මට මරණ බය ඇති වුණා
සුදත් බණ්ඩාරගේ මරණයෙන් පසු මට මරණ බය ඇති වුණා. සුදත් හිත හොඳ දොස්තර යනුවෙන් දැන් එක් එක් අය ලියනවා. බුලත් විට කෑ දොස්තර යන්න තවත් යෙදුමක්. ඊනියා විප්ලවවාදීන් ද ඔහුගේ හොඳ කියනවා. එක් පඬියකුට අනුව සුදත් තම හොඳ ම ප්‍රතිවාදියා. පඬියාගේ ලොක්කා මුකුත් කී බවක් දැන ගන්න නැහැ. අතන මෙතන පතන රතන හාමුදුරුවො මා දැනුවත් ව මොකුත් කියා නැහැ.
සුදත් බණ්ඩාර ගැන මා ලියු කෙටි සටහන ඇතැමකුට
මගහැරිලා. ඒ මගේ ශෛලිය නිසාලු. මා නාභිගත නැහැ කියලයි ඒ අය කියන්නෙ. ඒක මගේ වැරැද්ද
වෙන්න පුළුවන්. එහෙත් කියවන අයත් මගේ ශෛලියට පුරුදු වුණොත් නරක ද? හාමුදුරුවරුන්
බණ කියන කොට විවිධ දේ දේශනා කරනවා. ශ්‍රාවකයන්ට
ඉන් මතක හිටින්නේ ටික ද? මා දන්නේ නැහැ. උදයසිරි වික්‍රමරත්නගේ සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ
ආකෘතියේ පසුබිමේ ඇත්තේ ධර්මදේශනා ශෛලිය. ඒ බව උදයසිරි කියා තියෙනවා ද කියා මා
දන්නේ නැහැ.
සුදත් ගැන ජීවත් ව සිටිය දී කිසිවකු ලියූ බවක්
මට මතක නැහැ. ඔහු විප්ලවාදියකු වූයේ ඇයි? වෛද්‍ය පීඨවල අය විිද්‍යා පීඨවල අය
ඉංජිනේරු පීඨවල අය විප්ලවවාදීන් වන්නේ අයි?
ශාස්ත්‍ර පීඨවල අය විප්ලවවාදීන් වන්නේ
ඇයි? අප පාසලේ හිටියා රිචඩ් පීරිස් සමාගමට
සම්බන්ධකම් තිබූ අයෙක්. ඔහු කොමියුනිස්ට්වාදියකු වුණා. පසුව රුසියාවේ ඉගෙනුම ද
ලැබුවා. ඔහු වැනි අය විප්ලවවාදීන් වන්නේ ඇයි?
පිලිප් ගුණවර්ධන විප්ලවවාදියකු වූයේ ඇයි? ඔහුට
තම පියාට ඉංගිරිසින් සැලකූ ආකාරය ගැන හැඟීමක් තියෙන්න ඇති. එන් එම් විප්ලවවාදියකු
වූයේ ඇයි. ශාන්ත තෝමස් විද්‍යාලයේ ද ටික කාලයක් ඉගෙන, ආනන්ද
විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට ද ක්‍රීඩා කළ එන් එම්ට එංගලන්තයේ දී සමාජ අසාධරණය
දැනෙන්න ඇති. එහෙත් කොල්වින් ආර් ද සිල්වා රාජකීය විදුහලේ ඉගෙනුම ලබා එංගලන්තයට
ගොස් නීතිඥයකු වී ආපසු ලංකාවට පැමිණීමෙන් පසුවයි විප්ලවවාදියකු වුණේ. දොස්තර
සයිමන් ගුණවර්ධනගේ පුතකු වූ ද ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ද ලෙස්ලි
ගුණවර්ධන විප්ලවවාදියකු වූයේ ඇයි.
මේ එක් එක් අය ගැන ලිඳ ළඟ කතා නැත්නම් කන්ද උඩ
කතා කියන්න පුළුවන්. ඒත් ඒ සියල්ලන්ට පොදු වූ ලක්‍ෂණයක් ද තියෙනවා. ඒ සමාජ
අසාධාරණයක් ඇති බව යම් කිසි ආකාරයකින්
වැටහීම හා මාක්ස්වාදය පිහිටෙන් අසාධාරණය නැති කළ හැකිය යන විශ්වාසයයි. එකල
සෝවියට් රුසියාව තිබූ කාලයෙහි නම් ඇතැමුනට මාක්ස්වාදයේ ඊනියා (ඊනියා කියන එකේ
තේරුම එසේ නොවන කල එසේ යැයි කීම) සත්‍යතාව ගැන උදාහරණයක් තියෙන්න ඇති. දැන්නම්
ඇත්තේ ඒ පිළිබඳ විශ්වාසයක් පමණයි.
මේ අතර සමහරු ප්‍රසිද්ධිය සඳහා සමාජ වැදගත්කමක්
ලබා ගනීම සඳහාත් විප්ලවවාදීන් වෙනවා.
සුදත් එවැන්නකු වූයේ නැහැ. ඔහුට සමාජ අසාධාරණයට පිළියමක් සෙවීමට අවශ්‍ය වුණා. ඔහු
තමාට වඩා සමාජය ගැන කල්පනා කළ අයෙක්. මා හිතන්නේ නැහැ ඔහුට පෞද්ගලික ව සමාජ
අසාධාරණයක් වුණා කියලා. ඒ නිසා මාක්ස්වාදය අත් හැර ජාතිකත්වය වැළැඳ ගැනීම ඔහුට ප්‍රශ්නයක්
වුණේ නැහැ. කුල පීඩනය නිසා හෝ වෙනත් එවැනි පෞද්ගලික කරුණක් නිසා හෝ විප්ලවවාදීන්
වන ඇතැමුන් සමාජ අසාධාරණය ධනපති පංතිය නිසා ඇතිවන්නක් වෙනුවට සිංහල බෞද්ධ
සංස්කෘතියේ කුල භේදය නිසා ඇති වන්නක් ලෙස සිතා සිංහල බෞද්ධකමට විරුද්ධ ව සටන්
කරන්න පටන් ගත්තා. ඇතැම් ප්‍රදේශවල එය ගොයිගම විරුද්ධත්වයක් බවට පත් වුණා. සිංහල
බෞද්ධත්වයට විරුද්ධවන්නන්ට බටහිර රටවල සෘජු හෝ වක්‍ර හෝ ආධාරය ලැබෙනවා.
සුදත්ට මේ ප්‍රශ්න තිබුණේ නැහැ. හෙට දේශපාලන
බලය ලබා ගැනීම සඳහා ඕනෑම අලුගුත්තේරු වැඩක් කරන්න ඔහු පෙළඹුණේ නැහැ. කෙක්කෙන් හරි
කොක්කෙන් හරි බලය ලබා ගන්න ඔහු කටයුතු කෙළේ නැහැ. ඔහු අනුන් රැවටීමට මහණ වුණෙත්
නැහැ ලෝගුව දාගත්තෙත් නැහැ. ඔහුට නායකයා වීමේ දොළදුකක් තිබුණෙත් නැහැ. ඔහුගේ
වියෝවීම ජාතිකත්වයට පාඩුවක්.
සුදත්ගේ අභාවයෙන් පසු මට මරණ බය ඇති වුණේ ඔහු
ගැන හොඳක් නොකී අය තරගයට ඔහු ගැන හොඳ කීමට ඉදිරිපත් වීම නිසා. මා මළ පසු උගතුන්
බුද්ධිමතුන් වියතුන් මගේ හොඳ කියයි ද කියා හිතුණ නිසා. දැනට නම් ඔවුන්ට අනුව මා
මිථ්‍යා මත ධාරියෙක්, බටහිර විද්‍යාව පට්ට පල් බොරු කියන
පිස්සෙක්, මුග්ධයෙක්,
මැන්ටලයක්, අන්තවාදියෙක්, ජාතිවාදියෙක්, ආගම්වාදියෙක්, සිංහල
බෞද්ධ සුපිරිවාදියෙක්, සිසුන් නොමග යැවූවෙක්, දුර්වල
ශිෂ්‍යකු වූ නිසා සසෙක්ස් විශ්වවිද්‍යාලය උපාධියක් ලබා දී ඉක්මණින් ලංකාවට පිටත්
කර යැවුවෙක්.
මෙරට විශ්වවිද්‍යාල තුනක මා උගන්නල තියනවා.
පේරාදෙණියට දෙවැනි වර එනවිට ගණිත අධ්‍යනාංශයේ
කිහිප දෙනකු එයට විරුද්ධ වුණා. ඒ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් වේය කියා.
පීඨාධිපති ඇතුළු තවත් අය ද විරුද්ධ වුණේ මා විප්ලවවාදියකු කියා. කොළඹ දී ඇතැම්
කථිකාචාර්යවරුන් තමන්ට බැන්නා ය කියා මට විරුද්ධ ව චෝදනා කළා. ජී එල් පීරිස් හරිස් ද සිල්වාගේ සභාපතිත්වයෙන් ඒ චෝදනා
විභාග කිරීමට පත් කළ ඊනියා අපක්‍ෂපාත කමිටුව මා වරදකරුවකු කළා. එය පීරිස්ගේ
කමිටුවක්. කම්කරු උසාවිය මා නිදහස් කළා. අනෙක් විශ්වවිද්‍යාල මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප
කළා. මා නඩු කියා කැලණියට ගියා. කැලණියේ දී ආචාර්යවරු මට විරුද්ධව ශිෂ්‍යනට පත්‍රිකා
බෙදුවා. විද්‍යා පීඨයේ මගේ මතවලට විරුද්ධව විශේෂ රැස්වීම් තියා ශිෂ්‍යනට කරුණු
කියා දුන්නා. ඒ ආචාර්යවරු මා මෙන් නොව ශිෂ්‍යයන් යහමගට යවන අය.
මා නරක මිනිහෙක්. ඒ බව මා දන්නවා. මට ඇති බය මා
මළ පසු මගේ හොඳ කියාවි ද කියා. කියන්න හොඳක් නැහැ. මා වෙනුවෙන් දුක් ගී ලියාවි ද
කියා මට බයක් තියෙනවා. මගේ එක ම පැතුම මගේ මරණය ගැන උගතුන් බුද්ධිමතුන් වියතුන්
ආදීන්ට දැන ගැනීමට ඉඩක් නොතැබීමයි.