Main Logo

Sunday 2 April 2017

මා සහ ජාතික චින්තන මතධාරීන්  


මා සහ ජාතික චින්තන මතධාරීන්



ජාතික චින්තන මතවාදයක සිටින්නේ යැයි කියන අය සහ මා අතර පරස්පර පැන නැගී තිබෙනවා. රටේ ඉතා විශාල පිරිසකට මා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. සමහර විට මා වැදගත් කිසිම දෙයක් කියා නැතිවා වන්නටත් පුළුවන්. බොහෝ දෙනා අද වස විස නැති ආහාර ගැන කතා කරනවා. කෘෂි රසායනවලට විරුද්ධ වෙනවා. වස විස නැති ආහාර ගැන මෙරට කතාබහ කරන්න පටන්ගෙන බොහෝ කල්. එමෙන් ම මෙරට සාම්ප්‍රදායික පොහොර යෙදීම ගැනත් කලක සිට කතා වුණා. වකුගඩු රෝගය ගැනත් රජරට වාසය කරන ඇතැමුන් මෙන් ම බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුත් සොයා බලා තිබුණා. එහෙත් මේ එකකටවත් ජනමාධ්‍යයෙහි ප්‍රසිද්ධියක් දී තිබුණේ නැහැ.




එයට හේතුව කුමක් ද කියා මට නිශ්චිතව කියන්න බැහැ. එහෙත් රජරට ජනමාධ්‍යවේදීන් ද වකුගඩු රෝගය ගැන දැන සිටියත් ඔවුන්ටත් ජනමාධ්‍යයෙහි ප්‍රචාරයක් ලබා ගැනීමට නොහැකි වුණා. එහෙත් අද දෙරණ නාලිකාව ඒ රෝගය කරට අරගෙන. රතන හිමියන් වස විස නැති පිවිතුරු හෙටක් හදනවා කියා දේශනා කරමින් රට වටා වැඩම කරනවා. මාලබේ පිට්ටුගල ප්‍රියන්තා සේනනායක මහත්මිය නාථ දෙවියන් ආසනික් ආදිය ගැන කීමෙන් පසුයි මේ සියල්ලන්ට පොටක් පෑදුණේ. ඇයත් අද වස විස නැති සහල් නිෂ්පාදනයෙහි මෙන් ම බෙදා හැරීමෙහි ද නිරත වෙනවා. ජාතික චින්තන අදහස්වල සිටින කිහිප දෙනකුත් ඇයට උපකාර කරනවා.



මට නම් ඒ සියල්ලෙහි දී ම අසන්නට ලැබුණේ බැණුම් පමණයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීම ගැන සියල්ලන් ම පාහේ උරණ වුණා. ඔවුන් දැනුම නිර්මාණය කිරීම, අවශෝෂණය කිරීම. අනුකරණය කිරීම ආදිය ගැන අප කියන කිසිම දෙයක් තේරුම් ගත්තේ නැහැ.  මේ ගැන මගේ ලෝකය පොත් පිංචෙත් තියෙනවා. ඒත් හැමෝම වගේ කියන්නෙ අප බටහිර සියළු දේ ම ප්‍රතික්‍ෂෙප කරනවා කියා. අදෘශ්‍යමාන ප්‍රාණියකුගෙන් දැනුම ලබා ගැනීම ගැන අදත් පඬියන් සියලු දෙනා ම හිනාවෙනවා.



දැන් බලාගෙන යන කොට කොටි සංවිධානය හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතු ය හා හැකි ය කියා ජාතික ව්‍යාපාරයෙහි නිරත හැමෝම වගේ කියලා තියෙනවා. ඒක හොඳයි. දහතුන් වැනි සංශෝධනය ඉවත් කර ගැනීමට යැයි කියන කොට අද පඬියන් විරුද්ධ වෙනවා. අද එයට අවස්ථාව නොවන බව යි ඔවුන්ගේ පඬි නිගමනය. ඒ පඬියන් හිතනවා නම් අප මේ ආණ්ඩුවෙන් දහතුන ඉවත් කර ගැනීමට උත්සාහ ගන්නවා කියා එයින් තේරෙන්නෙ ඔවුන්ගෙ පඬි බවේ තරම. අසුවේ දශකයේ අග සිට කොටි පරාජය කළ යුතු ය කියා කියන විට පඬියන් හිතන්න ඇති එ ජා ප හා චන්ද්‍රිකා ලවා එය කරවා ගැනීමට උත්සාහ කරනවා කියා!



අද ජාතික ව්‍යාපාරයත් මාධ්‍ය සංදර්ශන බවට පත්වෙලා. මා ඒ කිසිවකට නැහැ. කිසිවකට අනුබල දෙන්නෙත් නැහැ. ජනමාධ්‍ය කොහොමටත් මට සංදර්ශන පවත්වන්න දෙන්නෙ නැහැ. එ ගැන ජනමාධ්‍යයට ස්තුතිවන්ත විය යුතුයි. සයිටම් ගැන මගේ ස්ථාවරයටත් ජාතික චින්තන මතධාරීන් විරුද්ධයි. ඔවුන් සමහරකු සිතන්නේ මා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට නෙවිල් ප්‍රනාන්දු සමග එකතු වෙලා කියලා හරි මහලු වියේ පසුවන මට දැන් කිසිවක් නොතේරෙන බව හරි. බොහෝ දෙනා හිතන්නේ අප ලිවීම හැර වෙන කිසිවක් කර නැහැ කියා. පැකේජයට විරුද්ධව රට වටේ ගියේ සිංහල කොමිසම (වෑරදි වාර්තාවක් ඉදිරිපත් කළත් ) සංවිධානය කෙළෙත්, පා ගමන් රිය පෙරහැර පමණක් නොව බෝට්ටු චාරිකාවක් ද සංවිධානය කෙළේ ජනමාධ්‍ය ඔස්තාර්ලාවත් ජනතා මිතුරන්වත් නො වෙයි.



ජාතික චින්තන මතධාරීන් අද අප ප්‍රතික්‍ෂෙප කරන්නේ ඔවුන්ගේ වත්මන් වීරයන් මගේ වීරයන් නොවන නිසා. මට එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් අඩු තරමෙන් රටේ ඉතිහාසය ගැන ගවේෂණයක් කිරීමට ඉදිරිපත් නොවීම ගැන නම් කණගාටුයි. ඔවුන් දන්නේ තම වීරයන්ට ආවැඩීම පමණයි. මේ වීරයන් එදා සිටි තැනත් අනාගතයේ ඉන්න තැනත් ගැන මට කියන්න පුළුවන්. ජාතික චින්තන මතධාරීන් කියෙව්වත් නැතත් මා කාලය වෙබ් අඩවියේ ලිපි පළ කරනවා.



මා ක්‍රියාකාරී පක්‍ෂ දේශපාලනයෙන් ඈත්වෙලා අවුරුදු හතළිස්පහකට වැඩියි. ඒත් ඒ ප්‍රතිපත්තියෙන් තාවකාලික ව ඈත් වී 1994 මැතිවරණයේ දී මා ම එ පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒත් මා ම එ පෙරමුණේ සාමාජිකයකු වුණේ නැහැ. මා එසේ ඉදිරිපත් වූයේ චන්ද්‍රිකාගේ පැකේජයට විරුද්ධව ඇයගේ බලය සීමා කිරීමට. එහෙත් කළුතර දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව මට මනාප පන්දහසකට වඩා ලබා දුන්නේ නැහැ.  චන්ද්‍රිකා පැකේජයක් ගෙනෙන බවට අප පළ කළ මතයට එදා බුද්ධිමත් ඔවුන් හිනා වුණා.



කලකට පසු ලබන සඳුදා කොළඹ විශ්වවිද්‍යාලයෙන් බටහිර විද්‍යාවේ ඥනවිභාගය ගැන කතා කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. ජාතික චින්තන මතධාරීන් බොහෝ දෙනකු එයට කැමැත්තක් නැති පාටයි. ඒ පිළිබඳ ව මුහුණු පොතේ චාමර පළ කළ දැන්වීමට ජාතික චින්තන මතධාරීන් කැමැත්ත (ලයික්) පළ කර තිබුණේ නැහැ. සමහර විට ඔවුන් සිතනවා ඇති මාධ්‍ය සංදර්ශන නොපවත්වා ජනමාධ්‍යයෙන් කිසිම ප්‍රචාරයක් ලබා නොදෙන දේශන පැවැත්වීම අමු ම අමු මෝඩකමක් කියා.






මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



 https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 02