Main Logo

Thursday 4 April 2024

මහින්දගෙන් පසු

 

මහින්දගෙන් පසු

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බණ්ඩාරනායකලාගෙන් කැඩෙන විට එහි නායකත්වය ගැනීමට මහින්ද රාජපක්‍ෂ හිටියා. බටහිරයන් හා ඉන්දියාව එකතු වී ඔහු පළවා හැරීමට රට පුරා හොරා නමක් පට බැන්දත් ඔහු යුග පුරුෂයෙක්. මහුට මුල දී එතරම් ජාතිකත්වයක් තිබුණේ නැහැ. එහෙත් 2005 සිට අවුරුද්දක්  දෙකක් ඇතුළත ඔහු ජාතිකත්ව දේශපාලනයකට ඇදී ආවා. එයට ජාතිකවාදීන්ගේ බලපෑම අතිමහත්. ඔහු හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු විදේශීය ආක්‍රමණයක් (බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදය ලැබූ දෙමළ ජාතිවාදී කොටි ත්‍රස්තවාදය) මුළුමනින් පරාජය කළා.

 

බටහිරයන් ඔහු හා ගෝඨාභය පළවා හැරීමට කටයුතු කෙළෙත් තමන් ලැබූ පරාජයේ පළිය ගන්න. පරගලය සඳහා වූවක්. පරගලයට දේශීය වශයෙන් සහභාගි වූ සියල්ලන් පාහේ සිංහල බෞද්ධ විරෝධීන්. ජෙප්පන් හා සෙප්පන් හා පඬි නැට්ටන් කියාවි මා මැදමූලන රෙදි හෝදනවා කියා. මා හෝදන රෙද්දක් නැහැ. එහෙත් එසේ කියන්නවුන් නම් සිංහල බෞද්ධ රෙද්දට බයයි. ඔවුන් බටහිරයන්ගේ හා ඉන්දියාවේ ඉත්තන් වන්නේත් ගැත්තන් වන්නේත් බය හා සමග පැන නගින විරෝධය නිසා.

 

අද හරිණිලා හරහා එන විජාතික බලපෑම් යටතේ ජා බලවේගය සිංහල බෞද්ධ විරෝධී වෙලා. ඔවුන්ට ලැබෙන්නේ පාක්‍ෂිකයන්ගේ මුදල් පමණක් නො වෙයි. විජාතික සහෝදරයන් ඔවුන් නඩත්තු කරනවා.  හරිණිලා ජා සමග එකතු වීමට පෙර ඔවුන්ගේ දේශපාලනය එකල වි පෙරමුණේ දේශපාලනයෙන් මූලික වශයෙන් වෙනස් වුණෙ දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන්. විවෘත මොටාවෙ හිටි මොටාලාගේ එකල කියුම් කෙරුම් අරගෙන බලන්න. අද වමක් නැති වමාලාත් ජා බලවේගයට ආධාර කරන්නේ ජා දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින නිසා. නැත්නම් ඔවුන්ට වි පෙ සමග තිබුණෙ ජන්මාන්තර වෛරයක්. වි පෙ භීෂණය නිසා නොවෙයි. අසු ගණන්වල සිට කොළඹ මොටාවෙ මේ විරෝධය සුවාදීනයන් හා ජෙප්පන් අතර  දැක ගැනීමට හැකි වුණා.

 

මේ සියලු දෙනා බටහිර හා ඉන්දීය ඉත්තන් හා ගැත්තන් වෙමින් මහින්ද විරෝධයකට යොමු වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධ විරෝධය නිසා. ඔවුන්ට බටහිර හා ඉන්දිය අවශ්‍යතාවට ආතල්ගම කුඩාරම් තනන්න හැකි වුණේත් මහින්ද හා ගෝඨාභය කොටි ත්‍රස්තවාදය පරාජය කර තිබූ නිසා.

 

එහෙත් මට කියන්න අවශ්‍ය එය නො වෙයි. පොහොට්ටුව කියන්නෙ මහින්ද රාජපක්‍ෂගෙ පක්‍ෂය. මට මතකයි 2015 පරාජයෙන් පසු මැදමූලන ගිය පිරිස්. ඔවුන් මැදමූලන ගියේ කාගේවත් වුවමනාවකට නො වෙයි. කිසිවකුවත් බස් දුන් නිසා නොවෙයි. මිනිසුන් ක්‍ෂණික තේරුම් ගත්තා යහපාලනය දිනවා මහින්ද පරාජය කර තමන් කර ගත්තේ මෝඩකමක් බව. අද වීරයන් බවට පත් වී මහින්ද රට කෑවා කියන අයට තමන් බටහිරයන්ගේ හා ඉන්දියාවේ ඉත්තන් හා ගැත්තන් වී මහින්ද හා ගෝඨාභයට විරුද්ධ වීම ගැන කණාගාටු වීමට සිදු වේවි.

 

බැසිල් රාජපක්‍ෂ කෙළේ මහින්දගේ පක්‍ෂය සංවිධානගත කිරීම පමණයි. මැදමුලන ගිය ජනතාව ඊට පසු ජාතිකවාදී පිරිසක් නුගේගොඩ සංවිධානය කළ රැස්වීමට පැමිණියෙත් නොමිළෙයේ බස් සැපයූ නිසා නොවෙයි. පැමිණියේත් මහින්දගේ මිනිස්සු. එදා ඇතැමුන් නුගේගොඩ කඩවලට රිංගා රැස්වීමෙ කතා ඇහුවෙ යහපාලන ජයග්‍රහණය සමග රැස්වීමට ඒමට තිබූ බය නිසා. අය පසුව අමාත්‍යවරුන් නම් වූවා. 2019 ගෝඨාභයට ලැබුණෙත් අද පාර්ලිමේන්තුවෙ ඉන්න පොහොට්ටු මන්ත්‍රීලට 2020 ලැබුණෙත් මහින්දගෙ ඡන්ද. ඔවුන් සමහර දෙනකුට මතක  නැතුව ඇති. අද ඔවුන් සමහරකු රනිල් පසුපස යන්නේ නැවත පාර්ලිමේන්තු එන්න නම් නො වෙයි.

 

එහෙත් මහින්දගෙන් පසු පොහොට්ටුවටත් පොදුවේ ජාතිකත්වයටත් අද ප්‍රශ්නයක් තියෙනවා. යුග පුරුෂයකු සිටින විට දෙවැනි පෙළ නායකයකු බිහි වීමට ඇති ඉඩකඩ අඩුයි. චන්ද්‍රිකාගෙන් පසු මහින්ද හිටියට මහින්දගෙන් පසු කවුද? ගෝඨාභය වෙන්න තිබුණේ. එහෙත් ආත්මාර්ථකාමී පිරිසක් මහින්ද හා ගෝඨාභය අතර විරසකයක් ඇති කර ගෝඨාභය මහින්දගෙන් ඉවත් කළා. බව දුටු බටහිරයන් හා ඉන්දියාව දෙදෙනා ඉවත් කිරීමට වසංගතය හරහා සැලැස්මක් හදා ගත්තා. ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු කළ යුතුව තිබුණේ කලින් අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් තිබූ ප්‍රශ්න අමතක කර මහින්ද සමග එක් වීමයි. එහෙත් දෙපැත්තේ සිටි විවිධ බලාපොරොත්තු සහිත අය එයට ඉඩ දුන්නේ නැති බව පැහැදිලියි.

 

අද පොහොට්ටුවටත් පොදුවේ ජාතිකත්වයටත් නායකයකු නැහැ. නාමල් රාජපක්‍ෂ නැති කමට පත්කර ගත් පොහොට්ටුවේ නායකයකු පමණයි. ඔහු ජාතිකත්වයේ නායකයකු නොවෙයි.  ඔය කොයි කාටත් තවමත් ලැබෙන්නෙ මහින්දගෙ ඡන්ද. ඔහු දේශපාලන නායකත්වය දුන්නෙ ඊනියා යුද විශේෂඥයන් කිසි දා පරාජය කළ නොහැකි යැයි කී ප්‍රභාකරන් පරාජය කිරීමට. සිංහල බෞද්ධ විරෝධීන් මොන කතා කිවුවත් මහින්දට තවමත් රටේ ඡන්ද තියෙනවා. එය 2019 දි හරි 2020 දි හරි තරමට නැතුව ඇති.

 

සමහර ජාතිකවාදීන් අද පවතින තතවයට වග කියන්න ඕන. ආණ්ඩුව තුළ සිටිමින් ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කිරීම හා සුවාදීන වීම කළ යුතු තිබූ දෙයක් නො වෙයි. කවුරු කෙසේ කිවුවත් මෙරට ජාතිකවාදී ඡන්ද වැඩියි. අද අවශ්‍ය වී ඇත්තේ එහි නිසිි කළමනාකරණයක් පමණයි. 

 

සතියක් පමණ කලට වේලාවට ලිපි පළ නොවන බව කරුණාවෙන් සලකන්න.