දරුවන් මුල් වේවි. ඔවුන්ට පාර්ලිමේන්තුවේ පිටත් ඉන්න පනස්හයේ දරුවන්ගෙ දරුවන්ගෙන් සහාය ලැබේවි. අත්තිවාරම කියන්නෙ ගොඩනැගිල්ල නොවන බව පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට කියන්න වෙන්නෙ ඔවුන්ට සියල්ල ඇඟිල්ලෙන් ඇනල කියල දෙන්න ඕන නිසා.
මේ පාර්ලිමේන්තුව වැරදි කරාවි. වැරදි නොකරන ආයතනයක් නැහැ. නොවරදින පුද්ගලයන් නම් ඉන්නවා. ඒ පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. ඔවුන්ට ඇත්තේ වමට (දේශපාලනික ව) ජන්මයෙන් ලැබිල තියෙන හීනමානය හා අනන්‍යතා අර්බුදය. පිලිප් ගුණවර්ධනට හැරෙන්න පැරණි වමටත් මේ හීනමානය තිබුණා. ඔවුන් වාමාංශිකයන් වුණෙ ම සමාජ අසාධාරණයකට වඩා තමන්ට විදේශයක දී විශේෂයෙන් ම එංගලන්තයේ දී වූ පෞද්ගලික අසාධාරණකම් නිසා. අපි ඒ ගැන පසුව විස්තරාත්මක ව කතා කරමු. අදත් එක් අයකුට දෙන්නකුට හැර මියැදෙන වමට ඇත්තේ එවැනි ම ප්‍රශ්න. විශේෂයෙන් ම තමන්ට පිළිගැනීමක් නැති වීමේ ප්‍රශ්නය.
අපි වැරදිවලින් පාඩම් ඉගෙන ගනිමු. පනස්හයේ දරුවන්ගේ දරුවන්ට ඇත්තේ පනස්හයේත් වැරදි නිවැරදි කර ගෙන පනස්හයේ අරමුණ හා තේමාව ඉදිරියට ගෙන යෑමේ වගකීම. මගේ පියාගේ ලිපි ශීර්ෂවල අඩංගු වූ පාඨය වූයේ මා නිවත්ත අභික්කම, නොනැවති ඉදිරියට යනු යන්නයි. පනස්හයේ දරුවන්ගේ දරුවන් නොනැවති ඉදිරියට යන බව මට විශ්වාසයි.