Main Logo

Thursday 21 February 2019

කවුද ෆ්ස්ට් ජඩමාධ්‍ය


කවුද ෆ්ස්ට් ජඩමාධ්‍ය



සේනා දළඹුවාට මොකද වුණේ. ඌ සලබයෙක් වුණා ද? බිත්තර දැම්ම ද? තවත් දළඹුවො ඇති වුණා ද? මාලදිවයිනට පියාඹලා ගියා ද? බඩඉරිඟු ගොවීන්ගෙ පාඩුව කොපමණ ද? මට තවත් ප්‍රශ්න කිහිපයක් තිබුණා. දළඹුවා හරි සලබයා හරි අත්ලන්තික් සාගරය තරණය කෙළේ කොහොම ද? උගේ මුළු ජීවිත කාලෙට ම පියාඹන්න පුළුවන් කිලෝ මීටර පන්සීයක් කියලයි ඒ දවස්වල විද්‍යාඥයන් යැයි කියන අය කිව්වෙ. තවත් ප්‍රශ්නයක් වුණෙ සේනා දළඹුව ඇති වුණෙ කොහොම ද කියන එක. ඌ ඩාවින්ගෙ පරිණාමවාදයට එකඟ ව බිහි වුණ එකෙක් ද? කෘත්‍රිම ව බිහි කරපු එකෙක් ද?  එහෙම කෘත්‍රීම ව පරීක්‍ෂණාගරයක දී බිහි කරපු එකෙක් නම් ඒකෙ අරමුණ මොකක් ද?




සේනා දළඹුවාට හා බඩඉරිඟු ගොවීන්ට වඩා මධුෂ් වැදගත්. අමල් පෙරේරාත් ඔහුගෙ පුතාත් වෙනුවෙන් පවුලෙ නීතිඥයකු ඩුබායි ගිය බවක් වාර්තා වුණා. අර අන්තරේ හිටපු කැඳවුම්කරු ඩුබායි ගියෙ කා වෙනුවෙන් ද? එක් අයකු වෙනුවෙන් නීතිඥයන් කිහිප දෙනකු පෙනී ඉන්න පුළුවන් කියල නීතිඥයන් නොවන අයත් දන්නවා. ඩුබායි අධිකරණ ක්‍රියාවලියට ලංකාවෙ තරම් කාලයක් ගත වෙන්නෙ නැති වුණත් තරමක කාලයක් ගන්න පුළුවන්. ඒ තරම් කාලයක් අල්ලන් ඉන්න ජනමාධ්‍යයට පුළුවන් ද? මේ ඉස්ලාම් ආගමට ගියොත් මධුෂ්ට සමාව ලැබේවි කියන එක කාගෙ කතාවක් ද? සමාජයීය මාධ්‍යවල කතා දාන්නෙ හොඳ මාතෘකා මගින් කීයක් හරි හොයා ගන්න ද?



අරුලානන්දනුත් දැන් ප්‍රවෘත්ති මවන්නෙක්. ඔහු පළමු වතාවට විහාර මහා දේවි උද්‍යානයට ගිහිල්ල අලුත් අත්දැකීම් ලබල. ඔහු කොළඹ හිටියෙ ම නැද්ද? අපි දන්නෙ කොහොම ද? ජනමාධ්‍යයෙ හා සමාජයීය මාධ්‍යයෙ කියන්නෙ දෙකක්. අරුලානන්දන් ඊළඟට ඉස්සෙල්ල ම කොළඹ එන්නෙ කවදා ද? එදාටවත් ඒ ගැන යමක් දැන ගන්න පුළුවන් වෙයි ද?



ජඩමාධ්‍යයට ඒක දැන ගත්තෙ නැතත් ප්‍රශ්නයක් නැහැ. තව තව මාතෘකා ඒවි. ජඩමාධ්‍යට පැවැත්ම නැති වෙන්නෙ නැහැ. හැමදාම උදේට පත්තර පිටු කියවන්න පුළුවන්. අපිත් ඒව අහගෙන ඉන්නවා. රන්ජන් රාමනායක හැමදා ම වගේ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ඔහු මාධ්‍ය සාකච්ඡාවල දි දුරකතනයෙන් කාට හරි කතා කරනවා. ඔහු ඊයේ වෙනත් උපක්‍රමයක් යොදා ගත්ත. ඔහු වෙනත් අයකුගෙ  මාධ්‍ය සාකච්ඡාවක දී තමන්ට ඇමතුමක් ලබා ගත්ත. ඊළඟ ගමන මොකක් ද කරන්නෙ. වෙනත් දෙදෙනකුගෙ දුරකතන ඇමතුමක රන්ජන්ගෙ නම දෙපැත්තෙන් ම කියව ගන්න මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කරාවි ද?



මේ අස්සෙ බැසිල් වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන පළාත් පාලන, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා. බැසිල් රන්ජන්ට වෙනස්. බැසිල් වඩා කැමති අනෙක් අය ලව්ව තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න. පොහොට්ටුව බැසිල් හදපු පක්‍ෂයක් නො වෙයි. ඒක මහින්ද වෙනුවෙන් මිනිසුන් හදල තිබුණ පක්‍ෂයක්. බැසිල් ඇවිල්ල නමක් දාල සංවිධායකයො ටිකක් අල්ල ගත්ත එකයි කෙරුවෙ. කොහොමටත් ජනමාධ්‍යයට මාතෘකා තියෙනවා. රට අරාජිකත්වයට ගමන් කරනවා.



මේ කවුරුන් නැතත් මැකො නමින් ප්‍රසිද්ධ මැතිවරණ කොමිසමේ සභාපතිත් ජනමාධ්‍යයට මාතෘකා දෙනවා. ඔහුත් සතියකට දෙවතාවක්වත් මුහුණත් තහඩුව රූපවාහිනියෙ ප්‍රචාරය කර ගන්නවා. කාටවත් බැරි වුණා ද මධුෂ්ගෙන් සාකච්ඡාවක් ලබා ගන්න. ඩුබායි ගිහිල්ල හරි කරන්න ඕන දෙයක්. අඩු ගානෙ මධුෂ්ගෙ අනියම් බිරිය කියන තැනැත්තිය සමගවත් සාකච්ඡාවක් කරන්න තිබුණ. අපේ අයට උණු කැවුම් වගේ විකුණන්න තිබුණ.



රන්ජන් රාමනායක සියළු ජනමාධ්‍යවලට වගේ තම සංදර්ශනවලට කැඳවනවා වෙන්න ඇති. ඒ නිසා ඔහුගෙ කතාව ඉස්සෙල්ල ම වාර්තා කෙරුවෙ තමන් කියල කියන්න ජනමාධ්‍යවලට කියන්න බැහැ. ඒ වුණත් අද ජඩමාධ්‍ය ප්‍රතිපත්තිය වෙලා තියෙන්නෙ අපි තමයි ඉස්සෙල්ල ම කිව්වෙ කියන්න උත්සාහ කරන එක. අරක ෆස්ට් මේක ෆස්ට් කියන්න තමයි අද ජඩමාධ්‍ය තම දැන්වීම් හදා ගෙන ඉන්නෙ. කොකේන්වලට වැඩි ම ප්‍රචාරය දෙන්නෙ රන්ජන් ද ජඩමාධ්‍ය ද?



අද ජඩමාධ්‍යවල වැඩියෙන් ම දැන්වීම් ප්‍රචාරය කරන්නෙ තමන් ගැන. අපි මේක කරා අනික කරා කියන එක තමයි ජඩමාධ්‍ය ප්‍රධාන වශයෙන් ම කරන්නෙ. එක් රූපවාහිනී ආයතනයක් තමන් ගැන කියන්නෙ රූපවාහිනී මහගෙදර කියලා. ඔවුන් අනෙක් හැම දෙයක් ම වගේ මහගෙදර කියන සංකල්පය දන්නෙත් නැහැ. අනෙක් ආයතන බිහි කෙරුවෙ අනෙක් ආයතනවල ඉන්නෙ ඒ ආයතනයෙන් ගිය අය හා ඔවුන්ගෙන් පුහුණුව ලැබූවන් ද? 



ජනමාධ්‍ය එස් එම් එස් හෙවත් කෙටි පණිවුඩ මගිනුත් පළමුවැන්නා වීමට දඟලනවා. ඔවුන් පළමු වැන්නා වුවත් නැතත් ඒ පණිවුඩවලට අවසානයේ දී ගෙවන්නේ කවු ද? අර රියැලිටි ෂෝවලට (අපි නොදන්න රියැලිටි) කෙටි පණිවුඩ යැව්ව ම ඒවාට වැඩියෙනුත් එක්ක ගෙවන්නෙ කවුද? ජඩමාධ්‍යවලට මිනිසුන් ගසා කන්නෙ නැතිව පවතින්න පුළුවන් ද? ඊනියා ඇගයීම් (රේටින්) පිටුපස ඇති කතාව කුමක් ද? ජඩමාධ්‍ය වෙළෙඳ දැන්වීම් ලබා ගැනීමට කරන උප්පරවැට්ටි මගින් මිනිසුන්ට සේවයක් කරනවා ද?



කොහොම වුණත් අපට ජනමාධ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා.  ජනාධිපති  මංගල අයින් කරල වෙන කාවද පත් කරන්න යනවා කියලා සමාජයීය මාධ්‍යයෙ තියෙනවා. ඒකත් ප්‍රවෘත්තියක්, හොඳ කතාවක්. ජනමාධ්‍ය ඇමතිගෙ කාර්යභාරය මොකක් ද කියල කාට හරි ජනමාධ්‍යයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ද?



මා මේ සියල්ල කියන්නෙ මට ජනමාධ්‍යයෙ කිසිම තැනක් නැති නිසා ද කියල කාට හරි අහන්න පුළුවන්. ඒක එහෙම කියන අයගෙ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවෙයි.