Main Logo

Wednesday 27 February 2019

කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය


කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය





රනිල් චේතිය රජ්ජුරුවන්ගෙ කවුරුවත් වෙන්න බැහැ. චේතිය රජ්ජුරුවො එක බොරුවක් කිව්වයි කියල නෙ අපි දන්නෙ. රනිල් කිසි දා බොරුවක් කියන්නෙ නැහැ. අහසින් යන්න පුළුවන් වුණු චේතිය රජ්ජුරුවො එක බොරුවක් කියල ඒ බලය නැති කර ගත්තලු. රනිල්ට එහෙම බලයක් නැහැ. ඔහු අහසෙන් යන්නෙ ගුවන් යානාවලින් පමණයි. ඒව කඩන් වැටෙන්නෙ නැහැ. ඒවායෙ වෙන මිනිස්සුත් යනවා. රනිල්ට තනියම ගුවන් යානා පදවන්න පුළුවන් ද? ඔහුට ඒ සඳහා බලපත්‍රයක් තියෙනවා ද? කාගෙන් ද ඒක දැන ගන්න පුළුවන්. චේතිය රජ්ජුරුවන්ගෙන් ද




රනිල් හොඳ කතා කියනවා. රනිල්ට පුළුවන් කතා කියල මිනිසුන් විනෝද කරන්න. ඒකත් එකක් මොකක් හරි දෙයක් කරන එක. අගමැති හැටියට වැඩක් නොකරන වැඩක් කරන්න බැරි රනිල්ට අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්නන්න කියන එක තේරුමක් නැහැ. එහෙම නම් රනිල් ඉස්සෙල්ල අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න ගත්තෙ කොහොම ද? ඔහු අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න ගත්ත කියල අපි දන්නෙ කොහොම ද? සමහරවිට අර්ජුන් මහේන්ද්‍රන් එයාගෙ වුවමනාවට ම එන්න ඇති. එතකොට බැංකුවට ගියෙ කොහොම ද? මිනිහෙකුට බැංකුවට යන්න බැරි ද?



ඒ කාලෙ අර ස්වාධීන කොමිෂන් සභා තිබුණ ද? දහනවයෙන් පස්සෙ තමයි ස්වාධීන කොමිෂන් සභා ඇති වුණෙ. ඊට ඉස්සරත් කොමිෂන් සභා තිබුණ. රනිල්ට අනුව ඒව සුවාදීන මිසක් ස්වාධීන වෙන්න බැහැ. ඉස්සර කොළඹ විශ්වවිද්‍යාලයෙත් සුවාදීන කණ්ඩායමක් තිබුණ. ඒකෙ හිටපු අය අද විවිධ දීනයන් වෙලා. ඔවුන් එදත් දීනයන් තමයි. දැනුත් දීනයන් තමයි. ඔවුන් දැන් ඉන්න තැන් මා කියන්න යන්නෙ නැහැ. එදා අමරසේකරගෙ ජාතික චින්තනේ හිටි අයත් දැන් එක එක තැන්වල. අවුරුදු තිහක් කියන්නෙ පොඩි කාලයක් නො වෙයි. සමහරුන්ට මුණුබුරාලත් ඇති.



අර්ජුන් මහේන්ද්‍රන් ඇවිත් තියෙන්නෙ දහනවයට කලින්. මෙතන තියෙන ලොකු ම ප්‍රශ්නය ඒකයි. දහනවය ගෙනාවෙ 2015 අප්‍රේල් මාසෙ, නීතිගත වුණෙ මැයි මාසෙ බැංකු කොල්ලය සිද්ධ වුණෙ පෙබරවාරි මාසෙ. අද වෙන කොට හරියට ම අවුරුදු හතරක් වෙනවා. අද බැඳුම්කර මංගල්ලෙට අවුරුදු හතර පිරෙන දා පළමු කෝප් වාර්තාව එළිදක්වන්න විධියක් බලමු ද? මා ඒ ගැන උසාවි ගියා. ඒ 2015 අගෝස්තු මැතිවරණයට ටික දිනකට කලින්. ඒත් ඒක එළිදක්ව ගන්න බැරි වුණා. ජනමාධ්‍යයෙ ඒ ගැන වාර්තා වුණෙ නැහැ. සංඛ අමර්ජිත් විතරක් දවසක් ඒ ගැන සඳහන් කළා වගේ මට මතකයි. ඒ 360 වැඩ සටහනක දි ද ඉන් පස්සෙ පෞද්ගලිකව ද කියල මට මතක නැහැ. ඔහු ජඩමාධ්‍යවේදියෙක් නො වෙයි. මා ජඩමාධ්‍යවේදීන්ගේ සුරතලකුත් නො වෙයි.



දැන් නම් ස්වාධීන කොමිෂන් සභා තියෙනවා. ඒ මදිවට පහුගිය දවස්වල පොලීසිය තිබුණෙ දෙනියායෙ සාගලගෙ බාරෙ. මා එහෙම කියන්නෙ අපි දැන් හාමුදුරුවරුන්ගෙ වගේ ඒ ඒ අයගේ නම කියන්නෙ ගමේ නමත් එක්ක නිසා. ඒක ගම ම වෙන්න ඕනත් නැහැ. බිරියගෙ හරි අනියම් බිරියගෙ හරි ගම වුණත් කමක් නැහැ. මාකඳුරෙ මධුෂ් ගැන හිතල බලන්න. පාතාලයත් නම් තියෙන්නෙ බොහෝ විට ගමේ නමත් එක්ක. ඔවුන්ටත් සිංහල බෞද්ධ සම්ප්‍රදායෙන් යමක් ලැබිල තියෙනවා.



රනිල්ට කියන්න වෙන්නෙ කොල්ලුපිටියෙ රනිල් කියල. කුමාරතුංග මුනිදාස මාවතේ එක් පැත්තක් කොල්ලුපිටියෙ අනෙක් පැත්ත කුරුඳුවත්තෙ. ඉස්සර පාසල් නිවාස ක්‍රමය ආරම්භ කරපු දවස්වල ශිෂ්‍යයන් නිවාසවලට දැම්මෙ තමන් පදිංචි වෙලා හිටිය නිවාසෙ තිබුණු ප්‍රදේශය අනුවලු ඒ දවස්වල රාජකීය විදුහලේ සමහර සිසුන් මලල ක්‍රීඩා තරගවල දි මුල් වටයෙ කොල්ලුපිටියෙ නිවාසෙන් තරග කරල අවසාන වටයෙ  කුරුඳුවත්ත නිවාසෙන් තරග කරාලු. අප කුඩා කාලෙ ඒ කතාව කිව්වෙ එකල නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ බලපිටියෙ සිඩ්නි ද සොයිසා. ඔහු මිය ගිහින් තියෙන්නෙ මා ඉපදිල හරියට ම අවුරුදු පනහකට පස්සෙ. ඔහු පාසල් යන කාලෙ එහෙම වුණා කියල තමයි කිව්වෙ. ඔහු 1962 කුමන්ත්‍රණයටත් අහුවුණා. පස්සෙ වෙස්ට්මිනිස්ටර්හි එලිසබෙත් නිසා නිදහස් වුණා. නැහැ කොල්ලුපිටියෙ රනිල්ට එහෙම නිවාස මාරුකරන්න වෙලත් නැහැ.  ඔහු ඔය මලල ක්‍රිඩා තරග වගේ ඒවට සහභාගි වෙලා නැහැ. ඒ කාලෙ බොරු කීමෙ තරග තිබිලත් නැහැ.



කොළඹ විශ්වවිද්‍යාලෙ ලිපිනය තියෙන්නෙ පරිපාලන ගොඩනැගිලි, ඉස්සර රෙජිනා වලව්ව නැත්නම් කොලේජ් හවුස්, තියෙන කොල්ලුපිටියට කොළඹ තුනට. පීඨ තියෙන්නෙ කුරුඳුවත්තෙ කොළඹ හතේ. සමහර සිසුන් වැඩිය හිටියෙ බම්බලපිටියෙ ලයන් හවුස් එකේ කොළඹ හතරෙ. ඒ කාලෙ දැන් වගේ රාත්‍රී සමාජ ශාලා තිබුණෙ නැහැ පාන්දර හතර විතර වෙනකන් ඉන්න. ලයන් හවුස් වහන්න කලින් කවුරුත් ගෙවල්වලට ගියා.



කොහොම හරි දෙනියායෙ සාගලට මහේන්දූන් ගෙන්නන්න බැරි වුණා. පොළොන්නරුවෙ මෛත්‍රිපාලට පුළුවන් වෙයි ද? දැන් දෙනියායෙ සාගලගෙ කාලෙ අල්ලපු නැති කුඩු, මාකඳුරෙ මධුෂ්ලා අහුවෙනවා. ඒවා කාගෙ වැඩ ද කියන එක ප්‍රශ්නයක්. මහනුවර ලක්‍ෂමන් කියන්නෙ නම් ඒව ඒගොල්ලන්ගෙ වැඩ කියලා. දිවුලපිටියෙ රන්ජන් මොනව කියනවා ද දන්නෙ නැහැ. එයා දැනට කොකේන් අධ්‍යයනයක යෙදිලා හුස්මක් කටක් ගන්න වෙලාවක් නැහැ. මැදමූලන මහින්ද හිනහ වෙවී ඉන්නවා. ඔහු කියන දේ කාටවත් තේරෙන්නෙ නැහැ. ඊළඟ ජනාධිපතිවරණය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ගැන මැදමූලන මහින්ද කියන්නෙ මොනව ද කියල කාට හරි කියන්න පුළුවන් ද? ඔය කවුරු මොනවා කිව්වත් මැදමූලන මහින්ද නැත්නම් කොල්ලුපිටියෙ රනිල්ට දහනවයක් නැහැ.



කොල්ලුපිටියෙ රනිල් නම් කියන්නෙ ස්වාධීන පොලිස් කොමිසම නිසා තමයි මේ ඔක්කො ම අහුවෙන්නෙ කියලා. මාස දෙකකට විතර ඉස්සර ස්වාධීන පොලිස් කොමිසම කුඩු අල්ලන්න පොලීිසිය සූදානම් කරන්න ඇති. දැන් තමයි අහුවෙන්න පටන් අරන් තියෙන්නෙ. ඒ කාලෙ දෙනියායෙ සාගල කුඩු අල්ලන එක නැවැත්තුව ද දන්නෙත් නැහැ. දෙනියායෙ සාගල එහෙම කරන එකක් නැහැ. එහෙම කළා නම් කොල්ලුපිටියෙ රනිල් හෙලිකොප්ටරයෙන් දෙනියායට යනවා.



කොල්ලුපිටියෙ රනිල් එතැනින් නවතින්නෙ නැහැ. ඔහු කියනවා දැන් මේ සමහරු මීරිගම කරුණාරත්නට බනින්නෙ එයා ව්‍යවස්ථා සභාවෙ සභපති හැටියට ව්‍යවස්ථා සභාවත් ස්වාධීන කොමිෂන් සභාත් ආරක්‍ෂා කරල කුඩු අල්ලන්න උදවු වෙන නිසා කියලා. කොල්ලුපිටියෙ රනිල් කියන විධියට නම් ගාල්ලෙ වාසුදේවට කුඩු ඕන වෙලා තමයි කුඩු අල්ලන පොලීසිය මෙහෙයවන ස්වාධීන පොලිස් කොමිසම පත්කරන මීරිගම කරුණාරත්නගෙ සභාපතිත්වය යටතෙ තියෙන ව්‍යවස්ථා සභාව විවේචනය කරන්නෙ. කොහොම ද ටිකිරි මොළේ. කවුද කිව්වෙ රනිල්ට වැඩ බැහැ කියලා.