පේරාදෙණි ගුරු කුලය
මගේ මිතුරු දේශපාලනඥයකුට අනුව ඔහුගේ වචනවලින් ම සේන තෝරදෙණිය කියන්නෙ මාර කතා කාරයෙක්. මිතුරාට අනුව මගේ ලිපි කියවන්න ඕන එහි අන්තර්ගතය නිසා නොව ඉඳහිට ඇති හාස්‍යය නිසා. ඔහුට අනුව මා මිනිසුන්ට බැණ වදින ලඟින් වාඩි වීමටවත් බය ඇති කරන අයෙක්. ඔහු ඒ බව ප්‍රසිද්ධියේත් කියනවා.
මා
සේන තෝරදෙණිය දන්නවා. එහෙත් ඔහු සමග සමීප සම්බන්ධයක් නැහැ. ඔහු මා මෙන් නොව රට පිළිගත් උගතෙක් බුද්ධිමතෙක්. ගුණදාස අමරසේකරගේ සම්භාවනාවටත් ඔහු පාත්‍ර වී තියෙනවා. බටහිර විද්‍යාවේ දාසයකු වූ තවත් දත් දොස්තර කෙනකු වූ අශෝක අමරතුංගත් අමරසේකරගේ ගෞරවයට පාත්‍ර වූ අයෙක්. අමරසේකර තම නවතම කෘතිය පිරිනමා ඇත්තෙත් අමරතුංගට. අමරතුංග මා කොළඹ මොටාවෙන් අස්කිරීමට විරුද්ධ ව සකස් කළ පෙත්සමට මුලින් ම අත්සන් කළ තැනැත්තා බව කියනවා. එහෙත් ඒ නිසා ඔහුගේ විද්‍යාදාසභාවයට මා සමාව දෙන්නේ නැහැ.
බොහෝ
දෙනා මට අකමැති බව මා දන්නවා. උදයසිරි වික්‍රමරත්න තම අකමැති බව නාට්‍යයකින් පවා රටට කිවුවා. පසුගිය දා මා හමු වූ කැලණිය මොටාවේ උගත් මිතුරකු කිවුවේත් මිතුරනුත් මට අකමැති බව.
ඒ පූර්විකාව මා සේන තෝරදෙණිය අශෝක
අමරතුංග උදයසිරි වික්‍රමරත්න ආදීන් මෙන් උගතකු බුද්ධිමතකු නොවන බව කීමට. සේන තෝරදෙණිය පේරාදෙණි ගුරු කුලයේ නැගීම හා බැසීම ගැන විශාල පොතක් පළ කර තියෙනවා. මට එවැන්නක් කිරීමට හිතන්නවත් බැහැ. මා අර මිතුරා කී ආකාරයට ඉඳහිට හාස්‍යය පමණක් රැගත් ලිපියක් ලියනවා. මේ ලිපියත් එවැන්නක්. පේරාදෙණි ගුරු කුලය ගැන.
මේ
සමහර අදහස් එදා ගුණදාස අමරසේකර උපහාර උළෙලේ දී කීමටයි හිටියෙ. එහෙත් ඒ කතාව වෙනත් අතකට යොමු වුණා. මා කතා ලියාගෙන හරි මනසේ මනාව සකස්කර ගෙන හරි නොයෑම එදා මගේ වාසියට හේතු වුණා. මා කතාවක් ගැන දළ අදහසක් ඇතුව පමණයි ශාලාවට පිවිසෙන්නේ.
පේරාදෙණි ගුරු කුලය ගැන කතා කිරීමට මට කිසිම සුදුසුකමක් නැහැ. මා සාහිත්‍යධරයකු නාට්‍යකරුවකු විචාරකයකු නොවෙයි. මා ලියන්නේ මා
නොදන්නා දේ ගැන. මේ ලිපි කිසිවකු කියවිය යුතු නැහැ. මා ලියන්නේ මගේ අදහස් නිරවුල් කර ගැනීමටත් සකර්බර්ග්ට කියවීමටත් පමණයි.
පේරාදෙණි සාහිත්‍යය හරි කලාව හරි අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් පැත්තක නවකතාව කෙටිකතාව කවිය. අනෙක් පැත්තේ නාට්‍යය. අපට අපේ කිව හැකි නාට්‍ය සම්ප්‍රදායක් තිබුණා. සරච්චන්ද්‍රත් ගැමි නාටකය ගැන ලියා තියෙනවා. ඔහු ඒ ගැන ඊනියා පර්යේෂණත් කරලා තියෙනවා. ජපානයේ නාට්‍ය බැලීම් දී ඔහුට පදනම් විය හැකි නාට්‍ය සම්ප්‍රදායක් තිබුණා. ඔහුට සුගතපාල ද සිල්වාලාට මෙන් බටහිර නාට්‍ය අනුකරණය කිරීමට සිදු වුණේ නැහැ. ඔහුට නාට්‍ය ක්‍ෂෙත්‍රයේ විශිෂ්ට නිර්මාණ කිරීමට හැකි වුණේ එබැවින්. ඔහුගේ පසුකාලීන නාට්‍ය එතරම් සාර්ථක නොවූයේ එහි සංගීතය සැපයුවන් දේශීය සම්ප්‍රදායක නොපිහිටි නිසා.
එහෙත්
කෙටිකතා හා නවකතා සම්පූර්ණයෙන් ම වෙනස්. අපට එවන් සාහිත්‍ය සම්ප්‍රදායක් තිබුණේ නැහැ. ජාතක කතා නාට්‍ය සඳහා මිස දේශීය කතා සම්ප්‍රදායක් ගොඩ නගා ගැනීමට සරච්චන්ද්‍ර යොදා
ගත්තේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහට වඩා ඔහු එහි දී යම් තේරුමක් ඇතුව වැඩ කරන්න ඇති. මාර්ටින් වික්‍රමසිංහ ජාතක කතාවේ නැති ඊනියා යථාර්ථවාදී රීතියක් ගැන වැඩ නොකරණ හිතළු දෙඩෙවුවා. මාර්ටින් වික්‍රමසිංහ කර ඇත්තේ බටහිර දැනුම අනුකරණය කිරීමක්. ඔහුගේ සිට අද ඉන්න පඬි නැට්ටන් දක්වා කරන්නේ බටහිර දැනුම මෙරටට හඳුන්වා දීමක් පමණයි. අදත් අපට ඇහෙනවා අහවල්ලු අරක මේක ලංකාවට හඳුන්වා දුන් ප්‍රාඥයන් බව කියනවා.
පේරාදෙණිය ජාතක කතා මත එහෙමත් නැත්නම් අමාවතුර වගේ කෘතීන් මත පදනම් නොවී බටහිර නවකතා හා කෙටිකතා ගෙඩිය පිටින් අනකරණය කළා. මට නම් මාර්ටින් විකුමසිංහගේ තුන් ඇඳුතු නවකතාව අමරසේකරගේ වචනවලින් නම් මනස්පුතුන්ගේ කතාවක්. මාර්ටින් වික්‍රමසිංහ පේරාදෙණි ගුරු කුලයේ බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. එහෙත් ඔහුට වැදගත්කමක් ලැබුණේ පේරාදෙණි මොටාව තමන් හිමි කරගෙන තිබූ ව්‍යාජ සමාජ වැදගත්කම මත හිඳගෙන කළ වැඩකට නැති විචාර නිසා. මෙරට මොටාවල ඇත්තේ අනුකාරකත්වය හා අනුකාරකත්වය පමණයි. අද එහි වැදගත්කමේ ව්‍යාජභාවය හෙළිදරවු වෙමින් පවතිනවා.
පේරාදෙණි කවි ඉංගිරිසි කවි බලාගෙන ලියූ කියවන කවි මිස කියන කවි නො වෙයි. ඔවුන් සිංහලෙන් ඉංගිරිසි පොයට්‍රි ලිවුවා. සරච්චන්ද්‍ර එවැන්නක් නොකළ බව මෙහි දී සඳහන් කරන්න ඕන. අමරසේකරත් කියා ඇති පරිදි ම සරච්චන්ද්‍ර ඉතා විශිෂ්ට කවියෙක්. මගේ මිතුරකු පෙන්වා දුන්නේ ඔහු කවි පොතක් පළ නොකළ කවියා බවයි. පේරාදෙණි කවි නිසඳැස් නමින් හැඳින්වුවත් නැතත් ඒවා කියවන කවි. අපේ කවි කියන ගයන කවි. සීගිරි ගීවලටත් සුනිල් සාන්ත තනු නිර්මාණය කර තියෙන බව එදා අමරසේකර උපහාර උළෙලේ දී මා පැවසුවා. එහි දී පමණයි මට අර නොකළ කතාව කළ කතාවට සම්බන්ධ කරන්න හැකි වූයේ.
පේරාදෙණි අනුකරණය නැවතිලා නැහැ. ඒ අනුකරණය හැම තැන ම දකින්න පුළුවන්. සේන තෝරදෙණිය අශෝක අමරතුංග උදයසිරි වික්‍රමරත්න (සුද්දෙක් ඔබ අමතයි හැරුණු විට) ආදීන් කරන්නෙත් අනුකරණ. ඔවුන් ඊනියා පේරාදෙණි ගුරු කුලයේ නොවන්න පුළුවන්. පේරාදෙණි ගුරු කුලය අනුකාරකත්වයේ එක් අවස්ථාවක් නියෝජනය කළා පමණයි. අනුකාරකත්වය එයට පෙරත් පසුවත් විරාජමානයි. ඒ බටහිර දැනුම් ආධිපත්‍යය නිසා.