Main Logo

Wednesday 12 April 2017

රාජිතගෙ තාවකාලික විසඳුම හා පාදෙණිය  


රාජිතගෙ තාවකාලික විසඳුම හා පාදෙණිය



රාජිත සේනාරත්න කියලා තිබුණා යුද්ධය තාවකාලික විසඳුමක් පමණයි කියලා. ස්ථිර විසඳුම් ලෝකෙ තියෙනව ද කියලා රාජිතගෙන් අහන්න මට ඕන කමක් නැහැ. ඒත් මට දැනගන්න ඕන මේ යුද්ධය මොකක් ද තාවකාලික ව විසඳුපු ප්‍රශ්නය මොකක් ද කියලා. රාජිත දත් දොස්තර කෙනෙක්. මේ දිනවල ඔහු සයිටම් ගැන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය එක්ක වචන හුවමාරුවක යෙදිලා ඉන්නෙ. ඒ සංගමයෙ නිලධාරින් අතර විදේශීය රටවල උපාධිධාරී වෛද්‍යවරුනුත් ඉන්නවා. ඔවුන් හා සංගමය කියාවි ඒ අයට ඒ විදේශීය විශ්වවිද්‍යාලවල විධිමත් පුහුණුවක් ලැබුණා කියලා. මා ඒ ගැන තර්ක කරන්නෙ නැහැ. සහතික සමග තර්ක කරන්න බැහැ.




ඒත් මේ රාජිත - වෛද්‍ය නිලධාරි සංගම්  වචන හුවමාරුවෙන් පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ දෙපැත්තට ම විධිමත් ව තර්ක කරන්න බැරි බව. මා ඒ ගැන පුදුම වන්නේ නැහැ. සමස්තයක් හැටියට ගත්තම ඔය වෛද්‍යවරුන්ගේ තර්ක ඥානය දුර්වලයි. රාජිත පාදෙණිය ගැන නාථ දෙවියන් සම්බන්ධ කරමින් කියා ඇති දේ පැහැදිලි නැහැ. කොහොමටත් රාජිතට පැහැදිලි ව යමක් කියන්න බැහැ. පාදෙණිය අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන විශ්වාස කරන බව මා දන්නවා. එය නරක දෙයක් නො වෙයි. පාදෙණියගේ දේශපාලන අභිලාෂ ගැන මට කියන්න බැහැ. පාදෙණිය තමන්ට දේශපාලන අභිලාෂ නැති බව කියාවි. ඒත් පාදෙණිය අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. ඒකත් හොඳයි. මාත් අරගෙන තියෙනවා. රාජිත අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන බවක් කියන එකක් නැහැ. ඒත් ඔහු ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරනවා. ඔහු සමහර විට පණ්ඩිතමානීව කියන්න පුළුවන් ඔහු එය විශ්වාස කරන්නේ නැති බවත් එය දැනුමක් බවත්. රාජිතට දැනුම හා විශ්වාසය අතර වෙනස කියා දෙන්න පුළුවන් ද?



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය සභවෙන් කාලෝ ඉවත් කිරීමක් ගැන කතා කරනවා. මා දන්නා තරමින් වෛද්‍ය සභාවේ සභාපති ලෙස කාලෝ පත්කර තිබුණේ 2017 ජනවාරි වන තෙක් පමණයි. ඔහුට ඉන් පසු රාජිත සේවා දිගුවක් ලබා දුන්නා. එසේ කෙළේ ඇයි ද කියා අප දන්නේ නැහැ. රාජිත තමන් ප්‍රජාතන්ත්‍රවාදියකු බව පෙන්වීමට එසේ කළා ද? ඒ සේවා දිගුව මාස තුනකට ද? එසේ නම් දැන් ඒ දිගුව අවසන්. කාලෝ එහෙම නම් දැන් වෛද්‍ය සභාවේ සභාපති නො වෙයි. ඔහු ඉවත් කිරීමේ ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. දිගුව මාස හතරකට හෝ වැඩි ගණනකට හෝ නම් කාලෝ තාමත් සභාපති. රාජිත ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය අවස්ථාවේ දී කළ යුතුයි.  



ඊනියා යුද්ධයකින් තාවකාලික ව විසඳූ ප්‍රශ්නය කුමක් ද කියන එක නම් රාජිත වහාම ප්‍රකාශ කළ යුතුයි. ඔහුට එය කල් දැමීමට බැහැ. දැන් මේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න යන්නේත් මොකක් දෝ ප්‍රශ්නයක් විසඳීමටලු. ඒ්ත් ඒ ප්‍රශ්නය මොකක් ද කියලා රනිල්වත් සම්බන්ධන්වත් කියන්නෙ නැහැ. ප්‍රශ්නයක් නැතිව විසඳුම් දෙන එකම රට ලංකාව වෙන්න පුළුවන්!  



1948 නිදහසෙන් පසු මේ රටේ යුද්ධයක් තිබුණෙ කවද ද? 1953 දී ද? 1971 දී ද? 1987 -90 කාලෙ ද? ඒ කාලවල යුද්ධ තිබුණෙ නැත්නම් 2009 දක්වා අවුරුදු තිහක් පමණ යුද්ධයක් තිබුණෙ කෙසේ ද? 1987 –- 90 කාලෙ ප්‍රා සංවිධානය ජ වි පෙ සාමාජිකයන් යැයි හිතූ අය මරා දමපු හැටි රාජිත දන්නවා ද? අනෙක් පැත්තට ජ වි පෙ සාමාන්‍ය ජනයා මරපු හැටි දයලෙක්තිය දන්නව කියන ලාල්කාන්ත දන්නවා ද? රාජිත නම් ලාල්කාන්ත ගැන ඉහළින් කතා කරන්නෙ නැහැ. ඒ කොහොම වුණත් ඒ කාලවල යුද්ධයක් තිබුණ බවක් කවුරුවත් කියන්නෙ නැහැ. යුද්ධාපරාධ ගැන කියන්නෙත් නැහැ.



ඇතැමුන් තිස් අවුරුදු යුද්ධයක් ගැන කිවුවත් ඒ කාලෙත් යුද්ධයක් තිබුණෙ නැහැ. 1987-90 කාලෙ යුද්ධයක් තිබුණෙ නැත්නම් තිස් අවුරුදු යුද්ධයක් ගැන කියන්නෙ කොහොම ද? මේ අවස්ථා දෙකේ ම සිවිල් යුද්ධ හරි වෙන මොනව හරි යුද්ධ තිබුණෙ නැහැ. අවිගත් ත්‍රස්තවාදී කණ්ඩායම් පරාජය කිරීමට හමුදා මෙහෙයුම් පමණයි තිබුණෙ. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට කරන හමුදා මෙහෙයුම් යුද්ධ වෙන්නෙ කොහොම ද? මෙරට බොහෝ දෙනකුට වගේ ම රාජිතටත් සංකල්ප ගැන නිරවුල් අවබෝධයක් නැහැ. හමුදා මෙහෙයුම්වලින් කොටි සංවිධානය පරාජය කරන්න බැහැ කියලා කියපු අය අතර රාජිතත් සිටියා. රාජිතලාත් පරාජය කරමින් හමුදා මෙහෙයුම්වලින් කොටි ත්‍රස්තවාදය පරාජය කෙරුණා.   



ඒ මෙහෙයුම් මගින් අවසානයේ දී පරාජය වුණේ මුළු මහත් දෙමළ ජාතිවාදය ම. රාජිත දෙමළ ජාතිවාදයෙ ඉතිහාසය දන්නෙ නැහැ. ඔහු බණ්ඩාරනායක මහත්තය හා මැතිණිය ගැන මොනවා කිවුවත් ඔහුගෙ දේශපාලන ගුරුවරයා කුමාර් රූපසිංහ. කලක් චන්ද්‍රිකාගෙ මස්සිනා. රූපසිංහ සිංහල විරෝධියෙක්. බොරු සමාජවාදියෙක්. ඔහු තමයි ජනවේගය කල්ලියෙ ලොක්කා. රාජිතත් ජනවේගයෙ හිටියා. රූපසිංහලා, සුනේත්‍රලා, පාකියසෝතිලා, චන්ද්‍රිකාලා රාජිතලා සිංහල විරෝධීන්. රාජිත දෙමළ ජාතිවාදයෙ ඉතිහාසය ගැන දන්නෙ නැත්තෙ ඒකයි. ඉංගිරිසින් අනුග්‍රහය දක්වා ආරම්භ කළ  දෙමළ ජාතිවාදී දේශපාලනය 1833 ඉඳලා ක්‍රියාත්මක වුණා. ඒක විවිධ අවස්ථා පසු කළා. රාමානාදන්ලා, අරුණාශලම්ලා, පොන්නම්බලම්ලා, චෙල්වනායගම්ලා, ප්‍රභාකරන්ලා මේ ක්‍රියාදාමයේ විවිධ පුරුක්. පළාත් සභාත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් නැති ප්‍රශ්නයකට දුන් ව්‍යාජ විසඳුම්.  

               

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඒ සියල්ල අවසන්. හමුදා මෙහෙයුම් කියන්නෙ දේශපාලන විසඳුමක්. දෙමළ ජාතිවාදයට දේශපාලන විසඳුමක් දීලා ඉවරයි. දහතුන දැන් දේශපාලන වශයෙන් පරාජය වශයෙන් පරාජය කෙරිලා. දැන් කරන්න තියෙන්නෙ දහතුන ව්‍යවස්ථාවෙන් ඉවත් කරන එක විතරයි. රාජිතටවත් පාදෙණියටවත් කාලෝටවත් ඕව තේරෙන්නෙ නැහැ. ඒ ගොල්ලන්ට ඇරිස්ටෝටලීයට න්‍යායටවත් එකඟ ව හරියට තර්ක කරන්න බැහැ. 









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org  



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 12