Main Logo

Sunday 16 April 2017

කුණු ප්‍රශ්නයට වග කිව යුත්තෝ  


කුණු ප්‍රශ්නයට වග කිව යුත්තෝ



මීතොටමුල්ල කුණු කන්දට යට වී ජනතාව මිය යෑම ගැන කණගාටුයි. ඒත් ඒ කණගාටුවෙන් ඒ ජනතාවට වැඩක් නැහැ. ඒ ජීවිත ලබා දෙන්න කිසිවකුට බැහැ. ඒ ජීවිත හානියට වග කිව යුත්තේ කවු ද?  දේශපාලනඥයන්, නිලධාරීන් ආදීන් මෙන් ම ජනතාවත් එයට වග කිව යුතුයි. අප සියලු දෙනාම වග කිව යුතුයි. මේ තමයි ඊනියා දියුණුව. ශිල්ප දන්නා අයට වැදගත්කමක් නොදී ශාස්ත්‍ර නොදැන ශාස්ත්‍ර ගැන පුරසාරම් දොඩන අය මෙයට වග කිව යුතුයි.


මේ ලෝකයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාව නො වෙයි. මෑතක දී ඊනියා තුන්වැනි ලෝකයේ තවත් රටක කුණු කන්දකට යට වී ජනතාව මිය ගියා. දැන් ඔවුන්ට එය අමතක වී ඇති. අපටත් මීතොටමුල්ල ටික දිනකින් අමතක වේවි. ඉස්සර අපේ රටවල කුණු කඳු තිබුණේ නැහැ. අදට වඩා ජනගහණය වැඩි කාල මෙරට තිබී තියෙනවා. ඒ කාලෙ කුණු තිබුණෙ නැද්ද? සුද්දන්ගෙ කාලෙත් අනුරාධපුරේට එකතු වුණු මහා සෙනග තමන් ආපසු ගම් රටවල් බලා යන්න ඉස්සර හිටපු තැන් සුද්ද පවිත්තර කරල ගියයි කියලා සුදු නිලධාරීන්ගෙ වාර්තාවල ම සඳහන් වෙනවා. අපට ඉතා මැතක් වන තුරුම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලැබුණු පිළිවෙළක් තිබුණා. දැන් ඒ පිළිවෙළ නැහැ. ඒ විතරක් නම් කමක් නැහැ. අපට බටහිරයන්ගේ පිළිවෙළත් නැහැ.


අපේ වත්මන් දියුණුවේ ආකෘතිය බටහිරයන්ගෙන් ලැබුණු එකක්. ඒ අප මත පටවනු ලැබූ එකක්. අපට පිළිවෙළකට රථවාහන පදවන්න බැහැ. අප බටහිරයන්ගේ පිළිවෙළ අරගෙන නැහැ. අප වේගයෙන් දියුණු වෙන්න හදනවා. ඒ කියන්නෙ වේගයෙන් බටහිර දියුණුවේ ආකෘතිය පසු පස යනවා. බටහිරයන් අද ඉන්නා තත්වයට පත් වුණෙ අවුරුදු තුන් හාරසීයක් ගිහිල්ලා. බටහිර රටවල කුණු ප්‍රශ්නය නැහැ. අප ඔවුන්ගේ විසඳුම ගන්නෙ නැත්තෙ ඇයි? ගන්න බැරි නිසා ද? ඒ සඳහා මුදල් නැද්ද? අප අනුකාරකයන් නොවේ යැයි ඊනියා ශාස්ත්‍රවන්තයන් සිතන නිසා ද?


බටහිරයන්ගෙ විසඳුම් ගණනාවක් තිබෙනවා. කුණු වර්ග කරලා ඔවුන් විශේෂ ක්‍රියාමාර්ග ගන්නවා. පසුගිය දා ලංකාවෙත් කුණු වර්ග කරන්න පියවර ගත්තා. කවුරු හරි බටහිර රටවලින් ඉගෙන ගත්ත දෙයක් මෙහෙ කරන්න ලැහැස්ති වෙන්න ඇති. ඒත් ඔය බටහිර දිහා බලාගෙන පාරෙ කහ ඉරි සුදු ඉරි කරනවා වගේ අනෙක් දේවල් කිරීම ලෙහෙසි නැහැ. අපට ගැලපෙන ක්‍රමයක් සකස් කරන්න ශිල්පත් බැරි ශාස්ත්‍රත් බැරි ඊනියා ශාස්ත්‍රවන්තයන්ට බැහැ. අලුත් අවුරුදු නැකැත් සියල්ල බටහිර දෙස බලා අනුගමනය කරන ආකාරයට සකස් කර ගත්ත නම් හොඳ ද කියලත් හිතෙනවා. කොහොමටත් මේ අවුරුද්ද නම් හොඳ වෙන පාටක් නැහැ.

කුණු කන්ද මීතොටමුල්ලෙන් ගෙන යනවට ඒ ප්‍රදේශයෙ අය පක්‍ෂ වේවි. කොළඹ කුණු මීතොටමුල්ලෙ දාන්නෙ නැතිව වෙනත් තැනක දානවට ඒ අදාළ ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වේවි. මීතොටමුල්ලෙ කුණු කන්ද වෙනත් තැනකට ගෙනියලා ප්‍රශ්නෙ විසඳන්න බැහැ. ඒකෙන් වෙන්නෙ වෙනත් ප්‍රශ්න හැදෙන එක. කොහොමත් කුණු කඳු ගහන එක අර ඩෙංගු මදුරුවාට සුභ ද? හිස් ඉඩමක කුණු ටිකක් දැක්කම ඩෙංගු මදුරුවන් එනවයි කියලා ඩෙංගු නිලධාරීන් ඉඩම් අයිතිකාරයට නඩු පවරන්න හදනවා. නිලධාරීන්ට කුණු දාන මිනිසුන් අල්ලගන්න බැහැ. ඩෙංගු මදුරුවන්ට මීතොටමුල්ල පෙනුනෙ නැද්ද? ඩෙංගු නිලධාරීන්ට කුණු දාන අය පේන්නෙ නැද්ද? මීතොටමුල්ලට කොළඹ කුණු දාන්නෙ හොරෙන් ද?  කොළඹ මහ නගර සභාව මේ ගැන මොකුත් දන්නෙ නැද්ද? ඩෙංගු මදුරුවා පිිරිසිදු ජලයට කැමති කියලයි ඒ දවස්වල කිවුවෙ. දැන් බටහිර විද්‍යාඥයන්ට අනුව ඩෙංගු මදුරුවන් අපිරිසිදු තැන් හොයනවා ද? පඬියකු කියන්න බැරි නැහැ ඩෙංගු නොවෙයි ඩෙංගි කියලා. එහෙම කිවුව ම ප්‍රශ්නෙ විසඳේවි!

කුණු ප්‍රශ්නයට බටහිර රටවල් දී ඇති විසඳුම් දෙන්න අපට සල්ලි නැද්ද? බටහිරයන්ගෙ දියුණුව ම දේශපාලනඥයන්ට, නිලධාරීන්ට හා ජනතාවට ඕන නම් බටහිරයන් ක්‍රමයෙන් මේ තත්වයට ආපු හැටි ඉගෙන  ටිකෙන් ටික ඊනියා දියුණුව කරා අපට ඔරොත්තු දෙන වේගයකින් යන්න ඕන. කොහොමටත් පිටරට සවාරියක් ගහල විසඳුම් හොයන ශිල්ප නොදන්නා ශාස්ත්‍රවන්තයන් ද නොවන අයට ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැහැ. බටහිර දියුණුව අත්පත් කර ගැනීමට යෑමේ විපාක අද මීතොටමුල්ලෙ ජනතාවට විඳින්න වෙලා. ඒ ඔවුන්ගෙ වරදකට නො වෙයි. කුණු ප්‍රශ්නයට විතරක් නොවෙයි ගංගා ඇළ දොළ ආදී වශයෙන් පරිසර දූෂණයට යොමු වුණු පරිසර ඝාතකයන් ද බිහි වී ඇත්තේ ළදරු බටහිර දියුණුවේ ආකෘතිය අනුගමනය කරන්න ගිහින්. ඔවුන් අඩුම තරමෙන් බටහිරයන් දැන් අනුගමනය කරන ක්‍රම දන්නෙ නැහැ. මා එයින් කියන්නෙ ඒ ක්‍රමවලින් අවසානයේ දී වැඩක් වෙනවයි කියන එක නො වෙයි. 


කුණු ප්‍රශ්නයට විසඳුම් මේ රටෙන් ම හොයා ගන්න පුළුවන්. ඊනියා ශාස්ත්‍රවන්තයන් ශිල්පීය හැකියාවන් ඇති තරුණයන්ට වැදගත්කමක් දෙනවා නම් ඒ තරුණයන් ප්‍රශ්නයට විසඳුම් දේවි. ඔවුන් බටහිර විද්‍යාවට අනුව වුවත් කුණු ශක්තිය බවට පත්කිරීමට ක්‍රමයක් කියලා දේවි. ඒත් ඔවුන්ගෙන් සහතික ඉල්ලන්න නම් සූදානම් වෙන්න එපා. මෙරට ප්‍රශ්න බොහොමයකට හේතුව දේශපාලනඥයන්ටත් වඩා සහතික ලත් උගතුන්.






මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.  

https://www1.kalaya.org  



නලින් ද සිල්වා

2017 අප්‍රේල් 16