Main Logo

Monday 17 April 2017

ගැහැණු මනස  


ගැහැණු මනස



බටහිර විද්‍යාවට අනුව ඊයෙ පෙරේදා කියලා තිබුණා පිරිමින්ගෙ හා ගැහැණුන්ගෙ මොළවල වෙනස්කම් තියෙනවා කියලා. හැබැයි ඒ වන තුරු බටහිර විද්‍යාඥයන් එක හඬින් කියා සිටියෙ පිරිමින්ගෙ හා ගැහැණුන්ගෙ මොළවල වෙනස්කම් නැහැ කියලා. ඒ අර ඊනියා සමානත්වතාවෙන් මතුවෙච්ච අදහසක්. දැන් බටහිර විද්‍යාඥයන් මේ අලුත් නිගමනයට ඇවිත් තියෙන්නෙ මොළ දහස් ගණනක් නිරීක්‍ෂණය කිරීමෙන් පසුව කියලයි කියන්නෙ. මේ නිරීක්‍ෂණය පිරිමි විද්‍යාඥයන්ගෙ ද කියල අහන්න එපා. කොහොමටත් බටහිර විද්‍යාවෙ හැටි ඔහොම තමයි. අද කියපු දේ හෙට නැහැයි කියනවා. එසේ වීමට හේතුත් කියනවා!




බටහිර විද්‍යාඥයන් තවමත් හිතන්නෙ මනස කියන්නෙ මොළයෙ ක්‍රියාකාරීත්වයකට කියලා. බටහිර විද්‍යාඥයන්ට මොළේ නැහැ කියලා මා කියන්නෙ නැහැ. ඔවුන් හිතන්නෙ ද්‍රව්‍යවාදීන් ලෙස. ද්‍රව්‍යයෙන් තොර මනසක් ගැන ඔවුන්ට හිතන්න බැහැ. දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරන බටහිර විද්‍යාඥයන් ඇති. ඒත් බටහිර විද්‍යාවෙදි ඔවුන් හිතන්නෙ ද්‍රව්‍යවාදී ව. මෙරට ජාතිකත්වය මත කටයුතු කරන කලාකරුවන් ඉන්නවා. ඒත් ඔවුන්ගෙන් බොහෝ අය තම ඊනියා කලා කතිකාවතෙහි යෙදෙන්නෙ පඬි සංකල්ප මත පදනම් වෙලා. එහෙම නොකළොත් ඔවුන්ට පිළිගැනීමක් නැහැ. දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් තිබුණත් නැතත් බටහිර විද්‍යාඥයන් ආරම්භයක් ගැන විශ්වාස කරනවා. ඔවුන් කල්පනා කරන්නෙ රේඛීය චින්තනයක. මනස මොළයට සම්බන්ධ කර ඌනිතවාදීව හා ද්‍රව්‍යවාදීව හිතනතාක් බටහිර විද්‍යාඥයන්ට මනස ගැන අවබෝධයක් ලබන්න බැහැ. සමහරුන් නිවුටන් අනුගමනය කරමින් මනස කොටස්වලට කඩන්න උත්සාහ කරනවා!



ගැහැණුන් හා පිරිමින් මොළය අතින් වෙනස් වුවත් නැතත් ඔවුන්ගේ මනස් නම් වෙනස්. ඒ කියන්නෙ හැම පිරිමියකුට ම පිරිමි මනසක් තියෙන බවවත් හැම ගැහැණියකට ම ගැහැණු මනසක් තිබෙන බවවත් නො වෙයි. සාමාන්‍යයෙන් ගත්තොත් පිරිමි මනස හා ගැහැණු මනස වෙනස්. ඔවුන් හිතන හැටි වෙනස්. ඔවුන්ගේ ප්‍රමූඛතා වෙනස්. අද දේශපාලනයට වඩා යොමු වන්නෙ පිරිමි. ඒක මේ දේශපාලනයෙහි හා ඒ පදනම් වූ සංස්කෘතියෙහි ප්‍රතිඵලයක්. ගැහැණුන්ගේ ප්‍රමුඛතාව රට පාලනය කිරීම නොව ගෙදර බලා ගැනීම. එය ඊනියා පුරුෂාධිපත්‍යයක් නිසා වෙන දෙයක් නො වෙයි. අද දේශපාලනය පිරිමි දේශපාලනයක්. බටහිර විද්‍යාවත් පිරිමි වැඩක්. ඒවාහි ගැහැණු නැතිවා නො වෙයි. ඒ බොහෝ විට පිරිමි මනසක් තියෙන ගැහැණු. පිරිමින්ට සාමාන්‍යයෙන් ගැහැණුන්ට වඩා වියුක්ත චින්තනයක් තියනවා. හේතුවාදීයි. ඇරිස්ටෝටලීය තර්කයට අනුගත වෙන්න හැකියාවක් තිබෙනවා.  ඒත් ලංකාව වගේ රටවල පිරිමින්ට එහෙමකට කියලා වියුක්ත චින්තනයක් නැහැ.



අද පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරියන් සංඛ්‍යාව බොහොම අඩුයි. දැන් ඒක කෘත්‍රීම ව වෙනස් කරන්න හදනවා නීතියෙන් අහවල් ප්‍රතිශතයක් ගැහැණු වෙන්න කියලා. ඒක ස්වභාව ධර්මයට විරුද්ධව යෑමක්. කවුරු හරි කියන්න පුළුවන් මා පුරුෂාධිපතිවාදියෙක් කියලා. මා දන්නවා අද දේශපාලනයෙ ඉන්න ගැහුණුන් වුණත් බොහෝ විට එතැනට ඇවිත් තියෙන්නෙ පවුල් පසුබිම නිසා  කියලා. බොහෝ දේශපාලනඥවරියන්ගේ පියා හරි ස්වාමිපුරුෂයා හරි දේශපාලනඥයෙක්. සාමාන්‍යයෙන් ගැහැණුන් පිරිමින්ට වඩා පෞද්ගලික සම්බන්ධකම් ගැන සංවේදීයි. බුදුදහමට අනුව බුදු වීමට නම් පළමුව මනුෂ්‍යයකු විය යුතුයි. දෙවනුව පිරිමියකු විය යුතුයි. එයින් කියන්නෙ බුදුදහම පුරුෂාධිපත්‍යය මත පදනම් වූවක් කියලා බොරු පඬියකු කියන්න පුළුවන්. ගැහැණුන්ට නිවන් අවබෝධ කර ගැනීමට හැකි වුවත් තනියම සියලු බැඳීම්වලින් වියෝ වෙන්න බැහැ. මහාභිනිෂ්ක්‍රමණයක් කරන්න බැහැ. මා ඉන් කියන්නේ ගෙදරින් තරහ වෙලා යන එක නො වෙයි. පඬියන්ට මහාභිනිෂ්ක්‍රමණය තේරෙන්නෙ නැහැ. දෙවියන් භූතයන් අතර ඉන්න පඬියන් බුදුදහම මනුෂ්‍යාධිපතිවාදී කියනව ද දන්නෙ නැහැ. 



ගැහැණුන්ගේ නුවණ හැඳි මිටේ දිග ය කියා කතාවක් තියෙනවා. ගැහැණුන්ට පිිරිමින්ට තරම් සැලසුම් කරන්න බැහැ. දුර දිග පේන්නෙ නැහැ. ඒත් ගැහැණුන්ට හොඳ ඉවක් තියෙනවා. පිරිමි මනස වියුක්ත සැලසුම් කිරීමෙහි දක්‍ෂතාවක් පෙන්නුම් කරනවා. පිරිමින්ට වියුක්ත ප්‍රවාද ගෙතීමේ හැකියාවක් තිබෙනවා. පිරිමි ගැහැණුන්ට වඩා බොරු කාරයො. ගැහැණුන් ඇඟට දැනෙන විධියට වැඩ කරනවා. ඔවුන් බොහෝ දේ ඇඟට ගන්නවා. දේශපාලනයෙ යෙදෙන්න හරි ඉහළ නිලයක් දරන්න හරි ඇඟට ගන්නෙ නැතිව වැඩ කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. පිරිමින්ට ඒ හැකියාව ගැහැණුන්ට වඩා තියෙනවා.  පිරිමින්ට පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන දේ ගැන හිතන්න පුළුවන්. ඒත් ඒ හැකියා ඉස්මතු වෙන්නෙ සංස්කෘතික පසුබිම්වල. ගැහැණු පිරිමින්ට වඩා එදිනෙදා ඇඟට දැනෙන වැඩ කරන්න කැමතියි. එකම දේ දිගින් දිගට ම කරන්න ගැහැණුන්ට තිබෙන හැකියාව අධිකයි. සාමූහිකව වැඩ කිරීමට ගැහුණුන් පිරිමින්ට වඩා දක්‍ෂයි.



සිංහල පිරිමි බොහෝ විට හිතන්නෙ ගැහැණු වගේ. බුදුවෙන්න පුළුවන් පිරිමියකුට විතරක් වුණාට බුදුදහම තරම් ගැහැණුන් ගැන ගැහැණුන් මෙන් හිතන්න පුරුදු කරන දහමක් තවත් නැහැ. සිංහල බෞද්ධ පිරිමිත් බොහෝ විට හිතන්නෙ ගැහැණුන් වගේ.  මීතොටමුල්ල ගැන කල්පනා කරන්න. සිංහලයන් ඒ ගැන කම්පා වෙනවා.  එයට ප්‍රධාන හේතුව බටහිර දියුණුවට අනුගත වීමට සැලසුම් කිරීමට සිංහල පිරිමින්ටත් නොහැකි වීම බව අප කී විට එයට කිසිවකු සවන් දුන්නේ නැහැ. අප කියන හේතුව ඇඟට දැනෙන්නෙ නැහැ. ඔවුන්ට තේරෙන්නෙ එක එක ආණ්ඩු කුණු දාන්න කටයුතු කළ/නොකළ අන්දම පමණයි. සිංහල පිරිමින් සැලසුම් කිරීමේ දී ගිවිසුම් අත්සන් කිරීමේ දී පරදිනවා. ඔවුන්ටත් බොහෝ විට ඇඟට දැනෙන හේතුවලින් ඔබ්බට යන්න බැහැ. පෘතුගීසීන් පැමිණි දින සිට අපට ඒ බව දැක ගන්න පුළුවන්. 1815 ගිවිසුම, ඩීල් ඩොයිලිගේ ඩීල්වලට යටවීම, ඉන්දු ලංකා ගිවිසුම, අද එක්ටා ගිවිසුම, හම්බන්තොට ගිවිසුම ආදිය ඒ සම්බන්ධ උදාහරණ.



බටහිර පිරිමින්ට විශේෂයෙන් ම යුදෙවුවන්ට ඇඟට නොදැනෙන දේ ගැන හිතන්න පුළුවන්. ඔවුන්ට හිතෙන් මවා ගන්න බැරි දේ ගැනත් හිතන්න පුළුවන්. වෛදික බමුණන්ගෙත් මේ ලක්‍ෂණ යම් ප්‍රමාණයක් තිබුණා. අප බමුණු මත කියලා කියන්නෙ බමුණන් නිර්මාණය කරපු ප්‍රචාදවලට, නැත්නම් කතන්දරවලට. ගැහැණු මායම් ගැන කතා හැදුවෙ බමුණන්. අප බමුණු මත ප්‍රතික්‍ෂෙප කළා. අදත් ඉන්දියාවෙ බමුණන්ගෙ මේ ලක්‍ෂණ දකින්න පුළුවන්. ගිවිසුම් හදන්නෙ පිරිමි මනසින්. පහුගිය කාලෙ ඉන්දියාවෙ ගිවිසුම්වලින් අප කෙතරම් බැට කාලා තියෙනව ද?  ඉන්දියාවෙ විදේශ අමාත්‍යාංශය පාලනය කරන්නෙ බමුණන්. විශේෂයෙන් ම කේරළයේ බමුණන්. සිංහල බෞද්ධයන් බමුණු මත පිළිකෙව් කළත් ඔවුන්ට ඒවාට විරුද්ධව යමක් කරන්න අමාරුයි. උම්මග්ග ජාතකය ලියන කාලෙත් බමුණන් මෙරට ආධිපත්‍යයක් දෑරුව. උම්මග්ග ජාතකය ලිවුවෙ බමුණු ආධිපත්‍යයට විරුද්ධව. මාර්ටින් වික්‍රමසිංහ බමුණු කුලයක් වැටීම ගැන අවස්ථාවාදී ව පනස්හයට පෙර නොව පසුව කතා කෙළෙ බමුණන්ගේ ලක්‍ෂණ දැනගෙන නොවෙයි. 



බටහිර මානව විද්‍යාඥවරියක වූ මාග්‍රට් මීඩ් මොනව කියලා තිබුණත් මේ ආධිපත්‍යය නිෂ්පාදනය මත පදනම් වෙච්ච දේ නොවෙයි. ඒ ද්‍රව්‍යවාදී අදහසක්. බමුණන් ක්‍ෂත්‍රියයන් ද පරදවා සමාජයේ ආධිපත්‍යය ලබා ගත්තෙ කිසිම නිෂ්පාදනයකට හවුල් වෙලා නො වෙයි. ඔවුන්ගේ මතවල ශක්තියෙන්. පිරිමින් ලෝකය පාලනය කරන්නෙ ඔවුන්ට ඇති වියුක්ත චින්තනය, සැලසුම් කිරීමේ හැකියාව ආදිය මත පතනම් වෙලා. පිරිමින්ගෙ අදහස් බලපාන සමාජවලට පීතෘ මූලික සමාජ කියලා කියනවා. ගැහැණුන්ගේ අදහස් බලපාන සමාජවලට මාතෘ මූලික සමාජ කියලා කියනවා. දැන් මුළු ලෝකය ම වගේ පීතෘ මූලිකයි. සමහර ගැහැණු ඊනියා පුරුෂාධිපත්‍යයකට විරුද්ධ වෙලා කරන්නෙ පිරිමි වගේ වැඩ කිරීම. ඒකෙන් මාතෘ මූලික සමාජ ඇති කරන්න බැහැ. ඒකෙන් වෙන්නෙ පිරිමි අදහස් තව තවත් තහවුරු වීම පමණයි. ඒත් දැන් පිරිමින්ගෙ ඇරිස්ටෝටලීය න්‍යාය, තර්ක කිරීම, හේතුවාදය හෙවත් බුද්ධිවාදය, වියුක්ත චින්තනය ආදිය කඩා වැටෙන්න පටන් අරන්. කරුමෙකට ගැහැණුන්ට ඒක තේරෙන්නෙ නැහැ.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. 



https://www1.kalaya.org  



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 17