Main Logo

Sunday 23 April 2017

රනිල්ගේ ඉන්දියා ගමන  


රනිල්ගේ ඉන්දියා ගමන



රනිල් තකහනියක් ඉන්දියාවට යන්නෙ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට කියා කිසිවකු හිතනවා නම් එය දේශපාලනය ගැන වැටහීමක් නැති කමෙන් කෙරෙන්නක්. අපට විදුලිය ලබා දීම ගැන කතා කරන ඉන්දියාව රටෙන් කොපමණ ප්‍රමාණයකට විදුලිය දී තිබේ ද? මෝදී ඊනියා ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීමට තව සති දෙකකින් ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ තවත් ව්‍යාජයක්. ජාත්‍යන්තර වෙසක් දිනය (පූර්නිමා) ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් නො වෙයි. සිංහල බෞද්ධයන් රැවටීමට හැමෝම කටයුතු කරනවා. සිංහල බෞද්ධයන් ද රැවටෙන්නට දත කට මැදගෙන බලා සිටිනවා. සිංහල අවුරුද්දට රට පනින රනිල්ට සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන ඇති කැක්කුම කුමක් ද? රනිල්ට වෙසක් වැදගත් ද? රනිල්ට මෝදි ලවා වෙසක් දිනය ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් බවට පත් කර ගත හැකි ද? 




මේ ආණ්ඩුව බලයට පත් කෙරුණේ දෙමළ ජාතිවාදය සැනසීමට, එයට කප්පන් දීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බව අප නිතර මතක් කරනවා. ඒත් දේශපාලනයෙහි යෙදී සිටින්නන් හරි ඔවුන් ළඟින් ඇසුරු කරන්නන් හරි අප කියන කිසිවක් සත පහකට ගණන් ගන්නේ නැහැ. ඔවුන් සිතන්නේ අප නාථ දෙවියන් පසු පස යන මෝඩයන් කියා.  මොවුන් කිසි දිනෙක දැනුම කියන්නෙ මොකක් ද ඒ ලබාගන්නෙ (නිර්මාණය කරන්නෙ) කොහොමද කියන එක ගැන කල්පනා කරලා නැහැ. ඇතැමුන් ඒ පිළිබඳ බටහිර පොතපත කියවලා ඇති. එහෙත් කල්පනා කර නැහැ. ඔවුන් ඒ පොත්පත්වල ඇති දේ පුනරුච්චාරණය කරනවා. අද්‍යශ්‍යමාන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම පොත් කතුවරුන්ගෙන් දැනුම ලබා ගැනීමට වඩා වෙනස් වන්නේ කෙසේ ද? නාථ දෙවියන් ගැන කියවන කිසිවකුවත් කිසිදා කිසිවක් දැනුමට එකතු කර නැහැ. කුණු ප්‍රශ්නයට තමන්ගේ ම වූ විසඳුමක් ඉදිරිපත් කළ ඊනියා බුද්ධිමතකු වේ ද? කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුව අද වන තුරු මේ ඊනියා විද්‍යාඥයන්, වෛද්‍යවරුන් “සොයා ගෙන” ඇත් ද? ඔවුන් දන්නේ අද්‍යශ්‍යමාන ප්‍රාණීන් විහිළුවට ලක් කිරීම පමණයි.



ජාතික ව්‍යාපාරයෙහි අයත් ඒකාබද්ධ විපක්‍ෂයෙ අයත් සිතන්නෙ 2019/20 ගැනයි. ජනාධිපතිවරණය, මැතිවරණය ගැන ඔවුන් කේන්දර බලනවා. ඒත් රනිල්ට, ඉන්දියාවට හා එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලට එයට පෙර නව ව්‍යවස්ථාව අවශ්‍යයයි. මෛත්‍රිපාල යම්තාක් දුරකට ඔවුන්ට දැන් ප්‍රශ්නයක් වී තිබෙනවා. මෛත්‍රිපාල ඉතා පැහැදිලිව කියනවා ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථාවකට හෝ ව්‍යවස්ථා සංශෝධනවලට හෝ තමා එකඟ නැති බව. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී දුන් පොරොන්දු පත්‍රයෙහි ඒ බව සඳහන් වෙනවා.



මෛත්‍රිපාලට අද ඒ පොරෙන්දුවට ගරු කරන්න වෙලා තියෙනවා. රනිල්ටත් ඉන්දියාවටත් ප්‍රශ්නය වී ඇත්තේ එයයි. මෛත්‍රිපාල පත් කර ගත්තේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් මැදිහත් වෙලා. ඒත් ඉන්දියාවට දැන් මෛත්‍රිපාල ප්‍රශ්නයක් වෙලා. රනිල්ට හැකිනම් මෛත්‍රිපාලට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න වුණත් පුළුවන්. එහි දී ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ගේ සහායත් බොහෝ විට ලබා ගනීවි. ඒකාබද්ධ විපක්‍ෂයටත් මෛත්‍රිපාලට දඬුවම් කිරීමට අවශ්‍ය නිසා සමහරුන් එයට එකඟ වේවි. ඔවුන්ට අමතක වේවි එවිට බලය සම්පුර්ණයෙන් ම රනිල්ගෙ කියලා. අද එදාට වඩා දක්‍ෂ ඩොයිලිලා හා කෞටිල්‍යලා ඉන්නවා.



රනිල්, සම්බන්ධන් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මා ඒ ගැන පුදුම වන්නේ නැහැ. අද ඉන්දියාව දැළ එළා ගෙන යනවා. ඉන්දියාවට ප්‍රභාකරන් ඝාතනය කිරීමට අවශ්‍ය ව තිබූ නමුත් දෙමළ ත්‍රස්තවාදය හා දෙමළ ජාතිවාදය පරාජය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔවුන් ඒ සඳහා අපට ආධාර දුන්නෙත් නැහැ. ඒත් ඉන්දීය ජනමාධ්‍යවේදිනියක් මහින්දගෙන් මේ ආධාර ප්‍රශ්නය අසා ඇයට අවශ්‍ය පිළිතුර ලබා ගත්තා. මහින්ද හා මෛත්‍රිපාල අතර ඇත්තේ පෞද්ගලික ප්‍රශ්නයක්. විශේෂයෙන් ම බැසිල් රාජපක්‍ෂ හා මෛත්‍රිපාල මෛත්‍රිපාල අතර ඇත්තේ පෞද්ගලික ප්‍රශ්නයක්.



මේ කවුරුන්වත් රට වෙනුවෙන් තම පෞද්ගලික ප්‍රශ්න අමතක කරන්න සූදානම් නැහැ. මෛත්‍රිපාල –- මහින්ද - ගෝඨා ත්‍රිත්වය බලයට ගෙන ඒමට කතා කරන්නේ එක්කෝ නොදරුවන් , නැත්නම් වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නන්. ඒ න්‍යාය පත්‍රය රටට හිතකර එකක් නො වෙයි. මෙහි දී අප වෙනත් අයකු ජනාධිපති කිරීම පෙරදැරි කරගෙන නොවෙයි මේ න්‍යාය පත්‍රයට විරුද්ධ වන්නේ. ඒ සූත්‍රයට අනුව වැඩ කළහොත් පළමුවෙන් ම විසි වන්නේ ගෝඨාභයයි. ඔහු වටා සිටින අය ඒ බව අවබෝධ කරගන්නවා නම් හොඳයි. මෙය ඔවුන්ට දෙන උපදෙසක් නොවෙයි. ඔවුන් අප දෙන උපදෙස්වලට සවන් දීම නවත්වලා බොහෝ කල්. මාත් මේ කරුණු ලියනවා පමණයි. 



අද අවශ්‍ය වන්නේ මෛත්‍රිපාල ඉවත් කිරීම නොව රනිල් ඉවත් කිරීමයි. ඉන්දියාව එයට විරුද්ධ වේවි. ත්‍රිකුණාමල තෙල් ටැංකිවලට වඩා ඉන්දියාවට අවශ්‍ය වන්නේ භූමියයි. ත්‍රිකුණාමල වරායයි. මුහුදයි. ඔවුන්ට චීන මුහුදු සේද මාර්ගයට මුහුණ දෙන්න අවශ්‍යයි.  සුසිල් ප්‍රේමජයන්තට ඒ බව ඒ ආකාරයට ම නැතත් යම් කිිසිවක් වැටහෙනවා. සමහර විට මෛත්‍රිපාලටත් වැටහෙනවා ඇති. රනිල්ට ඒකෙන් ඇති වැඩක් නැහැ. ඔහුගේ ප්‍රමුඛතා වෙනත් දේ. සම්බන්ධන් තෙල් ටැංකි ගැන කියන්නේ කුමක් ද? ඔහු පාර්ලිමේන්තුවට පත් වී ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන්. ඒත් ඔහු ඉන්දියාවේ ඉත්තෙක් පමණයි. තෙල් ටැංකිවලටත් වඩා රනිල්ට සම්බන්ධන්ට අවශ්‍ය ව්‍යවස්ථාව.



අද අප කල්පනා කළ යුත්තේ ඉදිරි ජනාධිපතිවරණය ගැන හෝ මහා මැතිවරණය ගැන හෝ නොව රනිල් අගමැති කමෙන් ඉවත් කර ව්‍යවස්ථාව පරාජය කිරීම ගැනයි. රනිල් වෙනුවට මහින්ද පත් කර ගත හැකි නම් ඉතා හොඳයි. පෞද්ගලික හේතු නිසා ඒ කළ නොහැකි නම්, බැසිල් හරි වෙනත් කවුරු හරි එයට විරුද්ධ නම් අපට වෙනත් ව්‍යවස්ථානුකූල ක්‍රමයක් ගැන හිතන්නට වේවි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org 

නලින් ද සිල්වා



2017 අප්‍රේල් 23