Main Logo

Thursday 20 April 2017

ගුරුත්වාකර්ෂණය ධර්මානුකූල ද?


ගුරුත්වාකර්ෂණය ධර්මානුකූල ද?



විදග්ධයන්ට අනුව පුනබ්භවය, සාමාන්‍ය මිනිසුන්ට අනුව පුනරුත්පත්තිය විද්‍යානුකූල ද විද්‍යාත්මක ද විද්‍යාවට එකඟ ද ආදී ප්‍රශ්න අසන පඬියන්ගෙන් අප ද ප්‍රශ්නයක් අසනවා. ගුරුත්වාකර්ෂණය ධර්මානුකූල ද, ධර්මයට එකඟ ද? දැන් මේ ප්‍රශ්නය ඇසූ විගස පඬියන්ට හිනා යන්න පුළුවන්. බොහෝ පඬියන් සාමාන්‍ය පෙළෙන් ඔබ්බට විද්‍යාව හදාරා නැති වුවත් ඔවුන් අසාවි ගුරුත්වාකර්ෂණය ධර්මානුකූල ද වැනි ප්‍රශ්නයක් අසන්නේ ඔළුවේ අමාරුවකින් ද කියා. එසේත් නැත්නම් අප වාඩි වී සිටින්නේ මොළයේ ද කියා. පුනරුත්පත්තිය විද්‍යානුකූල ද කියා අසන්නේ මොළය කොහේ තියෙන නිසා ද?




අප බොහෝ අවස්ථාවල සඳහන් කර ඇති පරිදි අද ලෝකයේ දැනුම් ආධිපත්‍යයේ ඉහළින් ම ඇත්තේ බටහිර විද්‍යාවයි. අද සෑම ප්‍රශ්නයක ම මිනුම් දණ්ඩ සැකසෙන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදය මගින්. බටහිර විද්‍යාව හා දැනුම බටහිර නූතනත්වයේ කොටස්, ඉතාම වැදගත් කොටස්. දහනවවැනි සියවසේ අගභාගයේ සිට බුදුදහම නූතනත්වය අනුව විග්‍රහ කිරීම ආරම්භ වුණා. බුදුදහම නූතනත්වයට යට කෙරුණා. එසේ වූයේ දේශපාලන ව්‍යාපෘතියක කොටසක් ලෙස. බටහිරින් මෙරටට පැමිණි විජාතිකයන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අනුව බුදුදහම විවරණය කළා. ඔවුන්ට නූතනත්වයට ගලපන්න බැරි කොටස් සමහර විට මිථ්‍යා විශ්වාස ලෙස අත්හරිනු ලැබුවා.



රීස් ඩේවිස් යුවළ වැන්නන් අනුගමනය කළ මෙරට බෞද්ධ ධර්මය, සංස්කෘතිය, දර්ශනය හා සම්බන්ධ උගතුන් ද බටහිර දැනුමේ, විශේෂයෙන් ම බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පිළිගත්තා.  බටහිර විද්‍යාව මිනුම් දණ්ඩ බවට පත් කර ගත්තා. බුදුදහම විද්‍යාත්මක ද යන ප්‍රශ්නය පැන නැගුණා. මෙරට උගතුන්ට ඉතාමත් දරුණු ගණයේ හීනමානයක් ඇති කෙරුණා. බටහිර විද්‍යාව සත්‍යය බව පිළිගැනුණා. බටහිර විද්‍යාව දැනුමේ ප්‍රධාන තැනට පත්වුණා. බුදුදහම දෙවැනි තුන්වැනි තැනකට පත් වුණා. බුදුදහම පිළිගැනීමට නම් එය ඊනියා විද්‍යාත්මක විය යුතු යැයි කියැවුණා.



බුදුදහම විද්‍යාත්මක කිරීම සඳහා කාළාම සූත්‍රය විකෘත කෙරුණා. ඒ කාලෝ ෆොන්සේකාට කලින්. කතෝලික පවුලක උපත ලබා ප්‍රධාන කතෝලික පාසලක කතෝලික අධ්‍යාපනයක් ලත් කාලෝ බටහිර විද්‍යාව ඉගෙනීමත් සමග රසල්වාදියකු වුණා. ඔහු රසල් මෙන් අදේවවාදියකු වන්න ඇති. උසස් පෙළ (එකල විශ්වවිද්‍යාල ප්‍රවේශ) පරීක්‍ෂණයෙන් රසායන විද්‍යාවෙන් හා භෞතික විද්‍යවෙන් අසමත් වුවත් කාලෝ වැඩියෙන් ඔහු නොදන්නා භෞතික විද්‍යාව හා ගණිතය ගැන කතාකරන්න පටන් ගත්තා. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට මෙන් ම හින්දු සංස්කෘතියට ද පහර දීම සඳහා තමන් පිළිගන්නේ යැයි කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයට ද පටහැණිව ගිනි පෑගෙව්වා. ඒත් ඔහු කතෝලික පූජකවරුන් කොරුන් ඇවිද්දවීම ආදි දේ ගැන නිහඬ ව සිටියා. කාලෝ කෙළේ කොහොමටත් විකෘත කෙරී තිබුණු කාළාම සූත්‍රයේ එල්ලී බුදුදහම විද්‍යාවට යට කිරීමට උත්සාහ කිරීම පමණයි. රසලුත් මහා ඉහළ ගණයේ දාර්ශනිකයෙක් නො වෙයි. ඔහු ගණිතය න්‍යායට (ලොජික්) ඌනනය කරන්න ගිහින් අසාර්ථක වූ පුද්ගලයෙක්.



ප්‍රංශයේ කාලයක් වාසය කළ වල්පොළ රාහුල හිමි බුදුදහම බටහිර දැනුමට හා ක්‍රිස්තියානි නූතනත්වයට යට කිරීමේ මූලික කටයුත්තක් කළා. උන්වහන්සේ බටහිර උගතුන්ට (බුදුදහම ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් නැහැ. ඒ ටික දෙනාත් වඩාත් උනන්දු වන්නේ මහායානය හැදෑරීමට) පිළිගත හැකි ආකාරයට බුදුදහම විකෘත කළා. පසුව ජයතිලක, කළුපහන, කරුණාදාස ආදී උගතුන් ද බුදුදහම විකෘත කළා. බුදුදහම ඊනියා යථාර්ථවාදයක් බවට පත් කිරීම ගැන මේ සියල්ලන් ම වග කිව යුතුයි. අතක්කාවචර බුදුදහම ඇරිස්ටෝටලීය න්‍යායේ තර්කය යටතට ගැනීමට ඔවුන් උත්සාහ කළා.



මේ උගතුන් පංචෙන්ද්‍රිය ගෝචර දේ ගැන පමණක් විශ්වාස කරන්න ඉගැන්නුවා. එවිට පුනරුත්තපත්තිය විශ්වාස කරන්න බැහැ. පුනරුත්පත්තිය පංචෙන්ද්‍රියට ගෝචර නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර ආදී ප්‍රාඥයන් පුනරුත්පත්තිය පිළිගත්තේ/පිළිගන්නේ නැහැ. එවිට නිවන් අවබෝධය මේ භවයේ දී ම ලබා ගන්න පුළුවන්. හැබැයි නිවන් අවබෝධ නොකරන අයටත් වෙනත් භවයක් නැහැ. එවිට නිවන් අවබෝධය හා අනවබෝධය අතර වෙනස කුමක් දැයි ඇරිස්ටෝටලීය න්‍යායට අනුව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තිස්තුන් කෝටියක් දෙවියන් අපට අහිමි කළ උගතුන් දෙවියන් වහන්සේ තබා ගත්තා. අඩුම තරමින් සෑම දෙයකට ම රේඛීය චින්තනය අනුව ආරම්භයක් නියම කළා. ඔවුන් චක්‍රීය චින්තනය අනුගමනය කෙළේ නැහැ.



එහෙත් මේ උගතුන් නොදන්නා කරුණ නම් බටහිර විද්‍යාවේ ප්‍රවාද හෙවත් කතන්දර පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව. ගුරුත්වාකර්ෂණ බලය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඒත් උගතුන් එය විශ්වාස කරනවා, පිළිගන්නවා. පුනරුත්පත්තිය නොපිළිගන්නා උගතුන් ගුරුත්වාකර්ෂණ බලය පිළිගන්නේ කෙසේ ද? උගතුන් අනෙක් බොහෝ දෙනා තරමටවත් කල්පනා කරන්නේ නැහැ. ඔවුන්ට කල්පනා කරන්න බැහැ. ඔවුන්ට කළ හැක්කේ යම් යම් දේ ඔවුන්ට සාපේක්‍ෂව තේරුම් ගන්න, මතක තබා ගන්න හා ඉදිරිපත් කරන්න (ප්‍රසන්ටේෂන්) පමණයි. අද අධ්‍යාපනයෙන් කරන්නේ එවැනි දේ පුරුදු කිරීමයි.



බටහිර දැනුමෙන් මිනිසුන්ගේ හැඟීම් නැති කරනවා. මා කියන්නේ රස විඳීම ගැන නො වෙයි. උගතුන්ට ප්‍රශ්න ඇඟට ගැනීමෙන් වළකින්න පුරුදු කරනවා. ඊනියා වාස්තවික තීරණ ගැනීමට පුහුණු කරනවා. මීතොටමුල්ල ගැන වග කිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නො වෙයි. ප්‍රශ්න ඇඟට නොගන්නා නිලධාරීන් ද වග කිව යුතුයි. ඔවුන්ට බුදුදහම, ධර්මය මිනුම් දණ්ඩක් නො වෙයි. එකල මිනුම් දණ්ඩ වූයේ ධර්මය. අද මිනුම් දණ්ඩ වෙලා තියෙන්නෙ පංචෙන්ද්‍රිය ගෝචර නොවන බටහිර දැනුම. නිලධාරීන් තීරණ ගන්නේ ධර්මයට එකඟ ව නොව ලිපි ගොනුවලට හා රෙගුලාසිවලට එකඟ ව. ඊනියා බුද්ධිමතුන් තීරණ ගන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එකඟ ව.



ඔවුන් සියල්ලන්ට ම පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව ඊනියා වාස්තවික දැනුමක් බවට පත් වෙලා. ධර්මය යට ගිහිල්ලා. ඔවුන් සම්ප්‍රදායානුකූල ව පන්සල් යනවා ඇති. දන් දෙනවා ඇති. ඒත් ඔවුන්ගේ හිත්වල ධර්මය නැහැ. හිත්වල ඇත්තේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම. ඔවුන් පුනරුත්පත්තිය විද්‍යාත්මක ද කියා අහන්නෙ ධර්මය පන්සලේ කුණු ගොඩට නොව මීතොටමුල්ලේ කුණු කන්දට විසිකර. කුණු කන්ද ගිලා බහින්නේ ජනතාව මරා ගෙන. ඒත් නිලධාරීන් උගතුන් ලිපිගොනු අස්සේ. කුණු කන්ද ගිලා බැස්සේ ගුරුත්වාකර්ෂණය නිසා කියලා ඕන නම් ඇඟ බේරා ගන්න පුළුවන්.  අප මේ සියල්ලන්ගෙන් ප්‍රශ්නයක් අසනවා. ගුරුත්වාකර්ෂණය ධර්මානුකූල ද?







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. 



https://www1.kalaya.org  



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 20