Main Logo

Tuesday 21 September 2021

ඊනියා ඩයස්පෝරාව සමග මොන කතා ද?

 

ඊනියා ඩයස්පෝරාව සමග මොන කතා ද?

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්ට කියා තිබෙනවා දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව. මෙහි වැරදි ගණනාවක් ම තිබෙනවා. පළමුවෙන් ම ඩයස්පෝරාව කියන වචනය වැරදියි. මෙය බයිබලයේ, පරණ තෙස්තමේන්තුවේ එන වචනයක්. යුදෙවුවන් තම රටින් පිටුවහල් කිරීමෙන් පසුව ඔවුන්ට යොදා ගැණුනු වචනයක්. එහි තේරුම තම නිජබිමෙන් පිට කෙරුණු වැන්නක්. දෙමළ ඩයස්පෝරාව කියන්නේ තම නිජබිමෙන් පිටමංකෙරුණු දෙමළ ජනයා කියන එකයි.

 

මා මේ ගැන නොයෙකුත් වතාවල කියා ඇති මුත් ඒ ගැන සිංහලයන් එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ.  සිංහලයන් තරම් අවිචාර පුද්ගලයන් ලෝකයේ තවත් ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. අපේ ඉතිහාස කතාවේ  හැටියටත් අප අපේ දැනුම ගිනිබත් කර ආන්ද්‍ර ප්‍රදේශ දැනුම පිළිගත් අය.

 

සංඛ්‍යාවල  බිංදුව ලෝකෙට දුන්නේ අප ය කියා මා ටික කලකට පෙර කිවුවා. බිංදුව වෙනුවට අප ලිවුවේ හල්කිරීම. ඇතැම් ඉන්දියානු භාෂාවල හල්කිරීම වෙනුවට ලියන්නේ අදාළ අකුරට උඩින් බිංදුව. සංඛ්‍යාවල බිංදුව ලෝකෙට ගියේ එහෙමයි. අද ලෝකයා දන්නේ බිිංදුව හින්දු සංකල්පයක් ලෙස. එය සිංහල බෞද්ධ සංකල්පයක්.

 

බිංදුව යන සංකල්පයේ මුල ඇත්තේ අගයක් නැති එහෙත් අගයක් ඇති සංඛ්‍යාව  යන්න. 0 ලෙස ලියූ විට අගයක් නැති වුවත් 105 ලෙස ලියූ විට බිංදුවට අගයක් තියෙනවා. අගයක් නැති එහෙත් අගයක් ඇති යන්න චතුස්කෝටික කතාවක්. සිංහලයන්ට සිංහලයන්ගේ වටිනාකම බිංදුව වෙලා. හල්කිරීමත් ශබ්දයක් නැති එහෙත් ශබ්දයක් ඇති සංකේතයක්. ක් කියා වෙනත් අකුරු නැතිව තනියම ලියූ විට ශබ්දයක් නැහැ. එහෙත් අක්කා කියා ලියූ විට ශබ්දයක් තියෙනවා. අප නිර්මාණය කළ ශාස්ත්‍රීය සංකල්ප සියල්ල ම පාහේ මකා දමා තියෙනවා කියන එකයි මගේ හැඟීම. සීගිරියේ බිංදුව කොහොම නමුත් ඉතිරි වී තිබෙනවා. 

 

හල්කිරීම සීගිරියේ දක්නට ඇති බව මා දැන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශවල විජේවර්ධනගෙන්. ඔහු තවමත් එහි ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. මා හල් කිරීම ගැන සොයා බලන ලෙස පුරාවිද්‍යාඥයන් කිහිප දෙනකුට ම කී නමුත් ඔවුන්  එය සතපහකට ගණන් ගත්තේ නැහැ. ඔවුන්ට බිංදුවේ වටිනාකම සත බිංදුවක් වන්න ඇති. හල්කිරීම ගැන මා කලින් ලියා ඇති. බිිංදුව සංකල්පය අප ආන්ද්‍ර බුද්ධාගම වැළඳ ගැනීමට පෙර සංස්කරණය කරන ලද්දක් වෙන්න ඕන.

 

කෙසේ වෙතත් සිංහලයන් තමන්ගේ දේ පහත දැමීමටත් අනුන්ගේ දේ වැළැඳ ගැනීමටත් සමතුන්. ඔය ඩයස්පෝරා වචනයත් එහෙමයි. ඒ වචනය යොදා ගැනීම ම සම්පූර්ණයෙන් ම වැරදියි. අනෙක් අතට ඊනියා ඩයස්පෝරාව හෙවත් විසිරුණු දෙමළ ජනයා අද නඩත්තු කෙරෙන්නේ එංගලන්තය මගින්. දෙමළ ජාතිවාදය ම ඉංගිරිසින්ගේ හා ලන්දේසීන්ගේ නිර්මාණයක්. එය සිංහල බෞද්ධත්වයට එරෙහි ව සකස් කරන ලද්දක්. ලන්දේසීන් ලංකාවෙන් ගිය පසු ඉංගිරිසින් දෙමළ ජාතිවාදය පෝෂණය කර රැකගත්තා. අවසානයේ දී එය දෙමළ ත්‍රස්තවාදය දක්වා විකාශය වුණා.

 

ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ලෙස පරාජය කිරීම සැලසුම් කෙළේ එලෙස විකාශය වූ දෙමළ ජාතිවාදයයි. එදා නන්දිකඩාල් කලපුවේ දී පරාජය වුණේ ඒ සම්පූර්ණ කතාවයි. ඉන් පසු තවත් ඒ ගැන කතා නැහැ. දෙමළ ත්‍රස්තවාදය පරාජය වීමත් සමග දෙමළ ජාතිවාදයත් පරාජය වුණා. ඒ අදහස් මාලාව ම පරාජය වුණා. යුද්ධය හරි මෙහෙයුම් හරි කියන්නේ දේශපාලනය ඉදිරියට ගෙන යෑමක්.   යුද්ධය කියන්නේ දේශපාලන තීන්දු ගන්නා එක් ක්‍රමයක්. ජ වි පෙ ආයුධ අතට ගත්තෙ දේශපාලන වැඩකට නො වේ ද? කොළඹ විශ්වවිද්‍යාලයේ සුවාදීන ශිෂ්‍ය සංගමය ආයුධ අතට ගත්තා ද කියා ලක්තිලකගෙන් අහන්න. සුවාදීන නායක ධර්මසිරි හා ප්‍රා අතර තිබූ සම්බන්ධය ගැන රාජිත දන්නවා ද කියා අහන්න.

 

නන්දිකඩාල් ජයග්‍රහණයේ දී දෙමළ ජාතිවාදී සංකල්ප රාමුව සම්පූර්ණයෙන් පරාජය කෙරුණා. ඒ ගැන නැවත සාකච්ඡා අවශ්‍ය නැහැ. ඒ ගැන විසිරුණු දෙමළ ජනයා හරි සම්බන්ධන්ලා එක්ක හරි සාකච්ඡා කරන්න පෙර බයිඩන්ටත් ජොන්සන්ටත් කියන්න නට්සීන් සමග සාකච්ඡා කරන්න කියා. නට්සීන් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය කෙරුණා. ඊනියා ඩයස්පෝරාවත් සමග මොන සාකචඡා ද?

 

අද විසිරුණු දෙමළ ජනයා මෙහෙයවෙන්නේ එංගලන්තයෙන්. පරාජය කෙරුණු දෙමළ ජාතිවාදය ලෝකයේ යම් අයුරකින් පවත්වාගෙන යනු ලබන්නේ එංගලන්තය විසිනුයි. අප සමහරුනට එංගලන්තයෙන් එන සුළඟත් සනීපයි. දැන් නම් සුළඟ ටිකක් හීතලයි. ඇතැමුන්ගේ මව්රට එංගලන්තයයි. ආන්ද්‍ර ප්‍රදේශ දැනුම වැළඳ ගත් සිංහලයන්ට ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් දැනුම මොන තරම් ඉහළ ද? අද සාකච්ඡා කරනවා නම් කළ යුත්තේ බොරිස් ජොන්සන් සමගයි. ඔහු ළඟ දි විවාහ වුණා. ඔහුට භාර්යාවගෙන් උපදෙස් ලැබේවි.

 

ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය කුමක් ද? මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද? ඒ ප්‍රශ්නය අසා දැන් අවුරුදු තිහක් පමණ වන නමුත් තවමත් පිළිතුරක් නැහැ. ශිෂ්‍යත්ව සමත් ශිෂ්‍යත්ව අසමත් උපාධිධාරී නිරූපාධිධාරී (උපාධිධාරී නොවන) කිසිවකුට ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න බැරි වෙලා. දෙමළ නායකයන්ටත් ඒ ප්‍රශ්නයට උත්තරයක් නැහැ. වරක් එස් එල් ගුණසේකර එවැනි ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ දී ඇසූ විට කුමාර් පොන්නම්බලම් කීවේ දෙමල ජනයාගේ අභිලාෂය කියායි. අභිලාෂය මොකක් ද කියා ඇසූ විට ඔහු කීවේ රජයේ ඇතැම් පෝර්ම දෙමළ භාෂාවෙන් නැති බවක්.

 

ඇතැම් සිංහල කතෝලිකයන් හා සිංහල ක්‍රිස්තියානීන් ද කුල භේදය නිසා යම් යම් ප්‍රශ්න ඇති වූ සිංහල බෞද්ධ පවුල්වල උපත ලත් ඇතැමුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියට හා ජාතිකත්වයට පහර දීමට දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් බොහොමයක් නඩත්තු කෙරෙන්නේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන හරහා. මේ සංවිධාන නෝර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල් හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල විශ්වවිද්‍යාලවල රැකියා ලබා ගැනීමට ශිෂ්‍යත්ව ලබා ගැනීමටත් සිංහල බෞද්ධ විරෝධී මතධාරීන් වීම සුදුසුකමක් වෙනවා.

 

අද මෙරට දෙමළ පක්‍ෂ භේද භින්න වී ඇත්තේ. එයට ප්‍රධාන හේතුව දෙමළ ජාතිවාදී දේශපාලනය අසාර්ථක වීමයි. එසේ තිබිය දී අප ඊනියා ඩයස්පෝරාවක් සමග සාකච්ඡා කිරීම වැටි ඇති දෙමළ ජාතිවාදය නගා සිටුවීමක් පමණයි. 

 

අනෙක් අතට අද බලලෝභී අවස්ථාවාදීන් බලයට ඒමට නැවතත් ජාතිකත්වය ගසා කෑමට අර අඳිනවා. ඔවුන් විවිධ සූම් හා අසූම් සාකච්ඡා මගින් සංවිධානය වෙනවා. ඊනියා දෙමළ ඩයස්පෝරාව සමග කෙරෙන සාකච්ඡා ඒ අවස්ථාවාදී පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් වෙනවා. ඇතැම් රිළවුන්ගේ අතීතය සිංහල බෞද්ධ විරෝධී මංගලලා සමගත් සම්බන්ධයි. අවශ්‍ය වුණොත් සියල්ල හෙළිදරවු කරන්නම්.