Main Logo

Wednesday 17 April 2024

මොහොමඩ් ෆස්ලි නිසාර්

 

මොහොමඩ් ෆස්ලි නිසාර්

 

මා ඇසූ ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නැහැ. මගේ ප්‍රශ්නය මෙයයි. “ඔහු (ෆස්ලි නිසාර්) තම මුස්ලිම්කම නැතිකරගත්තේ ඇයි? මෙරට දේශපාලනයේ යෙදෙන මුස්ලිමුන් තම අනන්‍යතාව අත්හැර නැහැ. වි පෙරමුණට පසුව සම්බන්ධ සිටි පාස්කු ප්‍රහාරය ගැනත් කියැවෙන අයත් මුස්ලිම් අනන්‍යතාව අත්හැරියේ නැහැ. ෆස්ලි රොහාන් පෙරේරා නමින් පෙනී හිටියේ ඇයි. ප්‍රශ්නයට ඔහු ජීවත් සිටියත් පිළිතුරු දෙන එකක් නැහැ. ඔහු කාට හරි එයට පිළිතුරක් දී ඇති බවක් මේ වන තුරු දැන ගැනීමටත් නැහැ.”

 

මා ඇසුවේ සරල ප්‍රශ්නයක්. ඊබ්‍රාහිම් වැන්නන් තම අනන්‍යතාව වෙනස් කර නොගනිමින් දේශපාලනයේ යෙදෙන විට ෆස්ලි නිසාර් එසේ නොකර සිංහල අනන්‍යතාවක් වැළඳ ගැත්තේ ඇයි. ඔහු ඊබ්‍රාහිම්ලාටත වඩා දේශපාලනයෙහි යෙදුණු අයෙක්. ඔහු කෙළේ අදහස් වෙනස් කිරීමක්. තමයි ඉහළ දේශපාලනය. ඔහු තම මුස්ලිම් සංස්කෘතියේ අදහස් වෙනස් කරන්න ගියේ නැහැ. ෂබීර් මොහොමඩ් නමැත්තෙකු ලියා ඇති ලිපියක් (එම ලිපිය මේ පිටුවේ තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න  මැයෙන් කලින් පළ කර ඇත.) අනුව නම් පැහැදිලි වන්නේ ඔවුන් තම ගුරුවරයා ලෙස ෆස්ලි පිළිගන්නා බවයි. ඔවුන්ට අනුව ෆස්ලි මුස්ලිමුන්ට මෙරට ජීවත්වීමට ශක්තියක් ලබා දුන් නිසා. ඔවුන් ෆස්ලිට මුස්ලිම් චාර්ත්‍රානුකූල අවමංගල්‍යයක් ලබා දී තියෙනවා. අර නිරාගමික කතා එතැනින් ඉවරයි.

 

මා දන්න මුස්ලිමුන් ඉන්නවා ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට ලැදියි. එහෙත් ඔවුන් තම නම් වෙනස්කර ගත්තේ නැහැ. ඇතැමුන් බෞද්ධ සූත්‍ර හදාරනවා. මර්සලින් ජයකොඩි පූජකතුමා සිංහල බෞද්ධ සංසකෘතියට ලැදි සිටි අයෙක්. එතුමා තම නම වෙනස් කර ගත්තේ නැහැ.

 

මා පිළිගන්නවා මිනිසකු යම් ජාතියකට අයත්වන්නේ සංස්කෘතිය මත මිස ඊනියා ජාන මත නොවේ කියා. ඇතැමුන්ට හැමදාමත් මගේ නම ප්‍රශ්නයක්.  දොන් ඩේවිඩ් හේවාවිතාරණ තම නම වෙනස් කළා. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියේ නොවූ නිසා නොව ඉංගිරිසි සංස්කෘතික නෂ්ඨාවශේෂවලින් මිදීම සඳහා. ඇල්බට් පෙරේරා අමරදේව වුණා. එහෙත් එඩ්වඩ් ජයකොඩි වෙනත් නමක් ගත්තේ නැහැ. මට පියාගේ සිල්වා නම වෙනස් කිරීමට අවශ්‍ය වුණේ නෑහැ. මගේ පියාගේ නම ඩැනියෙල් සිල්වා. ඔහු ඉංගිරිසිවත් පෘතුගීසිවත් සංස්කෘතියේ නොවෙයි. මා ඇතැම් අවස්ථාවල නලින් සිල්වා දේවාදිත්‍ය නමින් පෙනී සිටිනවා. එහෙත් නම වෙනස් කිරීම සිංහල සංස්කෘතියට අවශෝෂණය වීම සඳහා අනිවාර්ය හරි ප්‍රමාණවත් හරි අවශ්‍යතාවක් නොවන බව අවධාරණය කළ යුතුයි.

 

අපේ මුත්තා දඹදෙණි යුගයේ රාජස්ථානයෙන් මෙරටට පැමිණි ඨකුර. ඔහු ක්‍ෂත්‍රිය වාංශිකයෙක්. අද අයි පී එල් තරඟාවලියේ රාජස්ථානය පරදින විට මට ප්‍රශ්නයක් වන්නේ නැහැ. අපි සිංහල බෞද්ධ වෙලා ඉවරයි. එහෙත් අප මුල දී හින්දු. ඨකුරගේ දුව සුප්‍රසිද්ධ පද්මාවති මෙරට ජීවත් වී ඇත්තේත් පසුව ඉන්දියාවට ගොස් මහාරාණි ලෙස ජීවත් වී ඇත්තේත් හින්දු භක්තිකයකු ලෙස. ඨකුර එක්වර බෞද්ධ වුණේ නැහැ. ඔහු සිංහල බෞද්ධ රජුට සේවය කළා. ඔහුත් එකල දේශපාලනයේ යෙදී තියෙනවා. පරම්පරාව එකල දේශපාලනයේ යෙදුණු අය. අප කෝට්ටේ යුගය වන තුරු ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී තියෙනවා. අප සිංහල බෞද්ධ වී තියෙනවා. පෘතුගීසින්ගේ පැමිණිමෙන් පසු සමහරු දොන් ජුවන් ධර්මපාල සමග කතෝලික වෙලා තියෙනවා.

 

මගේ ප්‍රශ්නය ෆස්ලිට තම මුස්ලිම් අනන්‍යතාව වෙනස් කිරීමට අවශ්‍ය වූයේ ඇයි යන්නයි. ඔහු මුස්ලිම් සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ නොකෙළේ ඇයි? ඔහු ආදරය ගැන ස්ත්‍රීවාදය ගැන ලියා ඇති බව කියනවා. මා දන්නේ නැහැ. මා ඔහුගේ ලිපි කියවා නැහැ. කෙසේ වෙතත් ඔහු කර ඇත්තේ බටහිර අදහස් සිංහලෙන් කීම පමණක් බව අන්‍යයන් ලියන දෙයින් පේනවා. ඔහුට නිර්මාණශීලිත්වයක් තිබී නැහැ. ආසියාවේ ප්‍රථම  දාර්ශනිකයාටවත් නිර්ම්ණශීලිත්වයක් නැහැ.

 

ඔහුට අවශ්‍ය වූයේ මුස්ලිම් සංස්කෘතිය වෙනස් නොකර තබා ගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස්කර දුර්වල කිරීම ? මා අහනවා පමණයි.ඔහු සිංහල කතා කළත් නිරාගමිකයකු වුණා. එහෙත් අවසානයේ දී ෂබීර් මොහොමඩ්ලා ඔහු මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් කරන ලද සේවයට මුස්ලිම් භූමදානයක් දී ඇත්තේ සිංහල බෞද්ධ පවුල්වල උපත ලද නිරාගමිකයන් ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් කිච කරමින්.

 

රොහාන් පෙරෙරා සමග එකට සිටියේ යැයි කියන එස් අබේවික්‍රම නමැත්තෙක් ලියා තිබුණා රොහාන්ගේ ජෛවීය මව සිංහල කියා. එයින් ඔහු සිංහල වන්නේ නැහැ. මා නැවතත් කියනවා පුද්ගලයකුගේ ජාතිය තීරණය වන්නේ ජාන මගින් නොවන බව. රොහාන් පෙරේරා හැදී වැඩී ඇත්තේ මුස්ලිම් පවුලක. ඔහු මුස්ලිම් සංස්කෘතියේ මිස සිංහල බෞද්ධ සංස්කෘතියේ නොවෙයි. ප්‍රශ්නය ඔහු තම මුස්ලිම් අනන්‍යතාව අත්හැර සිංහල අනන්‍යතාවක් ලබාගත්තේ ඇයි යන්නයි. එය දිල්ශාන් සිංහල අනන්‍යතාවක් ඇති කර ගැනීම වැන්නක් නොවෙයි. දිල්ශාන්ගේ විවාහය එයට බලපාන්න ඇති. නළුවන් ක්‍රීඩකයන් කලාකරුවන් විවිධ හේතු නිසා තම අනන්‍යතාව වෙනස් කරගන්නවා. ඔවුන් තමන් අලුත් අනන්‍යතාවක් ලබාගත් සංස්කෘතියට අනුගත වනු මිසක් වෙනත් අයගේ අදහස් උඩ අලුත් සංස්කෘතියේ අදහස් වෙනස් කරන්න යන්නේ නැහැ. රොහාන් පෙරේරා බටහිර අදහස් අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස් කරන්න උත්සාහ ගත්තා. ඔහු හා නිරාගමිකයන් අසාර්ථක වීම වෙන ප්‍රශ්නයක්.        

 

මගේ ප්‍රශ්නයට පිළිතුරක් දීමට නිරාගමිකයන්ට  X සාමාජිකයන්ට මා දින දෙකක් ඉඩ දෙනවා.  පිළිතුර කොහේ හරි පළ කරන්න. මට ආරංචි වේවි. මා තවමත්  ප්‍රශ්නයට පිළිතුරක් දී නැහැ.