Main Logo

Saturday 15 April 2017

සුපිරි බෝම්බයේ මානව අයිතිවාසිකම්


සුපිරි බෝම්බයේ මානව අයිතිවාසිකම්



එක්සත් රාජ්‍ය ඇෆ්ගනිස්ථානයේ යම් ප්‍රදේශයකට මහා විශාල බෝම්බයක් අත් හැරලා. ඒක න්‍යෂ්ටික නොවන වඩාත් ම භයානක බෝම්බය ලෙස හැඳින්වෙනවා. බෝම්බවල මාතාව නමින් ද එය හඳුන්වනවා. මාතාව කියන එක අපේ සංස්කෘතියෙ නම් උපරිම කැප කිරීම, සෙනෙහස ආදී ගුණාංග සමග බැඳුනක්. අප ඒ සංකල්පය බෝම්බ සමග යොදා ගන්නේ නැහැ. එහෙත් බටහිරයන්ට ඒ ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් මාතාව යන්න යොදා ගන්නේ වෙනත් අර්ථ සමග. සංස්කෘතික දෙකක වෙනස ඒ උදාහරණයෙනුත් පේන්න තියෙනවා.




ඒ කොහොම වුණත් මේ බෝම්බ හෙළීම මගින් අයිසිස් ත්‍රස්තවාදීන් යම් පිරිසක් මිය ගොස් ඇතැයි කියනවා. බෝම්බ දමන්න ඇත්තේ ත්‍රස්තවාදීන් එල්ල කරගෙන. අද මුළු මහත් ලෝකයට ම ත්‍රස්තවාදීන් තර්ජනයක් පමණක් නොව කරදරයක් ද බවට පත් ව තිබෙනවා. සාමාන්‍ය ජනයාත් ත්‍රස්තවාදයෙන් මිය යනවා. අපට ත්‍රස්තවාදය හොඳහැටි පුරුදුයි. ජ වි පෙරමුණේ ත්‍රස්තවාදයෙන් අප දෙවතාවක් බැට කෑවා. ඔවුන් පහර දුන්නේ පොලීසියට (විජේවීරගේ එක් රැයින් පොලීසිවලට පහර දී බලය ලබා ගැනීමේ  ප්‍රයත්නය) හා හමුදාවට පමණක් නො වේ. ඔවුන් සාමාන්‍ය ජනයා, භික්‍ෂූන් වහන්සේ ද ඝාතනය කළා. පසුව දෙමළ ත්‍රස්තවාදයෙන් අප බැට කෑවා.



තම අපේක්‍ෂා මුදුන්පත් කර ගැනීම සඳහා රජය සමග කරන සටන්වල දී සාමාන්‍ය ජනයාට හිරිහැර කිරීම ත්‍රස්තවාදය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ හිරිහැර මිනීමැරුම් වීම පමණක් නොවෙයි. ජනතාවට භීතිය ඇති කිරීම, ජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධා පැමිණවීම් ආදියත් හිරිහැර කිරීම්. වැඩවර්ජනය යන්න වැඩකරන අයගේ අයිතියක් වෙන්න පුළුවන්. වැඩ කරන අයට වැඩ නොකර ඉන්නත් අයිතියක් තියෙනවයි කියලයි කියන්නෙ. වැඩ වර්ජනය කියන්නෙත් අත්හැරීමක්. ඒත් එය අපේක්‍ෂා නැති කර ගැනීම සඳහා කරන අත්හැරීමක් නොව තව තවත් අපේක්‍ෂා ඇති කර ගැනීම සඳහා කරන අත්හැරීමක්. එය සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉගැන්වෙන අත්හැරීමක් නො වෙයි.



අද දොස්තරලා හා කොන්දොස්තරලා අනෙක් අයට වඩා  තම අපේක්‍ෂා ඉටු කර ගැනීම සඳහා සාමාන්‍ය ජනයාට හිරිහැර කරනවා. එය කිසිසේත් ම අනුමත කරන්න බැහැ. රෝගීන්ට කරදර කරලා රෝගීන් අනතුරේ දාලා දිනාගන්න දේ මොකක් ද? දොස්තරලා හිරිහැර කරන්නෙ තමන්ට ඉගැන්වීමට කැප කරපු සාමාන්‍ය ජනයාට. දොස්තරලා කියන්න බැරි නැහැ ඔවුන් සටන් කරන්නෙ සාමාන්‍ය ජනතාවගේ දරුවන් වෙනුවන් කියලා. ඒක මහා බොරු කතාවක්. මේ ගැන මා කලින් කරුණු කියා ඇති. බොහෝ දොස්තරලාට, අඩුම තරමෙන් ඔවුන්ගෙ වෘත්තීය සමිති නිලධාරීන්ට නිරවුල් ව හිතන්න බැරි බව නැවත නැවතත් පෙන්වා දෙනවා. 



මා මේ දේ කියන්නේ අප සුද්දන්ගේ සියලු දේ අත්හැරිය යුතුය ප්‍රතික්‍ෂෙප කළ යුතු ය කියන අර්ථයකින් නො වෙයි. සුද්දන්ගේ දෙයක් වුණත් අපේ සංස්කෘතියේ හර පද්ධතිය නැති කර ගන්නෙ නැතිව උරා ගන්න පුළුවන් නම් එහෙම කළාට කමක් නැහැ. අනෙක් අතට අප කර ඇති සමහර දේ සුද්දන්ගේ පිටින් යවන්න ලැහැස්ති වීම අද ඇතැම් ජාතිකවාදීන්ගේ කාර්යයක් බවට පත් වෙලා. නැකැත් විසි හතකට අහස බෙදා චන්ද්‍ර මාස ක්‍රමයක් ඇති කර ගත් අප අධිමාස ඇති කර ගත්තෙ සුද්දන්ගෙ දින දර්ශනයක් අනුව යමින් නො වෙයි. එය සෘතු විපර්යාසය නිසා ඇති කර ගත් දෙයක්. අධිමාස තිබුණෙ නැත්නම් අපට හීතල දුරුත්තක් නැති වෙන්න තිබුණා. බක් මාසෙත් සමහර අවුරුදුවල සීතල වෙන්න තිබුණා. උඳුවප් පෝයට සිරීපාදෙ යන එක නැතිවෙන්න තිබුණ. දැන් ඉන්න තේරුමක් නැති සිංහලයන්ට වගේ නොවෙයි පැරණි සිංහලයන්ට කල්පනාවක් තිබුණා.



අද ලෝකයේ ත්‍රස්තවාදය හැම තැන  ම පැතිරිලා. ත්‍රස්තවාදය නැති කරන්න ඕන. ලංකාවෙ අප නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළා. එහෙම කෙළෙ පඬියන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැයි කියපු කාලෙ. අප ප්‍රභාකරන් ඝාතනය කරපු එක ගැන බටහිරයන්ට හොඳට ම කේන්ති ගියා. ඔවුන්ට අවශ්‍ය වුණෙ ප්‍රභාකරන්ට නිදහස දෙන්න. ප්‍රභාකරන් සයනයිඩ් ගිල්ලෙත් නැහැ. ඔහු නිවටයෙක්. ඔහු යටත් වෙන්න සූදානමෙන් හිටිය බව පැහැදිලියි. ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පස්සෙ බටහිරයන් දෙමළ ජාතිවාදීන් එක්ක එකතු වෙලා ඊනියා මානව අයිතිවාසිකම් නැති කිරීම් ප්‍රශ්නයක් ඇති කළා. මානව අයිතිවාසිකම් නැති කෙළෙ දෙමළ ත්‍රස්තවාදීන්. මිනිස් වළල්ල ආදිය ගැන ඔවුන්ගෙ පාර්ලිමේන්තු නියෝජිතයා වූ සම්බන්ධන් නිහඬයි. ඒ වෙනුවට ඔහු ඉන්දියාවට ගිහින් දෙමළ ජනයා එක්ලක්‍ෂ පනස්දාහක් මැරුවයි කියලා ජාත්‍යන්තර සම්මේලනයක දී කිවුවා. ඒ විපක්‍ෂ නායක ලෙස. ඒ ගැන රනිල් විතරක් නොවෙයි මෛත්‍රිපාලත් නිහඬයි ඒ විතරක් නොවෙයි, ඒකාබද්ධ විපක්‍ෂයත් නිහඬයි.



ඇෆ්ගනිස්ථානයෙ බෝම්බය පිපිරිලා සිවිල් වැසියන් කිසිවකු මිය යන්නෙ නැතිව ඇති. අධිතාක්‍ෂණික බෝම්බයක් නිසා ඒක ත්‍රස්තවාදීන් පමණක් සොයා ගෙන ගොස් ඝාතනයකරන්න ඇති. ජෙනීවා හි හුසේන් කුමාරයා නිහඬ ඒක නිසා වෙන්න ඇති.  මංගල සමරවීරට මේ ප්‍රශ්නය සැප්තැම්බරයෙදි ජෙනීවාහි මතු කරන්න පුළුවන් ද? අයිසිස් ත්‍රස්තවාදය නැති කිරීම ගැන මා එකඟයි. ඒත් ඒකට බටහිරයන් මැදිහත් වෙන්න ඕන ඇෆ්ගනිස්ථානය වගේ රටවල ආරාධනයෙන් පමණයි.  මට ප්‍රශ්නය වන්නෙ හුසේන්ගෙ මානව අයිතිවාසිකම් කතා. හුසේන් අපට මාන අයිතිවාසිකම් ගැන කියනවා. ඒත් කොටි සංවිධානයේ පාර්ලිමේන්තු නියෝජිත දෙමළ ජාතික සංධානයටවත් බටහිරයන්ටවත් හුසේන් මානව අයිතිවාසිකම් ගැන කියන්නෙ නැහැ. මේක දෙබිඩි ප්‍රතිපත්තියක් නො වෙයි. ඒක තමයි ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ ප්‍රතිපත්තිය.







 මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org  



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 15