Main Logo

Thursday 30 September 2021

හතර දෙනාගේ කල්ලිය

 

හතර දෙනාගේ කල්ලිය

 

එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්ෂික සැසිවාරය පවත්න අතර හතර දෙනාගේ කල්ලිය නැත්නම් චතුස්කය රැස්වෙලා. ඒ එක්සත් ජනපදවල ජනාධිපති බයිඩන්, ඕස්ත්‍රේලියාවේ අගමැති මොරිසන්, ජපානයේ අගමැති සුගා, ඉන්දියාවේ අගමැති මෝදි. හතර දෙනා ම සූරයෝ. මේ හතරදෙනාගේ කල්ලියට ඉංගිරිසියෙන් කියන්නෙ quad කියල. ඒ ගැන මා කලින් ලියා ඇති. ඒත් දි අයිලන්ඩ් පුවත්පතේ හැරෙන්න ලංකාවේ වෙනත් ජනමාධ්‍යයක ඒ හතර දෙනාගේ කල්ලිය ගැන ප්‍රචාරයක් දුන්නේ නැහැ. හැම දෙයක් ගැන ම මොකක් හරි ලියන සකර්බර්ග් පඬියන්ටත් ඒ ගැන නිච්චියක් තිබුණේ නැහැ. ඔවුන් භූ දේශපාල යථාර්ථය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත වෙලා ඉන්න ඇති.

 

මේ හතර දෙනාගේ කල්ලිය රැස්වන්නේ චීනයට විරුද්ධ ව. හතර දෙනා චීන සභ්‍යත්වයට පහර දීමටයි සූදානම. එක්සත් ජනපද හා ඕස්ත්‍රේ ලි යාව නම් එක ම සභ්‍යත්වයක. ඒ රටවල් දෙක පහුගිය දා එක්සත් රාජ්‍යය හෙවත් එංගලන්තය හා එහි යටත් විජිත සමග ගිවිසුමකට ද එළඹුනා. එයට බටහිර යුරෝපයේ ම ප්‍රංශය විරුද්ධ වුණා. ඉතා පැහැදිලි ව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයේ ඉංගිරිසි කතා කරන රටවල් වඩ වඩා එක් ව කටයුතු කරන බවක් පේනවා. ඒ ප්‍රධාන රටවල් වන්නේ එක්සත් ජනපද, එංගලන්තය, කැනඩාව, ඕස්ත්‍රේලියාව හා නවසීලන්තයයි.

 

අර හතර දෙනාගේ කල්ලියේ ඉන්දියාව හා ජපානය අද වන විට බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වය වටේ ඉන්න රටවල් බවට පත්වෙලා. දකුණු කොරියාවත් එසේමයි. වෛදික හා මහායාන සභ්‍යත්වවලට ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයට විකල්පයක් ඉදිරිපත් කරන්න බැහැ. යම් පමණකට හරි ලෝක මට්ටමෙන් විකල්ප ඇත්තේ මුස්ලිම් සභ්‍යත්වයට හා චීන සභ්‍යත්වයටයි. එහෙත් ඒ ප්‍රමාණවත් නැහැ. ප්‍රංශය වැනි රටවල් කෙඳිරී ගෑවට කතෝලික සභ්‍යත්වය දුර්වල වෙලා තරමක් කල්. මාක්ස්වාදයත් බිහිවුණෙ දුර්වල කතෝලික සභ්‍යත්වයක. එය ගබ්සා වී මෙන් ම  ලෝකයට පැමිණියේ.

 

ක්‍රිස්තියානි නූතනත්ව  සභ්‍යත්වය මුස්ලිම් සභ්‍යත්වය දෙකඩ කිරීමට සමත් වෙලා. අද වහාබ්වාදයෙ එක් කොටසක් ක්‍රියාත්මක වන්නෙ ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වය යටතේ. එහි දී සෞදි අරාබිය විශාල මෙහෙයක් කරනවා. සිරිල් ගාමිණී පූජකතැන හා ඥානසාර හිමියන් දෙපැත්තක හිඳගෙන කතා කළත් ඉටු කරන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අවශ්‍යතාව. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට මෙරට තවත් මුස්ලිම් විරෝධයක් ඇති කරන්න අවශ්‍ය වෙලා. අර පල්ලිවලට එල්ල කරනවා කී ප්‍රහාරය, එහි දී ඇතැම් නිලධාරීන් හැසුරුණු ආකාරය අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇනීමක්.

 

ඒ අතර බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය වෙනවා මෙරට අරාබි වසන්තය අදවත් ඇති කරන්න. පාදෙණියගේ සමිතිය පටන් ගත් ඉල්ලීම් හා වර්ජන  රැල්ලේ අරමුණ මේ ආණ්ඩුව වට්ටවා බටහිරයන්ට අවශ්‍ය විධියට ම මෙහෙය වන්න පුළුවන් ආණ්ඩුවක් ඇති කරන්න. මේ ආණ්ඩුව ගැන බොහෝ දෙනකු කළකිරිලා වෙන්න පුළුවන්. ඒත් අප සැවො ම කල්පනා කළයුතු කරුණක් තියෙනවා. ගෝඨාභයගේ ආණ්ඩුව වෙනුවට අප පත් කර ගන්නේ කාගේ ආණ්ඩුවක් ද? සජිත්, රනිල්, අනුර කුමාර, ජාගොඩ ආදීන් සුදුසු මාධ්‍ය සංදර්ශනවලට පමණයි. චම්පකට එයවත් බැහැ. ඔහු ඊනියා විද්වත් භික්‍ෂු සංවිධාන හරහා තම සුදුසුකම කියන්න ලැහැස්ති වෙනවා. ඒ සංවිධානයේ හාමුුරුවරු ගැන මොනව කියන්න ද? අගලකඩ හාමූදුරුවොත් එතැනට වැඩල ද?

 

මේ බටහිරුන් පිටුපස සිට ඇති කරන මුස්ලිම් විරෝධය හරහා රට අස්ථාවර කරන්නේ චීනයටත් පහර දීමට. ඉදිරි කාලයේ හතර දෙනාගේ කල්ලිය දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ  අමුතු ම දේශපාලනයක් කරාවි. මේ කලාපය අස්ථාවර කිරීම මගින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය බලාපොරොත්තු වන ප්‍රධාන කරුණ චීනය වැට්ටවීමයි. ඒ සඳහා චීන විරෝධයක් ඇති කිරීමත් අවශ්‍ය වෙනවා. අප චීනයට ගැති විය යුතු නැහැ. එහෙත් හතර දෙනාගේ කල්ලියේ කුපාඩි දේශපාලනය තේරුම් ගන්න ඕන.

 

චීනය අප හිතනවාට වඩා දුර්වලයි. ඔවුන්ට පුළුවන් අඩු මිලකට භාණ්ඩ ලෝක වෙළෙඳපොලට එවීම පමණයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය හැකි නම් එයත් නැති කිරීම. චීනයට ක්‍රිස්තියානි නූතනත්වය සමග හැප්පෙන්නට තරම් දර්ශනයක් ලෝක දැක්මක් නැහැ. කොන්ෆියුෂියස් ධර්මයේ ධුරාවලිය චීනයට වැදගත් වුණාට සෙසු ලෝකයට වැදගත් නැහැ. යින් යැන් දර්ශනය හොඳයි. එහෙත් එහි වර්ධනයක් නැහැ.

 

චීන නිෂ්පාදන වුණත් බටහිර රටවල නම් අවසානයේ දී අළෙවිය මෙහෙයවෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මගින්. බටහිරයන්ට අවශ්‍ය ආසියාතික කලාපයේත්  එය කරන්න. ඒ සඳහා බටහිරයන් ඉන්දියාව හා ජපානය සහභාගි කර ගන්නවා. කලාපය අස්ථාවර කිරීම, කලාපයේ වෙළෙඳාම තමන් අතට ගැනීම, බැරි නම් චීනය පන්නා දැමීම ආදිය තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයේ අභිලාෂ.

 

අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටිලා. බටහිර වෙද මහතුන්ට වසංගතය ගැන අද කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැහැ. අවසානයේ ස්වාභාවික ව ප්‍රතිදේහ නිපදවීම තමයි එක ම බලාපොරොත්තුව. අර පොදු කතන්දර වියුක්ත ව ගෙතීම හරියන්නේ නැති බව වැටහෙනවා. එන්නත ගැනවත් එක මතයක් නැහැ. දරුවන්ට එන්නත ලබා දෙනවා ද? මෙරට බටහිර වෙද මහතුන්ට හා වෙද හාමිනේලාට කරන්න පුළුවන් එක ම දේ නිවේදන කියවීම පමණයි.  

 

ඒත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයට තවමත් එල්ලිලා ඉන්න පුළුවන් විකල්පයක් නැති නිසයි. අඩු මිලට භාණ්ඩ නිෂ්පාදනය කිරීම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විකල්පයක් නො වෙයි. කලකට පෙර ජපානය ඒ කළා. එහෙත් සිදු වූයේ කුමක් ද? අද ජපානය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වය පිටුපස යන රටක් බවට පත් වෙලා. චීනය කල්පනාවෙන් වැඩ නොකළොත් ඔවුන්ටත් ඒ ඉරණම ම අත් වෙන්න පුළුවන්.