මා
අක්තපත්‍ර දුන් හැටි
ඊයේ (දෙසැම්බර් 24) ලිපියෙන් පසුව පඬි නැට්ටන් හා ජෙප්පන් අහල තිබුණා මා මියන්මාහි අක්තපත්‍ර දීම පිළිබඳ ව. ඔවුන් මා සැරසී සිටි ඇඳුම ප්‍රශ්න කරල තිබුණා. පඬි නැට්ටන් හා ජෙප්පන් කියන කතාවලට පිළිතුරු සැපයීම නිරර්ථක වුනත් මෙය පොදු ප්‍රශ්නයක් නිසා සකර්බර්ග් යොදා ගන්න තීරණය කළා.
මා
මියන්මා ගියේ කොවිඩ් කාලයේ. යෑමට හරි ගුවන් යානයක්වත් තිබුණේ නැහැ. පසුව මෙරට ඉගෙන ගන්නා මියන්මා භික්‍ෂූන් වහන්සේ ඒ රටට ආපසු වැඩමවා ගැනීමට එවන ලද විශේෂ ගුවන් යානයක තමයි අපට මියන්මා යෑමට සිදු වුනේ. එය විශේෂ ගුවන් යානයක් වුනේ පහසුකම් අතින් නො වෙයි. සාමාන්‍ය කාල සටහනට පිටින් එවූ කුඩා ගුවන් යානයක් නිසා.
කොවිඩ් කාලයේ මියන්මා ගිය බැවින් අක්තපත්‍ර දීම මාස හතරකින් පමණ කල් ගියා. ඒ කාලය තුළ මා තානාපති නො වෙයි. මා යෝජිත තානාපති පමණයි. නිල තානාපති වන්නේ අක්තපත්‍ර දීමෙන් පසුවයි. මාස හතරකට පමණ පසුව මියන්මාහි අගනුවර වූ නෙපිඩෝ නගරයට ගොස් මියන්මා ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාව ලැබුණා. තානාපති කාර්යාල බොහොමයක් තාමත් ඇත්තේ පැරණි අගනුවර වූ යැන්ගොන් හි. යැන්ගොන් සිට නෙපිඩෝ දක්වා දුර සැතපුම් දෙසීයක් පමණ. මියන්මාහි තවමත් ව්‍යවහාර වන්නේ සැතැප්ම පර්ලොං දම්වැල්. පාසලේ ඉගෙන ගත් ඒ ඒකක අතර සම්බන්ධකම් ප්‍රයෝජනවත් වුනා.
අක්තපත්‍ර දීම මියන්මා අවශ්‍යතා අනුව සිද්ධ වන්නෙ. ජනාධිපතිතුමා හමුවීමට යැම අක්තපත්‍ර දීම එතුමා සමග සාකච්ඡාව ඡායාරුපවලට පෙනී සිටීම ආදියට පිළිවෙළක් තියෙනවා. ක්‍රමයකට කෙරෙන්න ඕන. මේ සමග පළවන්නේ අක්තපත්‍ර දීම. පඬි නැට්ටන්ට ජෙප්පන්ට හා අනෙක් අයට මා ඇඳ සිටි ඇඳුම පමණක් නොව මියන්මා ජනාධිපතිතුමා ඇඳ සිටි ඇඳුම ද දකින්න පුළුවන්.
මා
කලිසමක් ඇඳ ටයිපටයක් පළඳා කබායකින් සැරසී සිටියේ නැහැ. මියන්මා ජනාධිපතිතුමා සැරසී සිටියේ බුරුම ඇඳුමෙන්. මා සැරසී සිටියේ අපේ ජාතික ඇඳුමෙන්. ඒ ජාතික ඇඳුම අර චම්පකලා සකස් කළ ජාතික ඇඳුම නො වෙයි. මා අඳින ජාතික ඇඳුමේ අත් පියවා නැහැ. සමහරුන්ට එවැනි වැරදි සිදු වෙනවා. අපට ඒ ගැන ඇත්තේ අනුකම්පාවක්. මගේ නම නලින්ද සිල්වා නොව නලින් ද සිල්වා යැයි කීමෙන් පසු පඬි නැට්ටකු නලින්ද ජයතිස්සගේ නම නලින් ද ජයතිස්ස ලෙස ලියා තිබුනා. ජෙප්පන්ට හා පඬි නැට්ටන්ට ජය වේවා!
මියන්මා වැසියන් හෙට කෙසේ වේවි දැයි මා දන්නේ නැහැ. එදා එහි යැන්ගොන් ප්‍රධාන රෝහලේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය ඒකකයේ මහාචාර්යවරයා ඇඳ සිටියේත් සරමක්. ඔවුන් තවමත් අප ඒ දවස්වල කී ආකාරයට සංකර වෙලා නැහැ. මට කොවිඩ් වැළඳී මරණයේ එළිපත්ත පාගා ආපසු ඒමට සිදු වුනා. සකලවිධ ජෙප්පන්ගේ හා පඬි නැට්ටන්ගේ අවාසනාවට මා තවමත් ජීවත් වෙනවා.
මේ
දිනවල මියන්මා ත්‍රස්ත සංවිධානයක් අමානුෂික වද හිංසා දී වැඩ ගන්නා මෙරට පිරිසක් ගැන කතා පළවෙනවා. මා මියන්මාහි ලංකා තානාපති ව සිටියා නම් ඔවුන් බේරා ගැනීමට ක්‍රියා කරන්නෙ නැතැයි ජඩමාධ්‍යවේදීන් මහා ඝෝෂාවක් නගන්න ඉඩ තිබුනා. අර ධීවරයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ මෙරට ජඩමාධ්‍යවේදීන් ඒ ගැන දැක් වූ උනන්දුව මට මතකයි. ඔවුන් මගෙන් නිතර විමසීම් කළා.
මෝනින් පත්තරේ කතුවරියක මට කියා සිටියේ ජනතාව වෙනුවෙන් තමන් මා ප්‍රශ්න කරන බව. එහෙත් ජනතාව ඇය ඒ සඳහා පත් කර තිබුනේ නැහැ. ඇය පත්වීම ලබා තිබුනේ අදාළ සමාගමෙන්. මා ඒ බව ඇයට කීවුවා. ඇගේ සමාගම වෙනුවෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට මා බැඳී නැති බව ඇයට කිවුවා.
කෙසේ වුනත් මා අදාළ ඇමතිවරුන්ට නිලධාරීන්ට පමණක් නොව භික්‍ෂූන් වහන්සේට ද කතා කර ඒ ධීවරයන් නිදහස් කරවා ගෙන ඔවුන් ආපසු ලංකාවට පිටත් කර එවුවා. මියන්මාහි ලංකාවේ මෙන් නොව බලධාරීන් භික්‍ෂුන් වහන්සේට කන් දෙනවා. අවවාද අනුශසනා ලබා ගන්නවා. මා හිතනවා අද මෙරට දේශපාලනඥයන් භික්‍ෂුන් වහන්සේට සවන් දෙන්නේ නැහැ කියා. ඒ වෙනුවට අද පාලකයන් විවිධ පූජකවරුන්ගේ තර්ජනවලට යට වෙනවා. හාමුදුරුවන්ට නමට අටපිරිකර පූජා කරනවා.