වැඩ
ඇල්ලීම හා පාවා දීම
ලංකාවේ මේ දිනවල අවුරුද්ද ලබන්නේ සිංහලයන්ට. ඉනුත් සිංහල බෞද්ධයනට. ඇතැම් සිංහල කතෝලිකයනුත් අවුරුද්ද පවත්වනවා. ඇතැම් දෙමළ ජනකොටස් ද අවුරුදු උත්සවය පවත්වනවා. මෙරට සියලු ජනයා මේ අවුරුදු උත්සවය පවත්වනවා දකින්න මා කැමතියි. එහෙත් එය ඊනියා ලාංකික අවුරුද්ද ලෙසවත් සිංහල දෙමළ අවුරුද්ද ලෙසවත් නම් කරනවාට මා අකමැතියි. ඒ එයින් පැරණි සිංහලයන්ගේ නිර්මාණශීලීත්වය නොකියැවෙන නිසා.
අද
කොළඹ බෝඩිම අතහැර මිනිසුන් ගම්දොර ගිහින්. කොළඹ කියන්නෙ විශාල නවාතැන්පොළක්. එය පාණදුරේ හෝමාගම ජාඇල ආදී ප්‍රදේශ දක්වා විහිදෙනවා. මිනිසුන් රැකියාවලට යෑමට දරුවන් පාසල් යැවීමට කොළඹ බෝඩිමට එනවා. අවුරුද්දට කලින් ගම්රට බලා යෑමට පිටකොටුවේ බස්නැවතුම්පොළවලට
කොටුව මරදාන දුම්රියපොළවලට එනවා. එන්න එන්න මේ පිරිස වැඩි වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට බස්රථ සපයන්න බැහැ. මෙවර පොලීසියත් මැදිහත්වෙලා බස්රථ සපයන්න. ගමේ යෑමට පාසල් වෑන්රථත් ඉදිරි වර්ෂවල සපයන්න වේවි.
මේ
බස්රථ වැඩිපුර ගියේ සිංහල බෞද්ධයන් වැඩියෙන් ඉන්න ප්‍රදේශවලට. මා ඇමරිකාවේ සිට බස්රථ ගණන් කළාද කියා ප්‍රබුද්ධයකු අහන්න පුළුවන්. මගේ ජාතිවාදය ගැනත් කියන්න පුළුවන්. එහෙත් මට උපකල්පනයක් තියෙනවා. ඒ හිතලුවක්. ඒ අනුව වැඩිපුර බස්රථ යන්න ඕන සිංහල බෞද්ධයන් වැඩියෙන් ඉන්න ප්‍රදේශවලට. මා වැරදි ද කියා බස් ගැමුණුගෙන් අහල බලන්න. ලංගම සභාපතිගෙන් අහල බලන්න. සිංහලයන් තමයි බක් මහා අවුරුද්ද නිර්මාණය කෙළෙ. සිංහල අවුරුද්ද සිංහලයන්ගෙ.
මෙය
සිංහල දෙමළ අවුරුද්ද නමින් හඳුන්වන්න ජනමාධ්‍ය කැමතියි. චතුර අල්විස්ගෙන් අහන්න. ඒ නිසා වසර කිහිපයකට පෙර චින්තන පර්ෂදයෙන් අපි සුළු නිරීක්‍ෂණයක් කළා දෙමළ අවුරුද්ද ගැන. ඉන්දියාවෙ මේ චිත්‍ර මාසයෙ අවුරුද්ද පවත්වන විධියත් හොයල බැලුව. හින්දුන්ගෙ අවුරුද්ද පටන් ගන්නෙ තෛපොංගල් සමග. ඒ් ජනවාරි 14 පමණ සූර්යයා ධනු රාශියෙන් මකර රාශියට එළඹීමත් සමග. මකර සංක්‍රාන්තිය. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල චිත්‍ර (බක්) මාසයේ අවුරුද්දක් නැහැ. මා කලින් ලිපියක කියා ඇති චිත්‍ර මාසය හදාගෙන තියෙන්නෙ අපේ සිත නකතින්. සිත නකත තියෙන්නෙ අස්විද නකතෙන් බැලූ විට අහසෙ අනෙක් පැත්තෙ. ඒ නකතෙ තියෙන දීප්තිමත් තරුව ස්පිකා නිසා ඒ අවුරුද්ද පටන් ගැනීමත් සමග සම්බන්ධ කරගෙන.
යාපනේ
අප වගේ උත්සවයක් පවත්වන්නෙ නැහැ. යාපනේ යන්න බැරි නම් වැල්ලවත්තට කොටහේනට ගිහින් බලන්න. සිංහල අවුරුද්ද කියන්නෙ නකත් උත්සවයක්. එ සිංහල කෘෂිකාර්මික සමාජයෙ බිහිවුණු එකක්. අලුත් අවුරුද්දෙ නකතට අලුත් සහලින් කිරිබත් උයලා කාලා අපි අලුත් අවුරුද්ට වැඩ අල්ලනවා ඒත් නකතට. යාපනේ අපි වගේ නකත් ගන්නෙ නැහැ. අපි නකත්කරුවන්. අපේ නාවිකයන් තමයි ලෝකෙට නකත් දුන්නෙ. නාවික නක අපේ වචන. නාගයන් ඇසෑමයේ සිට මාගම දක්වා ඉන්නවා. කාවන්තිස්ස රජුත් නාග. ඔවුන්ට නැවු සමාගම් තිබුණා. දැන් මට බනින්න මා අමනුෂ්‍යයන් මිනිසුන් කරන්න හදනවා කියා. මහාවංසයට ද්‍රෝහි වෙනවා කියා. අපොයි නැහැ මා විජයත් පිළිගන්නවා ඨකුරත් පිළිගන්නවා. ඒ අතර දෙමළ ජාතිවාදී ඉතිහාසඥයන්ට මෙරට නාගයන් දෙමළ කරන්න ඉඩ දෙන්නෙත් නැහැ.
අපේ
සංස්කෘතියට භාරතයෙන් බොහෝ දේ ලැබී තියෙනවා. බුදුදහමත් ඇතුළුව. එහෙත් අපත් භාරතයට යම් යම් දේ දී තියෙනවා. නකත් විසිහතත් ඇතුළුව. ඒ් වචනවල සංස්කෘත ගතියක් නැහැ.නක්‍ෂත්‍රය යන්නත් නකත් යන්නෙන් බිඳුණු එකක්. අශ්වින් චිත්‍ර අපේ අස්විද සිත ආදියෙන් බිඳුණු වචන. අප ලෝකයාට දී ඇත්තෙ නකත් පමණක් නොවෙයි. ශුන්‍යය සඳහා සංකේතයක් (හල් කිරීම එය පසුව පිල්ලම වුණා දෙමළෙ පිල්ලම ලිවීම හා බ්‍රාහ්මි අක්‍ෂර අතර කතාව මට පසුගිය දා දැනගන්න ලැබුණා. හල් කිරීම සඳහා පිල්ලම ලියන්න පටන්ගෙන තියෙන්නෙ පස්සෙ. අපේ හල් කිරීම පිල්ලම වෙලා එය අද බිංදුව ලෙස සංඛ්‍යාවල යොදා ගන්නවා) තනාගත්තෙත් අපි සිංහලයන්.
අපි ලෝකයේ නකත්කෙළි පවත්වපු ජාතියක්. කෘෂිකාර්මික අලුත් අවුරුදු නකත් අපි අද අනුගමනය කරනවා. අපේ අවුරුද්ද සූරයයා රේවති නකතෙන් අස්විද නකතට යැමත් සමග සම්බන්ධ කියා මට හිතෙනවා. ඒ සිදුුවන්නෙ බක් මහ මේ දිනවල. මා කලින් දවසක කිවුව පූරවායනය සමග මේ සම්බන්ධයි. අපේ නකත් භාරතයෙ දි රාශි නැත්නම් ලග්න සමග එකතු කරන්න ගිහින් පටලැවිල්ලක් ඇති වී තිබෙන බවයි මගේ වැටහීම. නකත් චන්ද්‍රයා සමග සම්බන්ධයි. රාශි නැත්නම් ලග්න සුර්යයා හා සමග සම්බන්ධයි. ඒ කොහොම වෙතත් සිංහල සංස්කෘතිය සූර්යයා සමග මෙන් ම චන්ද්‍රයා සමගත් සම්බන්ධයි. චන්ද්‍රයා සමග සම්බන්ධ නකත් හරහා සූර්යයාගේ වාර්ෂික චලිතය බක් මාසයේ රේවතියෙන් අස්විද නකතට මාරුවෙනවා. අපි වැඩ අල්ලනවා. වත්මනේ අපි අපේ පැරැන්නන්ගේ වැඩ වෙන අයට පාවා දෙන්න හදනවා.