බණ්ඩාරනායක ඝාතනයට අවුරුදු හැට දෙකයි
බණ්ඩාරනායක මහතා ඝාතනය කරනු ලැබ අදට අවුරුදු හැටදෙකක් වෙනවා. එහෙත් බණ්ඩාරනායක මැතිණිය පවසා තිබුණේ එන් එම්ලා ඇගේ සැමියා නොමරා මැරූ බව. ඒ වැඩ වර්ජන සංවිධානය කිරීමෙන්. අපි ඒ කතාවට පස්සෙ එමු. මේ කියන්න යන කතාව මා යම් ප්‍රමාණයකට කලින් කියා ඇති. 1989 භීෂණ සමයේ ශ්‍රී ල නි ප අඳුරෙන් එළියට ඒමට තැත් කරමින් හිටියේ. පක්‍ෂය කිසිදා කවන්ධයක් වුණේ නැහැ. සාහිත්‍ය කතාවලින් දේශපාලන විශ්ලේෂණ කරන්න බැහැ. ශ්‍රී ල නි පක්‍ෂයට තිබුණේ යම් ප්‍රමාණයක හරි ජාතිකත්ව හිසක්.
වත්මන් ජාතිකත්වයේ ඉතිහාසය පංච මහා වාද කරා දිව
යනවා. 1817, 1848 නිදහස් සටන්වලින් පසුව සිංහල බෞද්ධයන් පරාජයට
පත් වී සිටියේ. ක්‍රිස්තියානි පූජකවරුන් පූජක නොවන දේශකයන් ආදීන් බුදුදහමට නිගා
කරන කතා කියන්න පටන් ගත්තා. ඉංගිරිිසින් 1833න් පසුව රටේ ජාතික ආර්ථිකය කඩා බිඳ දමා
ඒ මත වැවිලි ආර්ථිකයක් ගොඩ නගා තිබුණා එහි පතල් කර්මාන්තය ද තිබුණා. ඒ සමග
ඉංගිරිසි අධ්‍යාපනයක් ද අරඹා තිබුණා.
ක්‍රිස්තියානින්ගේ නින්දා අපහාසවලට ගොදුරු වූ
සිංහල බෞද්ධයන් අතර කැප්පෙටිපොළ පුරන් අප්පු ගණයේ නායකයන් හිටියේ නැහැ. කෝල්බෘක්
කැමරන් යෝජනාවලින් (සමාජයීය විද්‍යාඥයන් අපට කියන ඊනියා ප්‍රතිසංස්කරණ නො
වෙයි) පසුව අපට ඇති වුණේ ව්‍යවස්ථාගත විරෝධවලට
පමණක් සීමා වූ නායකයන්. ඔවුන්ගේ නායකත්වය ම ඉංගිරිසි ආර්ථිකය හා අධ්‍යාපනය මත
රැඳුනා. අදත් එ ජා පක්‍ෂයේ හා සමගි ජන බලවේගයේ ඇත්තේ එවැනි නායකත්වයක්. අනෙක් පක්‍ෂවල
ඇත්තේ ව්‍යාජ සමාජවාදී අදහස්වලින් ද හිස් කුරුවලු කරගත් නායකයන්. අර වැඩ වර්ජන
මෙහෙයවූයේ අදත් මෙහෙයවන්නේ බොහෝ විට එවැන්නන්. එදා බණ්ඩාරනායක මහතා නොමරා මැරූවන්
අද ගෝඨාභය රාජපක්‍ෂ නොමරා මරණවා. පරස්පර සහිත ව වැඩ කරන්න අමාරුයි.
අපේ පළමු ව්‍යවස්ථාගත විරෝධය යැයි කිව හැක්කේ
පංච මහා වාදවලට. එහි නායකත්වය ගත්තේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්. උන්වහන්සේට
විවිධ නායක හාමුදුරුවරුන්ගෙන් උපදෙස් ලැබෙන්න ඇති. එහෙත් උන්වහන්සේ තමයි පංච මහා
වාදවල, විශේෂයෙන් ම පාණදුරා වාදයෙහි ජීවනාළිය වුණේ.
ගුණානන්ද හිමියන් ව්‍යවස්ථාගත විරෝධවලට පමණක් සීමා නොවූ බවත් කියන්න ඕන. එහෙත් පංච මහා විවාද පිටුපස සිටි ගිහි නායකත්වය
ඉංගිරිසින් විසින් ඇති කරන ලද පළමු පරම්පරාවේ නායකත්වය. ඔවුන් නායකයන් වූයේ ම
ඉංගිරිසි අධ්‍යාපනයට හා ආර්ථිකයට පින් සිදු වන්නට.
ඔවුන් වාද පවත්වා තම අභිමානය රැක ගැනීමට ක්‍රියාත්මක
වුණා. එහෙත් ඉංගිරිසින්ට විරුද්ධ ව ක්‍රියා කරන්න නිදහස දිනා ගන්න ඔවුන්ට අවශ්‍ය
වුණේ නැහැ. අදත් මෙරට ජාතිකවාදීන් බොහෝ දෙනාට ඉංගිරිසින්ගෙන් බටහිරයන්ගෙන් නිදහස්
වන්න වුවමනාවක් නැහැ. මේ වාදවල ප්‍රතිඵලයක් ලෙස ඕල්කට්තුමා ලංකාවට පැමිණියා.
ඉන්පසු නිදහස් සටන නැත්තට ම මෙන් නැති වී ගියා. ධර්මපාලතුමාට පසුව ඒ බව තේරුම්
යන්න ඇති. එතුමා ඉන්දියාවේ බුද්ධාගම පෝෂණය කිරීමට කටයුතු කළා.
මෙරට පිහිටුවන ලද ලංකා කොංග්‍රසය අර වාදවලට
නායකත්වය දුන් අයටත් වඩා ව්‍යවස්ථාගත විරෝධීන්. ඔවුන්ට අවශ්‍ය වූයේ ඩොමීනියන්
නිදහසක්. ඔවුන්ගේ මව් රට වූයේ එංගලන්තය. 1946 දී එ ජා පක්‍ෂය පිහිටුවනු ලැබුයේ
මෙවැනි සිංහල හා ජනවාර්ගික නායකයන්ගේ එකතුවෙන්. බණ්ඩාරනායක මහතා ඔවුන් සමග එකතු
වූයේ සිංහල මහා සභාවේ නායකයා ලෙස. මේ නායකයන් අද ව්‍යවහාරය අනුව ලිබරල් හරි
කොන්සර්වෙටිව් (ගතානුගතික) හරි නායකයන් ලෙස හැඳින්වෙනවා. සේනනායකලා පසුව ජේ ආර්ලා රනිල්ලා
ගතානුගතිකයන්. බණ්ඩාරනායක මහතා ලිබරල්වාදියෙක් වුවා.
1951 දී එ ජා පක්‍ෂයෙන් කැඩුණු බණ්ඩාරනායක
මහතා පිහිටෙව්වේ ලිබරල් පක්‍ෂයක්. එහෙත් ජනතාවට අවශ්‍ය ව තිබුණේ ජාතිකත්ව පක්‍ෂයක්.
බණ්ඩාරනායක මහතා එයට සවන් දුන්නා. 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ශ්‍රී
ල නි ප ජාතිකත්ව පක්‍ෂයක් වුණා. ශ්‍රී ල නි පක්‍ෂයේ මතවාදය සකස් වුණේ පංච මහා වාද
ඕල්කට් මතවාදය උඩ. එයට හිසක් තියෙනවා.
ජනතා අවශ්‍යතාව නිසා ම ශ්‍රී ල නි
ප එවැනි මතවාදයක පිහිටියා. ජනතාවත් ක්‍රියාත්මක වන්නේ ව්‍යවස්ථාගත ව බටහිර
සංස්කෘතියට එකඟ ව. ඒ මතවාදය අනුව 1956 දී ශ්‍රී ල නි ප ප්‍රධාන ම එ පෙරමුණු
ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. ජාතික චින්තන මතවාදය ව්‍යවස්ථාගත විරෝධයකටත් අඩු එකක්.
ව්‍යවස්ථාගත ව බටහිර සංස්කෘතියට හා දැනුමට එකඟ
ව ජාතිකත්ව ආණ්ඩු පිහිටුවන්න බැහැ. ඒ නිසා ම, ම එ පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිරෝධ ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස
බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණා. එතුමා ඝාතනය කිරීමට යොදාගත් තල්දූවේ සෝමාරාම පසුව
ක්‍රිස්තු භක්තිකයකු ලෙස මියගියා. බණ්ඩාරනායක මහතා ඉපදුණේ ක්‍රිස්තියානි පවුලක.
ඔහු මියගියේ යම් ජාතිකත්වයක් ඇති බෞද්ධයකු ලෙස. සෝමාරාම එහි අනෙක් පැත්ත. බටහිර ක්‍රිස්තියානි
සංස්කෘතික ආධිපත්‍යයට හැකියාව තිබුණා ව්‍යවස්ථාගත විරෝධ පරාජය කරන්න.
1989 දී බණ්ඩාරණායක ඝාතනයෙන් අවුරුදු තිහකට
පසු ජේ ආර් විසින් අඩපණ කෙරී තිබුණු ශ්‍රී ල නි පක්‍ෂයට අඳුරෙන් එළියට ඒමට අවශ්‍ය
වුණා. ඔවුන් මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් බණ්ඩාරනායක සමරු කමිටුවක් පිහිටුවා
සමරු දේශනයක් පැවැත්වීමට කටයුතු කළා. ඒත් ඒ භිෂණ සමයේ සමරු කතා පවත්වන්නේ කවු ද? කවුරුන්වත්
නැති කම නිසා ම මහින්ද රාජපක්‍ෂත් එස් බී දිසානායකත් අප නිවසට පැමිණ මට පළමු සමරු
දේශනය පැවැත්වීමට ආරාධනය කළා. මා එය පිළිගෙන අදින් අවුරුදු තිස්දෙකකට පෙර පනස්හයේ
දරුවෝ මැයෙන් දේශනය පැවැත්වුවා. එදා බණ්ඩාරනායක සමරු සම්මන්ත්‍රණ ශාලාවේ සමරු
දේශනය පැවැත්වීම ප්‍රතික්‍ෂෙප කළ අය මෙන් ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවේ
නිලධාරීන් ද සිටියා.
අද පනස්හයේ දරුවන් මා අමතක කර සංකථන පවත්වනවා. එදා භිෂණයට බයෙන් කතා නොපැවැත් වූ නොදත් දොස්තරලා පනස්හයේ දරුවන්ට කවන්ධ නැති ව්‍යාජ කතා කියනවා. මා එයින් කම්පාවට පත්වන්නේ නැහැ. අදත් ලෝකයේ ආධිපත්‍යය දරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය. එය බටහිර දැනුමට විශේෂයෙන් ම බටහිර විද්‍යාවට ආවඩන ව්‍යවස්ථාගත විරෝධීන් රකිනවා. බට
හිර විද්‍යාවට ඇත්තේ ආගමකටත් නැති ආධිපත්‍යයක්. ආයුර්වේදය ගැන කතා කරන ඇතැම් වෙදමහතුන් ද කියන්නේ ආයුර්වේද ප්‍රතිකාරවල ගුණාත්මකභාවය විද්‍යාත්මක ව පෙන්නන්න ඕන කියල. අප බටහිර දැනුමට වාල් නොවී අපේ සන්නාම නිපදවා ගන්න කටයුතු කරන්න ඕන. සන්නාම බටහිර සංකල්පයක් තමයි. එහි ප්‍රශ්නයක් නැහැ. අප විරුද්ධ වන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයටයි.