Main Logo

Wednesday, 8 September 2021

අනුකරණ සහ අසීමිත අයිතිවාසිකම්

 

අනුකරණ සහ අසීමිත අයිතිවාසිකම්

 

අප අයිතිවාසිකම් ගැන පමණක් කතා කරන යුතුකම් අමතක කරන ජාතියක් වීම ගැන කාට හරි පුළුල් අධ්‍යයනයක් කරන්න පුළුවන් නම් හොඳයි. මෙය මෙරට සමසමාජ ව්‍යාපාරය ආරම්භ වීමත් සමග පටන්ගත් දෙයක් බවයි මගේ වැටහීම. සමසමාජ නායකයන් යුතුකම් ඉටු නොකළ පිරිසක් නොවෙයි. අද මෙන් ම වසංගත කාලයක, තිස් ගණන්වල  මැලේරියාව නැති කිරීමට ඒ රෝගීන් සුවපත් කර ගැනීමට සමසමාජ නායකයන් වැඩ කළා.

 

පිලිප් ගුණවර්ධන කැලණි ගඟෙන් බටහිර හේවාගම් කෝරළයේත් එන් එම් පෙරේරා කැලණි ගඟෙන් නැගෙනහිර තුන් කෝරළයේත් සූරියමල් ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කළා. එන් එම් පෙරේරාට රුවන්වැල්ල යටීයන්තොට ආදී ප්‍රදේශවල ජනයා පරිප්පු මහත්තයා යැයි කීවේ ඔහු එහි ජනතාවට මැලේරියා කාලයේ පරිප්පු බෙදපු නිසයි. ඒ යුතුමක් මිස අයිතිවාසිකමක් නො වෙයි.

 

එහෙත් සමසමාජ ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති හා දේශපාලනය විසින් අවධාරණය කෙරුණේ අයිතිවාසිකම් මිස යුතුකම් නො වෙයි. සිංහල සමාජය සාමූහිකත්වය මත ගොඩ නැගුණූ එකිනෙකා තම යුතුකම් ඉටුකළ සමාජයක්. අයිතිවාසිකමක් ගැන කතා කිරීමට තරම්වත් කිවහැකි අයිතියක් පැරණි සමාජයේ තිබුණේ නැහැ. මෙරට සමසමාජ නායකයන් බොහෝ දෙනකු එංගලන්තයට ගොස් එහි දී මාක්ස්වාදී වූ අය.

 

කතාවක් තියෙනවා විසිවැනි සියවසේ මුල එංගලන්තයට අධ්‍යාපනයට ගිය අයට ඉංගිරිසින්ගේ මානසික හිංසාවලට හා පීඩනවලට යට වීමෙන් පසු සහනයක් ලබා ගැනීමට හැකි වූයේ ඒක්කෝ වර්ණ භේදයක් නොසැලකූ මාක්ස්වාදී ව්‍යාපාරයට එකතු වීමෙන් හරි තමන් මෙන් ම පීඩාවට පත් වූ යුදෙව් තරුණියක් සමග මිත්‍ර වීමෙන් පසුව හරි කියා. යුදෙව්වන් කෙරෙහි මුළු යුරෝපය පුරා ම සියවස් ගණනාවක් මුළුල්ලේ ඇත්තේ වෛරයක්. යුදෙව්වන් මුදල් පොලියට දෙන්නන් ලෙස එකල ප්‍රසිද්ධ වී තිබුණා.

 

වැනීසියේ වෙළෙන්දා නාට්‍යයේ ෂේක්ස්පියර් කියන්නේ මේ මුදල් පොලියට දෙන්නන් ගැනයි. යුදෙව්වන් කෙරෙහි වූ වෛරයත් ඒ නාට්‍යයෙන් පෙන්නුම් කරනවා. මස් රාත්තල ම ඉල්ලන වෘත්තීය සමිති නායකයන් ගුරුවරුන් අතර දැක ගන්න පුළුවන්. එහෙත් ඒ සමහර ගුරු නායකයන් ඒ නාට්‍යය ගැන කිසිවක් නොදන්නා බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනී යනවා.

 

මේ මුදල් පොලී කතාවටත් වඩා මට හිතෙන්නේ යුදෙව්වන්ගේ වියුක්ත චින්තනයට හා බුද්ධි සම්ප්‍රදායට යුරෝපීයයන් වෛර කළ බවයි. අදත් ගණිතයේ භෞතික විද්‍යාවේ දස්කම් පාන්නේ නව දැනුම් සංස්කරණය කරන්නේ වැඩි වශයෙන් යුදෙව්වන්. ෂේක්ස්පියර් ජීවත් වූයේ 1564 -1616 කාලයෙහි. නිව්ටන් ජීවත් වූයේ 1643- 1727 කාලයෙහි. ගැලීලියෝ 1564-1642 කාලයෙහි ඉතාලියේ ජීවත් වූවා. ගැලීලියෝ හා ෂේක්ස්පියර් එකම වර්ෂයේ ඉපදී ඇති අය. ගැලීලියෝ මිය ගොස් ඇත්තේ නිව්ටන් ඉපදීමට වසරකට පමණ කලින්. දහසය වැනි දහහත්වැනි සියවස්වල යුදෙව් වියුක්ත චින්තනය යුරෝපීයයන් ටික දෙනකු ද අවශෝෂණය කරගැනීමට පටන් ගෙන තියෙනවා.

 

එනමුත් සමස්තයක් ලෙස ගත් කල යුරෝපයේ යුදෙව්වන් කෙරෙහි වූයේ වෛරයක්. ඒ වෛරය විසින් තමයි හිට්ලර් මෙහෙයවනු ලැබුවේ. විස්තරය ටිකක් දික් වුණත් මට කීමට අවශ්‍ය වූයේ මෙරට මාක්ස්වාදී නායකයන් එංගලන්තයට යන කාලයේ එහි හා අනෙක් යුරෝපීය රටවල යුදෙව්වන් පීඩනයට ලක් වූ බව. එකල පීඩාවට පත් ඇතැම් සිංහලයන් තමන් මෙන් ම පීඩාවට පත් යුදෙව් තරුණියන් සමග මිත්‍ර වී ඇති අතර තවත් සමහරු තමන්ට වෙනස්කම් නොකළ මාක්ස්වාදී සංවිධානවලට ඇදී ගොස් තියෙන බව පේන්න තියෙනවා.

 

මාක්ස්වාදයේ සියළු ප්‍රශ්නවලට පිළිතුරු ඇත්තේ ඊනියා කම්කරු පංති ආඥාදායකත්වයක් (Dictatorship of the proletariat) ඇති කිරීමෙන්. එය එතරම් නරක හිතළුවක් නොවෙයි. එය නරක හිතළුවක් වන්නේ ඒ කතාව විද්‍යාත්මක යැයි කීමෙන් ඊනීයා සත්‍යභාවයක් ආරෝපණය කිරීම නිසා. විද්‍යාත්මක සත්‍යයක් නම්, චන්දන ජයරත්න ඉතා මහන්සි වී පුරෝකථනය කරන සූර්ය ග්‍රහණ හා චන්ද්‍ර ග්‍රහණ වගේ, එය වෙන්න ඕන කියන කතාව සමාජයේ තියෙනවා. එය ඊනියා කම්කරු පංතියේ අයිතියක් බවට පත් වුණා. එහි මූලික අවස්ථාවල කම්කරුවන් තම යුතුකම් පැත්තකට දමා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පටන් ගත්තා. ඒ ආකල්පය වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැඩි ව මුල් බැහැගෙන තියෙනවා. අද ගුරුබොරුවන් තම අයිතිවාසිකම් ගැන පමණක් කියවනවා. යුතුකම් ගැන කතා කරන්නේ නැහැ.

 

අද වන විට සමාජයේ අස්සක් මුල්ලක් නෑර යුතුකම් නැතිව අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ තවත් යුරෝපීය සංකල්පයක් අනුකරණය කිරීම නිසා ඇති වී තිබෙන විනාශයක්. අපේ සමාජයේ යුතුකමට තිබූ තැන අද නැති වෙලා. අයිතිවාසිකම ඉදිරියට ඇවිල්ලා. සමසමාජ ව්‍යාපාරය විසින් අවිඥානික ව හරි සිදු කර ඇත්තේ විනාශයක්. තම ඊනියා අයිතිවාසිකම වෙනුවෙන් මවගේ ගෙල කපා මැරූ පුතකු තම මාතාපිතූ උපට්ඨාන යුතුකම විසිකර ඊනියා අයිතිවාසිකම වැළඳ ගෙන.

 

අප සමාජය අනුකාරක සමාජයක්. හැම ක්‍ෂෙත්‍රයක ම පාහේ දක්නට ඇත්තේ අනුකරණ සහ පිටපත් (කොපි). පසුගිය දා අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා තනු ලබාගත් අප්‍රිකානු ගීත තුනක් මා පසු දිනෙක ඉදිරිපත් කරන්නම්. එහෙම තමයි අපි සංගීතයේ නව මාන නිර්මාණය කරන්නේ. අනෙක් ක්‍ෂෙත්‍රවලත් එහෙමයි.

 

අප යුරෝපයේ අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය අනුකරණය කරන්නේ මතුපිටින්. යුරෝපයේ හා බටහිර රටවල පෞද්ගලිකත්වයට සීමාකම් තිබුණා. අනෙක් පුද්ගලයන්ටත් තම තමන්ගේ අයිතිවාසිකම් තිබෙන බව පිළිගැනීම එහි හරයයි. එය විවිධාකාරයෙන් ප්‍රකාශ වෙනවා. යමකුට තම අත්පා විසිකළ හැක්කේ අනෙක් තැනැත්තගේ (ඊනියා අනෙකාගේ නොවේ) නාසය පටන් ගන්නා තෙක් පමණ යැයි එක් සංස්කරණයකින් කියැවෙනවා. එමෙන් ම ඒ ඒ ප්‍රකාශවල කතෘත්වය විවිධ පුද්ගලයන්ට පැවරෙනවා.

 

අප ඊනියා අයිතිවාසිකම් ගැන කතා කරන්නේ අනෙක් අයගේ අයිතිවාසිකම් සතපහකට මායිම් නොකර. අද ගුරුබොරුවන් වර්ජනය කරන්නේ සිසුන්ගේ අයිතිවාසිකම් ගැන කිසිම තැකීමක් නොකර. කොවිඩ් වැළඳුණු සමහරු හා වෙනත් අය අනවශ්‍ය ගමන් බිමන් යන්නේ අනෙක් මිනිසුන්ට කොවිඩ් නොවැළඳී සිටීමට ඇති අයිතිය ගැන සැලකිලිමත් නොවී. මේ පෞද්ගලික නිදහස පිළිබඳ සංකල්පය කොවිඩ් සමග බටහිරත් කඩා වැටෙන බවක් පේන්න තියෙනවා. ලෝකය අද ඉල්ලන්නේ අසීමිත පෞද්ගලික නිදහසක් ද? එය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ කඩා වැටීම පෙන්නුම් කරනවා.

 

මේ පිළිබඳ දැඩි නීති පැනවීම ඊනියා මානව අයිතිවාසිකම්වලට (නැවතත් අයිතිවාසිකම්) විරුද්ධ යැයි කියන්න පුළුවන්. එහෙත් වියට්නාමයේ නිරෝධායන නීති කැඩූ කොවිඩ් රෝගියකුට පසුගිය දා වසර පහක සිර දඬුවමක් නියම කර තිබෙනවා.