ජනාධිපතිට ඇමති දොළ පිදේනි නැවැත්විය හැකියි
එක්සත් ජාතික පෙරමුණ නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හිලකින් රිංගන්න
හදනවා. මේ වගේ ව්‍යවස්ථාවෙ හිල්වලින් රිංගපු තවත් ආණ්ඩුවක් නැහැ. ඒ වගේ ම මේ වගේ
ජරාජීර්ණ ඇමති පෙරේතයන් හිටපු පාර්ලිමේන්තුවක් නැහැ. අද මතයක් ඇති කරන් තියෙනවා
ඇමති කෙනෙක් වෙන්නෙ නැතිව රටට වැඩක් කරන්න බැහැ කියලා. අද මන්ත්‍රීවරු බොහෝ විට පක්‍ෂ මාරු කරන්නෙ
ඇමතිකම් බලාපොරොත්තුවෙන්. ඒක කරන්නෙත්
ඉලක්කෙන් හතෙන් එහා පැත්තෙ කියැවෙන මුදල්වලට. ඊළඟට ඇමති වෙලත් නිකම් ඉන්නෙ
නැහැ. තවත් හම්බ කරනවා.
මේ ගොල්ලන් ඇමති වුණාට බැරකම් ප්‍රකාශන හරියට ඉදිරිපත් කරන්නෙ නැහැ.
ඒව ඉදිරිපත් කිරීම වැඩක් තියෙන දේකුත් නො වෙයි. කොහොමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ම
හිල් තියෙන එකේ හැම නීතියක ම හිල් තියෙනවා. දක්‍ෂ නීතිඥයන් කියන්නෙ හිල් හොයන්න
දක්‍ෂයන්. නීතියෙන් ඔප්පු කරන්න බැරි නම් යමකු වරද කාරයෙක් නො වෙයි. වරැද්ද ලොකු
වෙන්න වෙන්න සල්ලිත් වැඩියෙන් හම්බ වෙනවා. ඒ සල්ලිවලින් අර දක්‍ෂ නීතිඥයන් මිල දී
ගන්න පුළුවන්. නීතිඥයන් ඉන්නෙත් විකිණෙන්න බලා ගෙන. අපි හැමෝම බලන්නෙ වැඩි මිලකට
විකිණෙන්න. වෘත්තීය සමිතිවල එක කාර්යභාරයක් තමයි තම සාමාජිකයන්ට වැඩි මිලක් නියම
කරන එක. විකුණන කොට බොරු කියනවා.
එ ජා පෙරමුණට අද ප්‍රශ්නයක් වී ඇත්තේ ඇමතිකම් දීම. දැන් කාලෙක ඉඳලා
ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් කැබිනට් නොවන ඇමතිකම් සංඛ්‍යාව එන්න එන්න වැඩි වෙනවා.
ඊනියා රාජ්‍ය ඇමතිල කියල ජාතියක් ව්‍යවස්ථාවෙ නැතිවුණත් තවමත් රාජ්‍ය ඇමතිකම්
දෙනවා. විපක්‍ෂයත් එයට විරුද්ධ නැහැ. ඒ අයත් ඒක යොදා ගන්න බලන් ඉන්නවා. එ ජා පක්‍ෂය
ජනතාව රවටන්න ඇමති මණ්ඩල සාමාජික සංඛ්‍යාව තිහට බැස්සුවා. ඒ අතර ම ඊනියා ජාතික
ආණ්ඩුවක් පිහිටුවල ඇමතිකම් වැඩි කර ගන්නත් දහනවවැනි සංශෝධනයෙන් මග පාදා ගත්ත.
මා කලින් කියල ඇති මේ සමහරුන්ගෙ මව් රටේ, එංගලන්තයෙ ඊනියා ලෝක යුද්ධ කාලෙ ප්‍රධාන පක්‍ෂ එකතුවෙලා ජාතික ආණ්ඩු
හදා ගත්තා. අපේ රටේ ජාතික ආණ්ඩු හදන්නෙ කා එක්කවත් යුද්ධ කරන්න නො වෙයි. මේ රටේ
අවුරුදු සිය ගණනකින් යුද්ධයක් තිබිල නැහැ. එංගලන්තෙ යටත්විජිතයක් හැටියට ඊනියා ලෝක
යුද්ධ කාලෙ අපි ඔවුන්ට සේවය කරල තියෙනවා. එච්චරයි. මෙහෙ ජාතික ආණ්ඩු හදන්නෙ ඇමති
පෙරේතයන්ට දොළ පිදේනි දෙන්න. ඔවුන් කියන්නෙ රටට වැඩ කරන්න ඇමතිලා වෙන්න ඕන කියා.
මොවුන්ට රටට කරන්න පුළුවන් හොඳම සේවය තමයි ඇමති කෙනකු නොවී ඉන්න එක.
අද මේ ඇමති දොළ පිදේනි දෙන්න යොදා ගන්න අනුව්‍යවස්ථාව මේකයි. “(5): (4) වන අනුව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා
පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත්
දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය."
මේ අනුව්‍යවස්ථාව අනුව එ ජා පෙරමුණ වෙනත් පිළිගත් පක්‍ෂ සමග එකතු වී
ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඒක ජාතික ආණ්ඩුවක් වෙනවා. ඒ වුණත් මෙතන කියන්නෙ අනෙක් පක්‍ෂ
එක්ක එකතුව පිහිටුවන ආණ්ඩුවක් කියලා. මේ පක්‍ෂ කියන්නෙ අඩු තරමෙන් පක්‍ෂ දෙකක්
කියන එක ද? එ ජා පෙරමුණට තවත් එක් පක්‍ෂයක් පමණක්
සමග එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් ද? මෙතන ආණ්ඩුවක් පිහිටුවන කියන එකෙන් අදහස් වන්නෙ කුමක් ද?
එයින් කියන්නෙ ආණ්ඩුවක් නැති තැනක ආණ්ඩුවක් පිහිටුවීම ගැන ද? මහින්ද අස්වුණු ගමන් ආණ්ඩුවක් තිබුණෙ නැහැ.
එවිට ආණ්ඩුවක් පිහිටුවන්න ඕන. රනිල් එ ජා පෙරමුණේ ආණ්ඩුවක් පිහිටෙවුවා. දැන් තවත්
ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් ද? මහින්ද අස්වුණු ගමන් ජාතික ආණ්ඩුවක්
පිහිටුවන්න පුළුවන්. එහෙත් ආණ්ඩුවක් පිහිටෙව්වට පස්සෙ තවත් ආණ්ඩුවක් පිහිටුවන්නෙ
කොහොම ද? දැන් තියෙන රනිල්ගෙ ආණ්ඩුව ඉස්සෙල්ල
විසුරුවා හරින්න ඕන ද? ඒක තීරණය කරන්නෙ කවු ද? කතානායක ද? උසාවිය ද? ජනාධිපති ද?
මේ ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවන්නෙ එක් මන්ත්‍රීවරයකු පමණක් ඉන්න පක්‍ෂයක්
එක්ක කියල කියන්නෙ. ඊනියා මව් පාර්ලිමේන්තුවෙ යුද්ධ කාලෙ හිටපු චර්චිල් එක් මන්ත්‍රීවරයකු
සිටින පක්‍ෂයක් සමග හදන ඊනියා ජාතික ආණ්ඩුවක් ගැන කුණුහරුප කීයක් කියාවි ද?
ජාතික ආණ්ඩුවක අමාත්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ
පාර්ලිමේන්තුවෙන්. ඒ 46(4) අනුව්‍යවස්ථාව අනුව. එහෙත් එයින් කරන්න
පුළුවන් අර තිහේ සංඛ්‍යාවට තව කිහිපයක් එකතු කරන එක පමණයි. එහෙත ඒ සමග 43(1) අනුව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ මොන ආණ්ඩුවක වුවත් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව
තීරණය කරන්නේත් ඇමතිවරුන් පත් කරන්නේත් ජනාධිපති බවයි. ජනාධිපති අගමැතිවරයාගේ
අදහස් විමසිය යුත්තේ අවශ්‍යතාව පරිදි. ඒ තීරණය කරන්නේත් ජනාධිපති.
“43. (1) අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන
අවස්ථාවන්හි අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද
අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය.
(2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු
කිරිම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.”
පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් ඊනියා ජාතික ආණ්ඩුවක් හැදුවත් එහි ඇමති
සංඛ්‍යාව තීරණය කරන්න පමණයි. ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇත කියා තීරණය කරන්නත්
අදාළ ඇමති සංඛ්‍යාව තීරණය කරන්නත් පුළුවන් ජනාධිපතිට. අගමැති නිර්දේශ කළ පමණින්
ඇමතිවරුන් පත් කිරීමට ජනාධිපති බැඳී නැහැ. ඒ බව සරත් ෆොන්සේකා ආදීන් සම්බන්ධයෙන්
ඔප්පු වුණා. ඒවා දැන් පූර්වාදර්ශ. පාර්ලිමේන්තුව ඇමති සංඛ්‍යාව හතළිහ කරත්
ජනාධිපතිට අවශ්‍ය නම්
එය තිහටත් අඩුවෙන් තියාගන්න පුළුවන්.
ජනාධිපතිට බැරි නියම කෙරී ඇති සංඛ්‍යාව ඉක්මවා යෑම පමණයි. කොහොමටත් ශ්‍රී ල නි පක්‍ෂයේ
මන්ත්‍රීවරුන්ට ඇමතිකම් නොදෙන බව ජනාධිපති කියා තිබෙනවා. ජනාධිපතිට මේ ඇමති දොළ
පිදේනි නවත්වන්න පුළුවන්. 43(2) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිට අගමැති
උපදෙස් අවශ්‍ය ඇමතිවරුන් පත් කරන්න පමණයි. ඇමතිවරුන් පත් නොකර සිටීමට අගමැති
උපදෙස් අවශ්‍ය නැහැ. ඒ වගේ ම අගමැති උපදෙස් ඉවත දමා ඇමතිවරුන් පත් නොකර ඉන්නත්
පුළුවන්. සරත් ෆොන්සේකා තමයි හොඳ ම ආසන්න උදාහරණය.