Main Logo

Tuesday 5 February 2019

වැඩ බැරි ආණ්ඩුව අස් කරමු




වැඩ බැරි ආණ්ඩුව අස් කරමු



රේගු නිලධාරින් අකුරට වැඩ කරන්නෙ වෘත්තීය කරුණකට. එහි සෘජු දේශපාලනයක් නැහැ. ඇතැම් ඊනියා වෘත්තීයකයන්ගේ වෘත්තීය සමිතියක් මෙන් රේගු නිලධාරීන් මාස්පතා වර්ජනය කරන්නේ නැහැ. එ වෘත්තීයකයන් දේශපාලන පක්‍ෂයක් ම වෙනව නම් හොඳයි. එතකොට ඒකෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියල හිතාගන්න පුළුවන්. ඒ 2019 ජනාධිපතිවරණයෙ දි නො වෙයි. 2024 ජනාධිපතිවරණයෙ දි.




රේගු නිලධාරීන්ගෙ වෘත්තීය සමිති ක්‍රියාව විප්ලවයක් වෙයි කියල සමහරු බලාපොරොත්තුවෙන් ඇති. එහෙම වෙන්නෙ නැහැ. ඒත් මේ  වෘත්තීය සමිති ක්‍රියාව තවත් ඉදිරියට ගියොත් රට ම බඩගින්නෙ ඉන්න පුළුවන්. අපි නැවෙන් කටට ජාතියක්. කාලො ෆොන්සේකා  ඉගෙන ගන්න කාලෙ පොතෙන් පිගානට පිගානෙන් පොතට ප්‍රතිපත්තියෙ හිටිය කියල ඔහු ම කියා තියෙනවා. අපි නැවෙන් කටට මිසක් කටෙන් නැවට ජාතියක් නො වෙයි. හැබැයි අපි හැම වැඩක් ම කරන්නෙ කටින් විතරයි.



චාල්ස් මහත්මිය අවංක සෘජු නිලධාරිනියක් කියල දැන් හැමෝ ම වගේ දන්නවා. මංගල කලිනුත් දන්නවා. මුළු ප්‍රශ්නයට ම හේතුවත් එය බව පැහැදිලියි. ඇමතිවරුන් අවංක සෘජු නිලධාරීන්ට කැමති නැහැ. ඇමතිගෙ ලේකම් කෙනකු ගැන කියැවෙනවා. 2015 ජනවාරියෙ පෙබරවාරියෙ හොයා ගන්න බැරිව සිටි අය කියන එවැනි කතා මා එතරම් ගණන් ගන්නේ නැහැ. ඒ කොහොම වුණත් මේ සිද්ධිය උඩ මංගලට අස්වෙන්න කියන එක තේරුමක් නැහැ. මංගල ඒ ගමන චාල්ස් මහත්මිය සමග සාකච්ඡා කරන්න යනවලු. මොනව සාකච්ඡා කරන්න ද? ඔහු සාකච්ඡා කළ යුත්තේ රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති එක්ක. මා හිතන්නෙ චාල්ස් මහත්මිය මංගල එක්ක සාකච්ඡාවකට නොයා යුතු බවයි. බැරි වෙලාවත් මංගල අස්වුණත් ආණ්ඩුව තිබුණොත් ටික කලෙකින් ආපසු වෙනත් ඇමතිවරයකු හැටියට ආපහු ඒවි. එහෙම නම් රනිල්ගෙ ආණ්ඩුවට අස්වෙන්න කියමු ද?



රනිල් අස්කළත් අස්වෙන අයකු නො වෙයි. මෙහෙම ලජ්ජා නැති ආණ්ඩුවක් ලංකාවෙ නොවෙයි තුන්ලෝකෙ ම තිබිල නැතිව ඇති. පඬියකු අහන්න බැරි නැහැ තුන් ලෝකෙ පංචෙන්ද්‍රිය ගෝචර ද කියලා. මට මේ ලෝකෙත් බොහෝ රටවල් ගැන පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් නැහැ. පඬියන් නම් හැම රටකට ම ගිහින් ඇති. ආණ්ඩුව අස්කරන්න ඕන. ඒත් දෙමළ ජාතික සංධානය නිසා ඒක පාර්ලිමේන්තුවෙ දි කරන්න බැහැ. මේක එ ජා පෙ - දෙ ජා ස ආණ්ඩුවක්. අවශ්‍ය වෙලාවට ජ වි පෙරමුණත් සහාය දෙනවා. අනෙක් වෙලාවට දාසනායක ගිරිය පුප්පගෙන කෑ ගහනවා. ජ වි පෙ අනුගාමිකයො රැවටෙනවා.



ජ වි පෙරමුණත් ඊනියා සිස්ටම් චේන්ජ් පක්‍ෂයක්. ඔවුන්ට පද්ධතිය වෙනස් කරන්නෙ නැතිව කිසිවක් කරන්න බැහැ. ඒක වෙන්න ඕන අර වැව් දාහ පිළිසකර කරන්න බැරි වුණෙ. වැව් හදන්න ගියා නම් කොහොමට හිටීවි ද? ජ වි පෙ පද්ධතිය වෙනස් කරන්නෙ නැහැ. ඔවුන්ට එය කරන්න බැහැ. ඔවුන්ට නෙවෙයි විජේවීර හිටිය නම් ඔහුටවත් ඒ කරන්න බැහැ. ලෙනින්ටත් කරන්න බැරි වෙච්ච එකේ කවුරු කරන්න ද? දෙරණ කරාවි ද? ඒකෙ ප්‍රබුද්ධ මාධ්‍යවේදියොත් නිතර ක්‍රමය වෙනස් කරන්න කතා කරනවා.



රනිල් අස්වීම කෙසේ වෙතත් රැඳෙන්නෙ කොහොමද කියල බලන දේශපාලනඥයෙක්. ඔහු දැන් රැඳීම සඳහා මුස්ලිම් කොංග්‍රසයෙ තනි මන්ත්‍රී එක්ක සහ ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න ලැහැස්ති වෙනවා. ශ්‍රී ල නි පක්‍ෂය කියා එකක් පාර්ලිමේන්තුවෙ නැහැ. නැති පක්‍ෂයක මන්ත්‍රීලා එක්ක ජාතික ආණ්ඩු හදන්න බැහැ. තනි පක්‍ෂයක් එක්කත් හදන්න බැහැ. කොහොමටත් ඊනියා ජාතික ආණ්ඩුවත් හැදුවත් ජනාධිපතිට ඇමතිවරුන් පත් නොකර ඉන්න පුළුවන්.



ඊනියා ජාතික ආණ්ඩු යෝජනාවට පාර්ලිමේන්තුවෙ දි දෙමළ ජාතික සංධානය ඡන්දෙ නොදී ඉන්නත් ඉඩ තියෙනවා. එහෙම වුණත් නැතත් ජ වි පෙ ජාතික ආණ්ඩුවකට පක්‍ෂ වෙන එකක් නැහැ. ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍ය වේදියො හිතන් ඉන්නෙ හොරගොල්ලෙන් ආධාර ලබන් ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන් ද කියලා. හොරගොල්ලෙ පක්‍ෂයක් පාර්ලිම්න්තුවෙ නැහැ. ශ්‍රී ල නි පක්‍ෂයක් පාර්ලිමේන්තුවෙ නැති බව මේ ප්‍රබුද්ධයන් දන්නෙ නැත් ද? එහෙම නැත්නම් ජනතාවගේ කුතුහලය ඇති කරලා තම නාළිකාවට ප්‍රේක්‍ෂකයන් අද්ද ගන්න හදනවා ද?



ජාතික ආණ්ඩුවක් හදා ගන්න බැරි වුණොත් මොකද වෙන්නෙ. දෙමළ ජාතික සංධානයත් අවශ්‍ය විට ජ වි පෙරමුණත් පාර්ලිමේන්තුවේ දි ආණ්ඩුව ආරක්‍ෂා කරාවි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී කියලත් තර්ක කරාවි. පාර්ලිමේන්තුවේ දි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි කියල යෝජනාවක් සම්මත කර ගන්නත් බැහැ. 

ඒත්  ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අවුරුදු හතරහමාරක් ඉන්න ඕන නැහැ. පහුගිය වතාවෙත් මා තර්ක කළෙ 70(1) අනුව්‍යවස්ථාවට යටත් නොවී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒ 3 හා 4 වැනි ව්‍යවස්ථා යටතේ ජනතා පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලතල ක්‍රියාත්මක වෙන්නෙ නැති බව පෙන්වමින්. නීිතිඥයන් එයට නිසි අවධානයක් දුන්නෙ නැහැ. එය නිසි අයුරින් අවධාරණය කළෙත් නැහැ.