Main Logo

Wednesday 17 April 2024

තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න

 තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න

මා මේ ලිපිය පළ කිරීමට හවුල් වන්නේ මෙහි මොන කතා කිවුවත් අවමගුලට මුල සිට ම සහභාගි වූ මුස්ලිම් අයකු ඊනියා නිරාගමික රොහාන් පෙරේරා ගැන සිතන අයුරු පෙන්වා දීමටයි. මුස්ලිමුන්ට ෆස්ලි නිසාර් නිරාගමිකයකු නොව මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් ක්රියා කළ ආදර්ශමත් ගුරුවරයෙක් වීරයෙක්. ඔවුන් ඔහුට නිරාගමික අවමගුලක් නොව මුස්ලිම් අවමගුලක් ලබා දුන්නා.
මේ මහ පොළොවේ තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න..! (Shabeer Mohamed)
64
Shares
facebook sharing buttontwitter sharing buttonemail sharing buttonsharethis sharing button
රොහාන් පෙරේරා හෙවත් මොහොමඩ් ෆස්ලි නිසාර් මරණෙන් පසු මගේ ගුරුවරයෙක් විය.
මං කවදාවත් රොහාන් පෙරේරා කියන නම අහල තිබුනෙ නෑ. එහෙම කෙනෙක් හිටිය කියලත් දැන ගත්තේ ඊයේ හවස. දවස් තුනකට විතර කලින් Facebook එකේ කිහිපදෙනෙක්ම රොහාන්ගේ පින්තූරය පලකරලා තිබුණා දැක්කා. හැබැයි ඒ කිසිම දෙයක් කියවන්න තරම්වත් මට ඒ ගැන උනන්දුවක් තිබ්බේ නෑ.
ඊයේ හවස (14) කඳාන පැත්තට යාළුවෙක් මුණගැහෙන්න යනකොට අහම්බෙන් බොරැල්ල ජයරත්න එකට ඉස්සරහ දන්න කිහිපදෙනෙක් එකට ඉන්නව දැක්ක. කොහොමහරි මගේ ගමන වැස්ස නිසා වැලිකඩ ගාවින් නැවතුනා. ආයෙ හැරිලා ගෙදරට යනකොට මට හිතුණා ‘නිකමට බොරැල්ලට ගිහින් බලල යමු කවුද මැරිල ඉන්නේ’ කියලා.
එතනට ගියාට පස්සේ තමයි එතන හිටපු අමිලයි ජනිදුයි හරහා මම දැනගත්තේ කවුද නැති වෙලා ඉන්නෙ කියල. රොහාන් පෙරේරා කියන්නේ උපතින් මුස්ලිම් කෙනෙක් සහ ඔහුගේ දේහය Jawatta මුස්ලිම් සුසාන භූමියට අරන් යන්න පවුලේ ඥාතීන් කිහිපදෙනෙක් ඇවිල්ල ඉන්නවා, කියලත් මට දැනගන්න පුළුවන් උනා.
දේහය ජයරත්න එකෙන් ජාවත්තට අරන් ගියා. හැබැයි ජයරත්නෙ හිටපු කවුරුත් දේහයත් එක්ක ගියෙ නෑ. ඒ මොහොතේ මට උවමනාවක් තිබ්බා, රොහාන් පෙරේරා කියන ඒ පුද්ගලයට ඉස්ලාම් ආගමානුකූලව අවසන් කටයුතු කරන්න. ඉතින් මමත් ගියා ජාවත්ත පල්ලියට.
ජාවත්ත පල්ලියේ කිසිම සූදානම් කිරීමක් ඒ මොහොතේ තිබ්බේ නෑ. ඥාතීනුත් මොනවද කරන්නේ කියලා කල්පනා කරගෙන හිටිය. සාමාන්යයෙන් මුස්ලිම් ආගමානුකූලව අවසන් කටයුත්තක් කරනවනම් පැය විසි හතරක් ඇතුළේ ඔහුගේ දේහය නාවන්න ඕනේ. පස්සේ සුදු රෙද්දකින් දේහය ඔතල විශේෂ යාඥාවක් සිදු කරාට පස්සේ ඒ දේහය වළලන්න ඕනේ. හැබැයි රොහාන්ගේ දේහයට ඒ වෙනතෙක් ඒ කිසිම දෙයක් කරල තිබ්බේ නෑ. දේහයත් දවස් තුනක් පරණයි.
මං පල්ලියේ ඉන්න කොට ලොකු වැස්සක් පටන් ගත්තු නිසා ඉක්මනට Bike එකෙන් ගෙදරට ගියා. මං ඒ මොහොතේ හිතාගත්තේ, තව ටිකෙන් දේහය භූමිදානය කරයි. මං මට පුළුවන් උපරිම අවසන් ගෞරවය දුන්න.
M 2
ගෙදර ගිහින් පැය දෙකකට විතර පස්සේ වැස්ස පෑව්වා. ඒ පැය දෙකක කාලය තුළ මං රොහාන් ගැන හෙව්වා. විවිධ අය රොහාන් ගැන ලියල තිබුණු දේවල් කියෙව්වා. ඔව්, එතකොට තමයි රොහාන් කියන්නේ කවුද කියල චුට්ටක් හරි මට දැනගන්න පුළුවන් උනේ. ඒත් එක්කම ඇයි මං පල්ලියෙන් ආවේ, මට ඉන්න තිබ්බනේ කියලත් දුක හිතුණා. කොහොම හරි වැස්ස අඩු උනාට පස්සේ රසික එක්ක ආපහු ජාවත්ත පල්ලියට ගියා මොකද උනේ කියලා බලන්න.
එතකොට තමයි පල්ලියෙන් කිව්වේ, Documents වල අවුලක් තිබ්බ නිසා දේහය කුප්පියාවත්ත සුසාන භූමියට අරන් ගියාලු. ඉතිං රසික එක්ක ඉක්මනට ගියා කුප්පියාවත්තට. එතනට ගිහිල්ල බැලුවම, දේහයයි පවුලේ නෑදෑයෝ තුන්දෙනෙකුයි ඉඳගෙන ඉන්නවා.
M Ro 3
අයියේ දේහය වළලන්නේ මෙහේද ? - මං ඇහුවා
නෑ මෙහෙ බෑ කිව්වා, අපි මාළිගාවත්තේ තමයි අවසන් කටයුතු කරන්නේ !!
(එහි සිටි ඥාතීන් තිදෙනාම මොහු ගැන කිසිවක් නොදන්නා බව මට තේරුණා. මොවුන් දන්න එකම දේ අපේ පවුලෙ පොඩි කාලේ අවුරුදු 17 පැනල ගියා කියපු කොල්ල තමයි මේ මැරිලා ඉන්නේ)
ඔයා මෙයාව අදුරනවද, ඔයා මෙයාගෙන් ඉගෙනගෙන තියෙනවද ?
නෑ,
එහෙනම් කොහොමද ඔයා මෙයාව දන්නේ?
මං මෙයාගෙන් ඉගෙනගෙන නෑ හැබැයි මගේ යාළුවෝ ඉගෙනගෙන තියෙනවා. මං අහම්බෙන් තමයි අද දැනගත්තෙ.
මෙයා කවුද සර් කෙනෙක්ද ?
නෑ සර් කෙනෙක් විතරක් නෙමෙයි
එතකොට ඩාන්ස් මාස්ටර් කෙනෙක්ද ?
නෑ නෑ, මෙයා යම් ආකාරයක දාර්ශනිකයෙක්
කෝ ෆේස්බුක් එකේ මෙයා නෑනේ. මොනවද මෙයාගේ නම රොහාන් නේද ?
නෑ…එයා ෆේස්බුක් එකේ නෑ. එයා කිසිම වෙලාවක ප්රසිද්ධියේ මාධ්ය ඉස්සරහට ආවේ නෑ, කියලා මම හවස කියෙව්වා.
හ්ම්, හා මේ ඉන්නේ මෙයා නේද. කවුද facebook එකේ ලියලා තියෙනවා රොහාන් පෙරේරා කියලා.
ඔව් මෙයා තමයි !!
නමුත් ඔවුන් තුළ කිසිදු සතුටක් මට පෙනුනේ නෑ. මොකක්දෝ දෙයක් නැති කරා වගේ ලොකු කලකිරීමක් තමයි මුහුණුවල මං දැක්කේ.
ඒ වෙලාවේ කෝල් එකක් ආව මාලිගාවත්ත ඔක්කොම හරි දේහය අරං එන්න කියලා. ඒකත් එක්කම අපිත් ගියා මාලිගාවත්තට. හොඳම දේවල් ටිකක් උනේ අන්න එතන.
පවුලෙ කට්ටියත් එක්ක කතාබහ කරගෙන ඉන්නකොට තමයි දැනගත්තේ රොහාන් පෙරේරගේ ඇත්ත නම සහ ඔහුගේ පවුලේ විස්තර.
රොහාන් ඉපදිලා තියෙන්නෙ කොළඹමයි. මහ ගෙදර තිබිලා තියෙන්නේ මරදානේ. උපතින් ආගමත් සමග ඔහුට ලැබුණු නම මොහොමඩ් ෆස්ලි නිසාර්. නෑදෑයෝ තුන් දෙනෙක් හිටිය. එහි එක්කෙනෙක්ගේ මස්සිනා කෙනෙක් තමයි රොහාන් හෙවත් ෆස්ලි කියන්නේ. පොඩි කාලේ එයාලගේ ආච්චි කියල තියෙනවලු, අපේ පවුලෙ අවුරුදු 17 පැනල ගිය පොඩි කොල්ලෙක් හිටියා කියලා. හැබැයි කවදාවත් ඒ කොල්ලව කිසිම කෙනෙක් දැකලවත් නෑ. එහෙත් රොහාන්ගේ අම්මා තවමත් රත්මලාන පැත්තෙ ජීවත් වෙනව. අයට අවුරුදු අසූවටත් වැඩියි කියලා තමයි පවුලෙ කට්ටිය කිව්වේ.
රොහාන් මාස හයකට සැරයක් අම්මව බලන්න රත්මලානට ගිහිල්ල තියනවලු. හැබැයි ඉන් එහාට පවුලේ කිසිම කෙනෙක් එක්ක කිසිදු සම්බන්ධයක් තිබිලා නෑ. අද එහෙම් මෙහෙන් ආරංචියක් ඇවිල්ල තමයි මේ අය දැනගෙන තියෙන්නෙ අවුරුදු 17 පැනල ගිය ඒ ෆස්ලි තමයි මේ කියල. ආරංචිය අම්මට ගියාම අම්මා කියලා තියෙන්නේ පුතාව කොහොමහරි මුස්ලිම් සම්ප්රදායට අනුව ආගමික වතාවන් කරලා භූමිදානය කරන්න කියලා.
හැබැයි හොඳම කතාව තියෙන්නෙ ඊට කලින්.
M4
රොහාන් ඇත්තටම ජීවිතෙන් සමු දීල තියෙන්නෙ නැගෙනහිර පළාතේ වාලච්ඡේන ආසන්න ප්රදේශයක. එතකොට දේහය වාලච්ඡේන රෝහලට තමයි අරගෙන ගිහින් තියෙන්නේ. ඒ රෝහලේම තමයි post-mortem එක වෙලා තියෙන්න. කොහොම හරි අවුරුදු නිවාඩු දවසක එයාලට තිබුණු ලොකුම ප්රශ්නය කොහොමද දේහය කොළඹට අරන් එන්නේ කියන එක.
එතකොට වාලච්ඡේන පොලිසිය හරහා කොළඹ ඉන්න ඉස්මත්ව රොහන්ගෙ මිත්රයෝ සම්බන්ධ කරගන්නවා. ඉස්මත් ගෙන් උදව් ඉල්ලනවා කොළඹට දේහය අරන් එන්න වාහනයක් දෙන්න කියලා. ඉස්මත් වලච්ඡේනේ ඉන්න හරුන් ශාෆිගෙන් වාහනයක් ඉල්ලනවා.
ඉස්මත් අහන්නේ,
රොහාන් පෙරේරා කියල සිංහල සහෝදරයෙක් වාලච්ඡේන ඉස්පිරිතාලේ නැති වෙලා ඉන්නවා. එයාව කොළඹට අරන් එන්න මගෙන් උදව් ඉල්ලුවා. ඔයාට පුළුවන්ද වාහනය දෙන්න
කිසි ප්රශ්නයක් නෑ. එයාලට පුළුවන් නම් තෙල් වලට විතරක් සල්ලි දෙන්න කියන්න. වාහනයක් මං ලෑස්ති කරන්නම්.
රොහාන් පෙරේරා කියන සිංහල මනුස්සයෙක් වෙනුවෙන් තමයි මාලිගාවත්තේ ඉස්මත් සහ වාලච්ඡේනේ හරුන් කියන මුසල්මානුවෝ වාහනයක් ලෑස්ති කරන්නේ. ඉස්මත් සහ හාරුන් වැනි බොහෝ මුසල්මානුවෝ රට වටේම ඉන්නවා. ඕනෑම ප්රදේශයකින් ඕනෑම ආගමක් අදහන කෙනෙක්ගේ මරණයක් සිදුවුනත් මොවුන් නොමිලේ ප්රවාහනය සකස් කරලා දෙනවා. ඇතැම් අය මේ කතාව දන්නවා. ඒ නිසා තමයි ඔවුන්ගෙන් උදව් ඉල්ලලත් තියෙන්නෙ.
ඉතිං (13), වලච්ඡේනේ හරුන් ශාෆි, තමන්ගේ බෑනට වාහනේ දීල රොහාන් පෙරේරාගේ දේහය ජයරත්නට එවනවා. ඒක ජයරත්නට එනකොට රෑ 7.30.
එතකොට තමයි රෑ වාලච්ඡේනයේ ඉඳල හාරුන් ශාෆි ඉස්මත්ත කෝල් එකක් අරන් කියනවා,
ඉස්මත්ත, අපි මේ මහන්සි වෙලා කොළඹට අරන් ආපු රොහාන් පෙරේරගේ ඇත්ත නම මොහොමඩ් ෆස්ලි නිසාර්. එයා මුස්ලිම් කෙනෙක් කියලයි ආරංචි !!
“රෑ පල්ලියේ රොහාන්ගේ දේහය ඉදිරිපිට ඉස්මත් පොඩි දේශනාවක අපිට කියනවා
“..හාරුන් ශාෆි මට ඕක කිව්ව වෙලාවේ මගේ ඇඟ හිරි වැටුනා. මුස්ලිම් මනුෂ්යයෙක් විදිහට ඉපදිලා තමන්ගේ අනන්යතාවය හංගගෙන නිරාගමිකයෙකු ලෙස ජීවත් වූ මොහු කෙසේ හෝ අවසානයේ අපේ දෑතට ආවා. අපි කාටවත් දෙවියන්ගේ තීරණය වෙනස් කරන්න බෑ. ඒවගේම අපි කාටවත් තීරණය කරන්නත් බෑ මොහු හොඳයි මොහු නරකයි කියලා..”
කොහොම හරි රොහාන් පෙරේරාගේ මිත්රයන් කිහිපදෙනෙක් සමග රාත්රියේම ඔවුන් ජයරත්න මල් ශාලාවට ගිහින් රොහාන්ගේ මිත්රයන්ගෙන් පවුලේ විස්තර කියලා තියෙනවා. තවමත් ජීවතුන් අතර සිටින රොහාන්ගේ මවගේ ඉල්ලීම වී තිබුණේ රොහාන්ව ඉස්ලාම් ආගමානුකූලව භූමිදානය කිරීමයි. කිසිදු කලබලයකින් තොරව රොහාන්ගේ හිතමිතුරන් එය පිළිගෙන ඔහුගේ දේහය සවස නෑදෑයන්ට භාරදී තිබෙනවා.
ඒ වෙලාවෙ තමයි අහම්බෙන් මං එතනට ගිහිල්ලා තියෙන්නේ.
ඉස්ලාම් ආගමට අනුව කෙනෙක් මිය ගියොත් ඔහු වෙනුවෙන් අනිවාර්යෙන් කළ යුතු යුතුකම් හතරක් අපි හැමෝටම ඒ මොහොතෙ පැවරෙනවා. ඔහු මුස්ලිම් කෙනෙක් විදිහට හෝ කිසිදු ආගමක් අදහන්නේ නැති කෙනෙක් විදියට ජීවත් වුනත් ඒ කෙනාටත් ඒ රාජකාරිය අපි කළ යුතුමයි. මම ඉස්මත් රොහාන් හෙවත් ෆස්ලිගේ පවුලෙ ඥාතීන් සහ මාලිගාවත්තේ ඒ වෙලාවෙ ආපු, උදව් කරපු ඒ තරුණයෝ ඇතුළු අපි සියලුම දෙනා කරේ ඒ රාජකාරිය.
රාත්රී 9.30 පමණ රොහාන්ගෙ දේහය අපි ජලයෙන් පිරිසිදු කරා. පසුව සුදු රෙද්දකින් පොරවලා පවුලෙ තිදෙනා ඇතුළු මාලිගාවත්තේ තරුණයන් කිහිප දෙනෙක් සහ රොහාන්ගේ ශිෂ්යයෙක් ලෙස ඔවුන් හැඳින්වූ මා ඇතුළු පිරිසක් යාඥාව කරා. එවිට රොහාන් සේ ජීවත් වූ ෆස්ලි වෙනුවෙන් දෙවියන්ගෙන් තනි තනියෙන් ප්රාර්ථනාවක් කරන්න අවස්ථාවක් තියෙනවා.
M5M6
මං දෙවියන්ගෙන් ඇහුවේ,
-මේ මහ පොළොවේ තවත් ෆස්ලි ලා බිහිකරන්න,
-ඔවුන්ට රොහාන් සේ හිතන්න දැනුම දෙන්න,
-රොහාන්ට තිබුණු ධෛර්යය දෙන්න,
-ඒත් සමගම ඔවුන්ව රොහාන් සේ නොව ෆස්ලි සේ ජීවත් කරවන්න,
-එය පිළිගත හැකි මිනිසුන් ජීවත් වන රටක් ලෝකයක් අපට දෙන්න !!
රාත්රී 9.45 ට අප සියලුම දෙනාගේ උරහිසෙන් ෆස්ලිගේ දේහය පොළොවට ගියා. මං විශ්වාස කරනවා, රොහාන් ජීවතුන් අතර සිටි කාලයේ ඔහුගෙන් ඉගෙන ගත් ශිෂ්යයන්ට වඩා අලුත් දෙයක් රොහාන්ගේ මරණයෙන් මා ඊයේ දින ඉගෙන ගත්තා.
ඇයි රොහාන් තමන්ගේ අනන්යතාවය ප්රසිද්ධියේ හෙළි නොකර ෆස්ලි කියන මුසල්මාණුවකු ලෙස ජීවත් වුණේ නැත්තෙ කියන ප්රශ්නෙට, මහින්ද පතිරණ නලින්ද සිල්වා මාතලන් වැනි මහා සිංහලයෝ ඕනෑ තරම් හේතු කාරණා ලියල තිබ්බා. එයට නොදෙවැනි ඔවුන්ගේ දායක සභාව ද එය ඔප්පු කරා. මං දැක්කා නන්දන වීරරත්න ඒ උත්තරය අකුරු වලින් කෙලින්ම ලියලත් තිබ්බා.
- උඹ මොකටද සිංහලෙන් ලියන්නේ කියල මගෙන් අහපු අතීත මතකයන් තියෙන රටක
- “යම් භූමියක ශිෂ්ටාචාරය බිහි කරපු වර්ගයාට ඒ භූමියේ වැඩි අයිතියක් තියෙනවා” කියලා දෙමළ සංහාරය සාධාරණීකරණය කරපු අතීතයක් තියෙන රටක,
- වඳ සැත්කම් වඳපෙති ඉහටත් උඩින් දේශපාලනය කරපු රටක,
- ඇස් ඉදිරිපිට තමන්ගේ දේපළ ගිනිබත් කරන්න අණ දීපු සිවුරු දාගත්තු හාමුදුරුවරු ඉන්න රටක,
- බලහත්කාරයෙන් කොවිඩ් දේහ ආදාහනය කරන්න උපදෙස් දීපු පාලකයෝ ඉන්න රටක,
- පුරාවිද්යා නීති උල්ලංඝනය කරමින්, එම ප්රදේශයේ ජීවත් වන සුළුතර මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය අභියෝගයට ලක්වී ඇතැයි කූරගල ගැන ලියපු මට ‘මුස්ලිම් අන්තවාදියා’ කියලා කියන රටක මටත් සැකයි මුසල්මානුවෙක් සේ මේ විදිහට දිගටම ඉන්න පුලුවන්ද කියලා !!
@ ෂබීර් මොහොමඩ්
(උපුටා ගැනීම slleader fb page)