Main Logo

Friday 3 September 2021

මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයට ඉපදී හැත්තෑවයි

 

මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයට ඉපදී හැත්තෑවයි

 

ශ්‍රී ල නි පක්‍ෂයට ඊයේට (2021 සැප් 02) අවුරුදු හැත්තෑවක් පිරුණා. එහි වත්මන් නායක මෛත්‍රිපාල සිරිසේන ඉපදිලා තියෙන්නේ අදින් අවුරුදු හැත්තෑවකට පෙර. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයට වඩා දවසක් බාලයි. ඊයේ ඔහු පාක්‍ෂිකයන් අමතා කළ කතාව වැඩකට ඇති එකක් නෙවෙයි.  ඒ ගැන ඔහුට දොස් කියන්න බැහැ. අද ශ්‍රී ල නි පක්‍ෂය මරා දාලා. ඒ මැරුවේ මෛත්‍රිපාල කියා බොහෝ දෙනකු හිතුවත් ඒ එසේ නො වෙයි. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වයට හිමිකම් කීමට සිටි අයගෙන් එක් අයෙකු පමණයි. ඔහුට පෙර අනුර බණ්ඩාරනායක, එස් බී දිසානායක වැන්නන් හිටියා. ඔවුන්ටත් එ ඒ අවස්ථාවල ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වෙන්න  වුණා.

 

මෛත්‍රිපාල හා ඔවුන් අතර ඇති වෙනස මෛත්‍රිපාල පිටුපස යම් පිරිසක් ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වී යෑමයි. එසේ පිරිසක් ඉවත් වීමටත් හේතුවක් තියෙන්න ඕන. ඒ කොහොම වෙතත් එස් බී දිසානායකත් මෛත්‍රිපාල සිරිසේනත් අද ඇමතිකම් නැතිව වුවත් මේ ආණ්ඩුවේ කොටස් කරුවන්. චන්ද්‍රිකා නම් කීයටවත් ආණ්ඩුවට එක්වන එකක් නැහැ. ඇයට උදේට ශ්‍රී ල නි ප මතක් වුණා ම ඇඟ පණ නැති වෙනවලු. ඒත් අනුර බණ්ඩාරනායක ජීවත් ව සිටියා නම් ආණ්ඩුවට එකතු වීමට තිබුණා.

 

එ ජා පක්‍ෂය පිහිටුවාත් හෙට අනිද්දාට අවුරුදු හැත්තෑපහක් වෙනවා. මේ පක්‍ෂ දෙක ම අද මිය ගිහින්. පක්‍ෂ දෙක ම මට වඩා බාලයි. මාත් මරණයේ එළිපත්ත පාගා ආ අයෙක්. මට වඩා වැඩිමහල් පක්‍ෂ ඇත්තේ ලංකා සමසමාජ පක්‍ෂය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පමණයි. ඒත් ඒ පක්‍ෂ දෙකත් මිය ගිහින්. ඒ සියලු පක්‍ෂවලට නායකයන් ඇති පක්‍ෂ කාර්යාල ඇති. ඒත් පක්‍ෂ මිය ගිහින්.

 

ශ්‍රී ල නි පක්‍ෂය බිහි වූයේ එ ජා ප මෙන් ම තවත් ලිබරල් පක්‍ෂයක් ලෙස. එය ජාතිකත්වයේ පක්‍ෂයක් වූයේ 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග. එහෙත් අද වන තුරුත් අපට ජාතිකත්වයේ පක්‍ෂය යන්න සියුම් ව විස්තර කිරීමට නොහැකි වී තියෙනවා. ජ වි පෙ එක්තරා අවධියක ජාතිකත්වය හා මාක්ස්වාදී සමාජවාදය අතර දෝලනය වුණා. එහෙත් සෝමවංශ අමරසිංහගේ නික්ම යෑමත් සමග ඒ පක්‍ෂය ඒ දෙක ම අත්හැර බටහිරයන්ගේ අතකොළුවක් වෙලා.

 

අද වන විට මෙරට දේශපාලනයේ හරිහමන් පක්‍ෂයක් නැහැ. පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය තාවකාලික සංසිද්ධි පමණයි. අද දේශපාලනයේ විශාල හිඩැසක් තියෙනවා. එය පිරවීම පහසු නැහැ. ජනතාව සැමදාමත් කළ පරිදි දියසේන සම්ප්‍රාප්තිය බලා ඉන්නවා. විවිධ අවස්ථාවාදීන් දියසේනට ඇඳගන්න බලාපොරොත්තුවෙන් ඒ ඒ සේනාංක හදනවා. ඔවුන් දියසේනලා තබා සීමාසේනලාවත් නො වෙයි.

 

ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවන විට මාක්ස්වාදී පක්‍ෂත් බටහිර ගැති එ ජා පක්‍ෂයත් තිබුණේ. ශ්‍රී ල නි ප මැද පිළිවෙතක් අනුගමනය කරන බවක් කිව්වා. ඒත් එයත් පැහැදිලි නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියේ මධ්‍යම ප්‍රතිපදාව යන්න තේරුමකින් තොරව යොදා ගැනීම පමණයි මෙහි දී සිදු වුණේ. අප ජීවිත පවත්වාගෙන යා යුත්තේ ඕනැවට වඩා දුක් විඳීමටවත් ඕනැවට වඩා සැප විඳීමටවත් නො වෙයි. ඒ කියන්නේ ජනතාව දුකට පත් නොවන එමෙන් ම අධිසැපයක් බලාපොරොත්තු නොවන පිරිසක් වෙන්න ඕන. එහෙත් අද ඇත්තේ එක් පැත්තකින් දුකට පත් වූ පිරිසක්. ඒ දුක කෙතරම් ද කියනවා නම් සමාජයේ කොටසක් තම දරුපවුල නඩත්තු කරගෙන දෙම්ව්පියන්ට උපස්ථාන කරගන්න බැරි පිරිසක් බවට පත්වෙලා. අද අප නිරත වන්නේ ගැටුමක් නැති අනාකුලාච කර්මාන්තවල ද? අර සීනි හංගපු අය කිනම් කර්මාන්තයක් කරන අය ද? හාල් මාෆියාව, විවිධ අතරමැදියන් කොවිඩ් අස්සෙන් මඩිය තරකර ගන්න අය හා අර මාතා පිතු උපට්ඨානය, පුත්තදාරස්ස සංග්‍රහය කර ගන්න බැරි අය සසඳන්න.

 

තුන් සූත්‍රයවත් හරියට දන්නවා නම් ජීවිතයට මධ්‍යම ප්‍රතිපදාවක් ගොඩ නගා ගන්න පුළුවන්. පරාභව සූත්‍රයත් එහි දී ආධාර වේවි. අද අප මහා මංගල සූත්‍රය අමතක කරලා. බටහිර දැනුමේ කඩා වැටීමත් සමග අද ඇත්තේ මහා අවමංගලයක්. අද අප කතා කරන්නේ සංකූලතා ගැන. ලෝකය ම මහා අවමංගලයක. ශ්‍රී ල නි පක්‍ෂය  මහා අවමංගලයට කලින් ම අවමංගල්‍යය පවත්වලා. අනේපිඬු සිටාණන්ලා අද දකින්න නැහැ. සැවැත් නුවර අනාථපිණ්ඩිකස්සාරාමයට මහා රෑ එන්න දෙවියන් ඉන්නවා ද කියල ප්‍රශ්න කරන පඬියන් නම් ඉන්නවා.

 

ශ්‍රී ල නි පක්‍ෂයට සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්වෙලා දේශපාලන දර්ශනයක් ගොඩනගා ගන්න බැරි වුණා. බණ්ඩාරනායක මහතාට ඒ සඳහා පරිචයක් ශාන්ත තෝමස් විද්‍යාලයෙන්වත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන්වත් ලැබුණේ නැහැ. බණ්ඩාරනායක මැතිණිය ශාන්ත බ්‍රිජට් විද්‍යාලයේ ඉගෙන ගත්තත් දක්‍ෂ ශිෂ්‍යාවක් වූ බවට සඳහනක් නැහැ. ඒ ඇගේ වාසියට හිටියා. ඇය ඉවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය දැන සිටියා. ඇගේ කාලය තමයි ශ්‍රී ල නි පක්‍ෂයේ ස්වර්ණමය අවධිය. අප ජනරජයක් වූයේත් යම් ජාතික ආර්ථිකයකට අවතීර්ණ වූයේත් එකල.

 

එහෙත් බටහිරයන් එකල වාමාංශික දැන් දක්‍ෂිණාංශික නොදත් දොස්තරලා ඊනියා ප්‍රඥාංකුරයන් වූ ජඩමාධ්‍යවේදීන් ආදීන් එක් ව මැතිණියගේ දියණියක් එංගලන්තයෙන් ආනයනය කළා. ඇය දැන සිටි සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඇය ශ්‍රි ල නි පක්‍ෂයේ පරිහාණියට පාර කැපුවා. ඈ දැන සිටි පරාභව සූත්‍රයක් ද නැහැ. මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි ප ගැන එතරම් විශ්වාසයක් තැබූ අයෙක් නො වෙයි. මා හිතන්නේ ඔහුට බණ්ඩාරනායකලා ගැන ප්‍රසාදයක් නොතිබූ බවයි.

 

1977 බලයට පැමිණි ජේ ආර් ශ්‍රී ල නි පක්‍ෂය නැති කරන්න කළ හැකි හැම දෙයක් ම කළා. බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කළා. 1989 ඔහු දේශපාලනයෙන් ඉවත් වන විට ශ්‍රී ල නි ප ප්‍රපාතයකට ඇද වැටී තිබුණා. 1989 ජනවාරියේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුණා. ඒ අවුරුද්දේ බණ්ඩාරනායක ගුණ සමරුවක් පවත්වා ශ්‍රී ල නි ප ගොඩගැනීමේ අදහසක් තිබුණා. ගුණ සමරුව සංවිධානය කිරීමට පත් කෙරුණු කමිටුවේ සභාපති වූයේ මහින්ද රාජපක්‍ෂ. එහෙත් භිෂණය මධ්‍යයේ සමරු දේශනය පැවැත්වීමට කිසිවකු සොයා ගැනීමට නොහැකි  වී මහින්ද හා එස් බී අප නිවසට පැමිණියා.  මා පළමු බණ්ඩාරනායක ගුණ සමරු දේශනය පනස්හයේ දරුවෝ යන මැයෙන් 1989 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක සමරු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූවා. අද පනස්හයේ දරුවෝ යන්න පොදු ව්‍යවහාරයට ගිහින්.

 

එහෙත් පනස්හයේ දරුවන් අතරමං වෙලා. ශ්‍රී ල නි ප මරාදාලා. එහි අවතාරයක් ඉඳ හිට බයිලා කියනවා. මේ අවතාර බයිලා කියන රටක්. පොදු ජන පෙරමුණ පනස්හය ගැන කියන්නේ ඩී ඒ රාජපක්‍ෂ සිහි කිරීමට අවශ්‍ය වූ විට පමණයි. එහෙත් තවමත් ප්‍රමාද නැහැ. ජාතිකත්වය මත පදනම් ව අපට දේශපාලනයක් ගොඩනගා ගන්න පුළුවන්. අපි පළමුවෙන් මහා මංගල සූත්‍රය හා පරාභව සූත්‍රය අධ්‍යයනය කරන අතර රතන සූත්‍රය හා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනය කරමු. ඒ සමග වියුක්ත ව හිතීිමට හරි භාවනාවෙන් අධ්‍යාත්මය වර්ධනය කර ගැනීමට හරි හැකි නම් ඒ දෙකට ම හරි යොමු වෙමු.