Main Logo

Tuesday 18 April 2017

ආණ්ඩුව පළවා හැරීම  




ආණ්ඩුව පළවා හැරීම



මේ ආණ්ඩුව පළවා හැරිය හැක්කේ කෙසේ ද? ඒ සඳහා තව කොපමණ කාලයක් බලා සිටිය යුතු ද? මේ ආණ්ඩුව යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? අප මේ ප්‍රශ්න අසන්නේ පළමු වතාවට නොවන බව මේ ලිපි සිහි බුද්ධියෙන් කියවන අය දන්නවා. එහෙත් ප්‍රශ්නයට අද ඊයේ අත ගැසූ අයට නම් ඒ කිසිවක් ගැන දැනුමක් නැහැ. ඇතැමුනට  ආණ්ඩුව පළවා හැරීමේ වුවමනාව මතු වී ඇත්තේ දැන්. බොහෝ විට වන පරිදි ඔවුන් පසුව අවදි වී ප්‍රශ්නය අතට ගන්නවා. අතට ගෙන අවුල් කරනවා. සයිටම් ප්‍රශ්නයත් එසේමයි. රාජිත හා කිරිඇල්ල නොසිටින්නට ප්‍රශ්නය මෙතරම් අවුල් වන්නේ නැහැ.




ආණ්ඩුව පළවා හැරීමේ සංවාදය අප පටන් ගත්තේ ආණ්ඩුව වැඩ අරඹා වැඩි කලක් යන්නට මත්තෙන්. අපට එයට හේතුවක් තිබුණා. අප වැඩ කෙළේ ප්‍රවාදයකට, කතන්දරයකට අනුව. එදා යුග පෙරළි කාරයන් අද රනිල්ට විරුද්ධව පෙරළි කළත් ඔවුන් රෝ සංවිධානයේ ඉත්තන් ලෙස එදා කටයුතු කටයුතු කළා. බටහිරයනුත් ඉන්දියාවත් මේ ආණ්ඩුව පත් කර ගත්තේ ප්‍රධාන වශයෙන් ම දෙමළ ජාතිවාදයට කප්පන් දී ඔවුන් සනසන ව්‍යවස්ථාවක් ඇති කිරීමට. අනෙක් සියල්ල ද්විතීයිකයි. බොහෝ දෙනකු ඒ බව එදා තබා අදවත් තේරුම් ගන්නේ නැහැ. නව ව්‍යවස්ථාව ඇති කිරීමට කලින් ආණ්ඩුව පෙරළිය යුතුය යන අදහසේ අප සිටියා.



මේ ආණ්ඩුව යනු එ ජා ප ආණ්ඩුවක්. එ ජා පක්‍ෂයට තනියම ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි නිසා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊනියා ජාතික ආණ්ඩුවකට පදනම දා ගත්තා. මෙය ශ්‍රී ල නි ප –- එ ජා ප ආණ්ඩුවක්, සම්මුතිවාදී ආණ්ඩුවක්, ජාතික ආණ්ඩුවක් ආදී වශයෙන් කීම පට්ටපල් බොරුවක්. රනිල්ට සම්ම ජාතියේ ඡන්දයෙන් ජනාධිපති වීමට නොහැකි නිසා රෝ ඔත්තු සේවය ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල තෝරා ගත්තා. ඔහුට ශ්‍රී ල නි ප ඡන්ද ලැබුණේ නැහැ. ඔහුට ලැබුණේ එ ජා ප, දෙමළ ජාතික සංධාන, මුස්ලිම් කොංග්‍රස් ඡන්ද හා තවත් දෙමළ මුස්ලිම් ඡන්ද හා ජ වි පෙ, ජාතික හෙළ උරුමය ඡන්ද. තරුණ ඡන්දත් යම් ප්‍රමාණයක් ද ඔහුට ලැබුණා. මෛත්‍රිපාල ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ල නි ප මැරුණා. ඇතැමුන් මෛත්‍රිපාල සමග ආණ්ඩුවට එකතු වුණා. එහෙත් මහා මැතිවරණයේ දී තරග වැදුණේ එක්සත් ජනතා නිදහස් සංධානය ලෙසයි. මැතිවරණයෙන් එ ජා පෙරමුණට බහුතරයක් නොලැබුණත් මෛත්‍රිපාල රනිල් අගමැති ලෙස පත් කළා. පසුව සංධානයේ යම් පිරිසක් එ ජා ප සමග ආණ්ඩුව හැදීමට එකතු වුණා. ඔවුන් හැදුවේ එ ජා ප ආණ්ඩුවක් බව රනිල් වැඩි කලක් යන්නට පෙර පෙන්නුම් කළා.



එ ජා ප ආණ්ඩුව රනිල් වටා පවතිනවා. මේ ආණ්ඩුව පළවා හැරීමට නම් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. ආණ්ඩුව පත් වී මාස කිහිපයක් යෑමට පෙර ම අප මහින්ද අගමැති කරමු යනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. සුපුරුදු පරිදි ජනමාධ්‍ය එයට ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. ඔවුන් හිතන්න ඇති එය ප්‍රායෝගික නැහැ කියා. එහෙත් ව්‍යවස්ථානුකූල ව ඒ කළ හැකි බව අප පෙන්වා දුන්නා. එය කිසිවකුගේ අවධානයට ලක් වූයේ නැහැ. දැන් නම් ටික ටික ඒ ගැන අවධානයක් තිබෙනවා. රනිල් අගමැති කමෙන් ඉවත් කර ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒ අන්තර්කාලීන ආණ්ඩුවක් විය යුතු බව අප කිහිප වතාවක් ම කියා තිබෙනවා.



ඒ කළ හැකියි. එහෙත් එය කළ හැක්කේ මෛත්‍රිපාලට පමණයි. ඔහු විශ්වාස කළ හැකි පුද්ගලයකු නොවූවත් අද රනිල් ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න පුළුවන් එකම එක පුද්ගලයා මෛත්‍රිපාල. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ට විවිධ බලාපොරොත්තු තියෙනවා.  සමහරු 2020 දී ජනාධිපති වීමට බලන් ඉන්නවා. තවත් සමහරු 2025, 2030 ආදී වශයෙන් බලන් ඉන්නවා. තව තව අයට විවිධ බලාපොරොත්තු තිබෙනවා. අද හෙට රනිල් ඉවත් කිරීමක් ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. තවත් සමහරු බැඳුම්කරය, සයිටමය ආදිය හරහා ආණ්ඩුව පෙරලන්න බලන් ඉන්නවා. මේවා සිහින පමණයි. මේ රටේ මිනිසුන් පාරට බහින්නේ ඇඟට දැනෙන හා විසඳුමක් ලබාගත හැකි යැයි සිතන ප්‍රශ්නවල දී පමණයි.



මෛත්‍රිපාල ශක්තිමත් පුද්ගලයකු නො වෙයි. ප්‍රේමදාසත් ඉහළ පවුල් පසුබිමක් තිබූ අයකු නො වෙයි. ඒත් ඔහු තමා විසින් ඉහළට ඔසවනු ලැබූ අයෙක්. ඔහුට ආත්ම විශ්වාසයක් හා ආත්ම ශක්තියක් තිබුණා. මෛත්‍රිපාලගේ ප්‍රශ්නය පවුල් පසුබිම නො වෙයි. ඔහු ජනාධිපති කෙරුණේ වෙනත් අයගේ ව්‍යාපෘතියක් වෙනුවෙන්. රෝ සංවිධානය එහි පිටුපස සිටියා. ඒත් රෝ සංවිධානය අද ඔහුට රනිල් ඉවත් කිරීමට ආධාර කරන්නේ නැහැ. රෝ සංවිධානයට නව ව්‍යවස්ථාව අවශ්‍යයයි. ඒත් මෛත්‍රිපාලට ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට හෝ නව ව්‍යවස්ථාවකට හෝ  එකඟ වෙන්න බැහැ. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ එසේ නොකරන බවට පොරොන්දු වෙමින්.



අද මෛත්‍රිපාලට තම ජනාධිපතිවරණ පොරොන්දුව ඉටු කිරීමට ඇති බාධාව රනිල්. ඒත් මෛත්‍රිපාලට ප්‍රේමදාසට තිබූ ශක්තිය නැහැ. මෛත්‍රිපාල ශ්‍රි ල නි ප මරා දැමීමට කටයුතු කළත් දෙමළ ජාතිවාදයට කප්පන් දෙන රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විරුද්ධව ඔහුට ශක්තිය ලබා දිය යුතුයි. එහි වගකීම ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයට හා ඒ අවට ඉන්න අයට. රනිල් ඉවත් කර ජාතිකත්වයක වූ අගමැතිවරයකු පත් කිරීම අද තව දුරටත් ප්‍රමාද කරන්න බැහැ.  එහි දී පෞද්ගලික බලාපොරොත්තු  ඉටු කර ගැනීමට දේශපාලනය කරන්න බැහැ.  2020, 2025, 2030 ගැන සිහින මවන පෞද්ගලික න්‍යාය පත්‍ර මත දේශපාලනය කරන අයට ඒ කාලය වන තුරු බලා සිටීමට ඉඩ දී අනෙක් අය වහාම ක්‍රියාත්මක විය යුතුයි. නිසි වෙලාවට නිසි තීරණ නොගැනීම කෙතරම් ඛෙදජනක ද යන්න මීතොටමුල්ලෙනුත් පැහැදිලි වෙනවා. රනිල් ඉවත් කිරීම බාලගිරි දෝෂයක් බවට පත් නොකළ යුතුයි. මේ ආණ්ඩුව පළවා හැරීමට රනිල් ඉවත් කිරීම අනිවාර්යයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. 



https://www1.kalaya.org  



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 18