Main Logo

Tuesday 7 September 2021

නවසීලන්ත තෙපරබෑම්

 

නවසීලන්ත තෙපරබෑම්

 

නවසීලන්ත අගමැතිණිය අහමඩ් අධිල් මොහොමඩ් සම්සූදීන් ත්‍රස්තවාදියා ලාංකිකයකු ලෙස හැඳීන්වීම මා විවේචනය කළා. ඔහු ඕක්ලන්ඩ්හි සුපිරි වෙළෙඳසලක විනාඩියක් පමණ කාලයක දී පිහි ඇනුම් හයක් පමණ කළ ත්‍රස්තවාදියෙක්. මේ ගැන මගේ විවේචනය කාලය වෙබ් අඩවියේත් මුහුණු පොතේත් පළ කෙරුණා. ඇතැමුනට විද්‍යුත් තැපෑලෙනුත් ලිපිය බෙදා හැරුණා. මා හිතන්නේ දි අයිලන්ඩ් පුවත්පත පමණක් ඒ ලිපිය පදනම් කරගෙන ප්‍රවෘත්තියක් ලියා තිබුණා.  ප්‍රවෘත්තිය ලිවීම සම්බන්ධයෙන් මා ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩොට ස්තුතිවන්ත වෙනවා. වෙනත් කිසිම පුවත්පතක් මා දන්නා තරමින් අදවත් නවසීලන්ත අගමැතිණිය කළ ප්‍රකාශයේ බරපතළ කම කියා නැහැ. විශේෂයෙන් සිංහල මාධ්‍යයේ මාධ්‍ය ඒ ප්‍රවෘත්තිය නොසලකා හැරීම තරමක ප්‍රශ්නයක්. දෙරණ අරුණ දි අයිලන්ඩ්  ප්‍රවෘත්තිය කියෙව්වේවත් නැහැ. ඒ කලකට පසුව පැමිණි සංඛ අමර්ජිත්ගේ වරදක් නොවෙයි. අරුණ පුවත්පතේවත් ඒ ගැන සඳහනක් කෙරුණේ නැහැ. එය දේශීය දැනුමේ මිථ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් කියා හිතනවා ද දන්නේ නැහැ.

 

ඒ මාධ්‍ය ජාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ එකල සිටි කිහිප දෙනකු ම ප්‍රධානීන් වුවත් ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂක හා වෙනත් එවැනි තනතුරු දරන්නන්ට මා සම්බන්ධයෙන් ඇත්තේ විරෝධාකල්පයක්. කොහොමටත් ජනමාධ්‍යවේදීන් අතළොස්සක් හැරුණු විට අනෙක් අයට මා කියන දේ ගැන ඇත්තේ විරෝධයක්. දිවයින හා විදුසර පුවත්පත් මගේ ලිපි පළ කිරීම නතර කරලා. දෙරණ තුන්සිය හැට මට දුන් පළමු වැඩ සටහනෙන් උත්සාහ කෙළේ මා මගේ දරුවන්ට පිටරට අධ්‍යාපනය ලබා දී අනෙක් අයට මෙරට අධ්‍යාපනය ලබා ගන්න කියන  වංචනිකයයකු බව කීමටයි. එය කාගේ වුවමනාවට කෙරුණක් ද කියා මා දන්නේ නැහැ. අනෙක් ජනමාධ්‍යවලට මා පිටසක්වළ වැසියෙක්.

 

කෙසේ නමුත් නවසීලන්ත අගමැතිණියට තමන් කර බරපතළ වරදින් මිදෙන්න මෙරට දේශපාලනඥයන් හා ජනමාධ්‍යවේදීන් බහුතරය නිසා හැකි වී තිබෙනවා. නවසීලන්තය අපට වැදගත් රටක් වීමට පටන් ගත්තේ මා හිතන විධියට අවුරුදු විස්සක පමණ කාලයක සිට. ඕස්ත්‍රේලියාව සමග අප බොහෝ කලක් තානාපති සම්බන්ධකම් පවත්වා තියෙනවා. එහෙත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක් වීත් එ ජා පක්‍ෂ රජයකටවත් නවසීලන්තනය සමග තානාපති සම්බන්ධකම් ඇති කර ගන්න වුවමනාවක් තිබී නැහැ. නවසීලන්තය ගැන හොයා බැලුවේ අපේ ඕස්ත්‍රේලියා මහා කොමසාරිස් කාර්යාලෙනුයි.

 

එහෙත් දැන් දශක දෙකක පමණ කාලයක මෙරට බොහෝ දෙනා රැකියා හා අධ්‍යාපන කටයුතු සඳහා නවසීලන්තයට යැමට පුරුදු වී සිටිනවා. එය නවසීලන්තය සමග තානාපති සම්බන්ධකම් ඇති කර ගැනීමට හේතුවක් වෙන්න ඇති. මාසයකට පමණ පෙර ලංකාව හා නවසීලන්තය අතර තානාපති සම්බන්ධකම් ඇති වුණා. දැන් ලංකාවේ නවසීලන්ත මහා කොමසාරිස්වරයකු ඉන්නවා.

 

මට පේන විධියට නවසීලන්තය තමන් කළ වරදින් ලිස්සා යෑමට උත්සාහ කරනවා. අද ඔවුන් කියන බවක් පෙනෙන්නේ ත්‍රස්තවාදියා නවසීලන්තයේ සරණාගාතයකු ව සිටි නමුත් කලක සිට ඔහු පිටුවහල් කිරීමට කටයුතු කරමින් සිටියත් නවසීලන්ත නීතියේ යම් යම් අඩුපාඩුකම් නිසා ඔහුට නවසීලන්තයේ රැඳී සිටීමට හැකි වූ බව.

 

එයින් කරුණු කිහිපයක් කියැවෙනවා. පළමුවෙන් හැම රටකට ම ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා දැඩි නීති අවශ්‍ය බව. එවන් තත්වයක දී බටහිර රටවල් අපට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ගැනීමට කියන්නේ ඔවුන්ට මෙරට ත්‍රස්තවාදය පෝෂණය කිරීමට අවශ්‍ය නිසා වෙන්න ඕන. බටහිරයන්ගේ ඒ ද්‍රෝහි යෝජනාවලට ඔවුන් විසින් නඩත්තු කෙරෙන සිවල් සාමාජිකයන්, ඊනියා ක්‍රිස්තියානි සාම මණ්ඩල, ප්‍රතිපත්ති කේන්ද්‍ර, දක්‍ෂිණාංශික වමාලා සහ තවත් අය දෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආධාරය  දැකගන්න පුළුවන්.

 

දෙවනුව සරණාගත තත්වය ලබා දීම පිළිබඳ ව. නවසීලන්තය අද කියන්නේ ත්‍රස්තවාදියාට සරණාගතභාවය ලබා දුන්නේ ඔහු ඉදිරිපත් කළ ව්‍යාජ ලේඛන නිවැරදි යැයි කියා හිතා ගෙන බව. මෙය බරපතළ කරුණක්. ඉදිරිපත් කෙරී ඇති ලේඛන ව්‍යාජ ඒවා බව දැන ගැනීමට ක්‍රමයක් නවසීලන්ත බලධාරීන්ට තිබුණේ නැද්ද? ත්‍රස්තවාදියා ගැන සඳහන් කරන විට නවසීලන්තය කියන්නේ ඔහු ලංකාවේ දෙමළ මුස්ලිම් අයකු බවයි. ලංකාවේ දෙමළ කතාකරන මුස්ලිමුන් මිස දෙමළ මුස්ලිමුන් නැහැ.

 

බටහිර රටවල් දෙමළ කමක් ගෑවී ඇති අයට පවා ලංකාවට විරුද්ධව සරණාගත තත්වයන් ලබා දීමට දක්වන උනන්දුව මෙයින් පැහැදිලි වෙනවා. නවසීලන්තය ත්‍රස්තවාදියාට සරණාගත භාවයක් ලබා දී ඇත්තේ ලංකාවට අගෞරවයක් කිරීමට බව පෙනී යනවා. එහෙත් ඔහු එරටට තර්ජනයක් වීමෙන් පසු සමහර විට නවසීලන්තනයට ඔහු පිටුවහල් කිරීමට අවශ්‍ය වෙන්න ඇති. එහෙත් නවසීලන්තයේ පවත්නා නීති එයට බාධාවක් වුණා ද දන්නේ නැහැ. මේ සියල්ල පිළිබඳ ව අපට ඇත්තේ නවසීලන්තය සපයන තොරතුරු පමණයි.

 

තුන්වැනුව කිව යුත්තේ ත්‍රස්තවාදී ක්‍රියාව කරණ විටත් ත්‍රස්තවාදියා නවසීලන්තයේ සරණාගතයකු බව. ඔහූ පිටුවහල් කිරීමට නවසීලන්ත නීතිය හරස් වුණත් ඒ වන විටත් ඔහු නවසීලන්තයේ සරණාගතයකු. නවසීලන්ත අගමැතිණිය ඔහු ලාංකිකයකු බව කීමෙන් වසන් කිරීමට තැත් කෙළේ මේ සරණාගත භාවයයි. නවසීලන්තය සරණාගත තත්වය ලබා දී ඇත්තේ ත්‍රස්තවාදියකුට. බටහිර රටවල් සරණාගතභාවය ලබා දී ඇත්තේ ලංකාවේ ත්‍රස්තවාදීනට.

 

අප නවසීලන්ත අගමැතිණියගේ ප්‍රකාශයට විරුද්ධත්වය පළ කර සිටින්න තිබුණා . එහෙත් එය කෙරී නැහැ. නවසීලන්තය සමග අප තානාපති සම්බන්ධකම් ඇති කරගෙන වැඩි කලක් නැහැ. ආණ්ඩුව හිතුව ද දන්නෙ නැහැ අලුත බැඳපු කසාදෙ ඔහෙ තියෙද්දින් කියල.