මධුෂ්ගෙ මානව අයිතිවාසිකම්
මේ සමාජය ජරාජීර්ණ වී ඇති බව නොදන්න දෙයක් නො වෙයි. මධූෂ් කියන්නෙ මේ
රටට ගැලපෙන මිනිහෙක්. සමහරවිට ඔහු මෙතෙක් මෙරට ජීවත් වූ සාර්ථක ම පුද්ගලයා වන්නත්
බැරි නැහැ. සාර්ථක අසාර්ථක බව මනින්නෙ සමාජයට සාපේක්‍ෂ ව. සමහර රටක, ඒ දැනගත හැකි නම් වඩාත් ම අපායට ගිය අය සාර්ථක
හැටියට පිළිගන්න පුළුවන්. මධුෂ්ට ඩුබායිහි මොනවා වේවි ද කියන්න බැහැ. ඔහුට එහෙ
දඬුවම් කරාවි ද මෙහාට එවාවි ද උදර්පණ නීතිය බලපාන්නෙ කොහොම ද වගේ දේ ගැන අපට
සාකච්ඡා කරන්න පුළුවන්. ඊනියා නීති විශාරදයන්ට ඒ සඳහා අවස්ථා ජනමාධ්‍ය විසින්
සැකසෙනු ඇති. කාට කාටත් තම තමන් අලෙවිකර ගන්න පුළුවන්.
මෙරට දූෂිතයන්ගෙ පාරාදීසයක්. මේ රටේ තියෙන්නෙ දූෂිත අලෙවිකරණයක්.
බටහිර රටවලත් අලෙවිකරණය වැදගත්. අද මුළු ලෝකයෙ ම වැදගත් ම කාරිය තමයි අලෙවිකරණය.
ඒත් බටහිර අලෙවිකරණය ඒ රටවල සමාජ විකාශය හරහා ඇතිවූවක්. ඕනෑම අලෙවිකරණයක් දූෂිතයි.
අලෙවිකරණය සඳහා දූෂණය අත්‍යවශ්‍යයයි. අපේ රටවලට අලෙවිකරණය එන්නෙ බටහිරින්. ඒ සමාජ
විකාශයක ප්‍රතිඵලයක් හැටියට නො වෙයි.
බටහිරින් එන බොහෝ දේ අපට ලැබෙන්නෙ අනුකරණයෙන්. ජාතික චින්තනයත්
අනුකරණයක්. ජාතික චින්තනයත් අලෙවිකරන්න ඕන. අප අනුකරණය කිරීමේ දී බටහිර සංකල්පය
හරි ප්‍රවාදය හරි යම් ප්‍රමාණයකට විකෘත වෙනවා. අලෙවිකරණයෙ කොමිස් දෙන්න ඕන. ඒක
හුඟක් ගණුදෙනුවල කෙරෙන්නක්. ඒ සඳහා සම්මත උපරිම ප්‍රතිශතයක් තියෙනවා. ලංකාවෙ දි ඒ
ප්‍රතිශතය උපරිමයකින් සීමා වන්නෙ නැහැ. මා දන්නචා මට මේ කියන කාරණය අලෙවි කරන්න
බැරි බව. බොහෝ දෙනා කියාවි මේ කියන්නෙ මොකක් ද කියල තේරෙන්නෙ නැහැ කියලා.
මධූෂ් මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ කියල කියන්නෙ. ඔහු තවමත් වරදකරුවකු
වී නැහැ කියල මානව හිමිකම් අයිතිකාරයකු හරි කාරියක හරි කියන්න පුළුවන්. මානව
හිමිකම් කියන එකත් අපට බටහිරින් ලැබී දූෂිත වෙච්ච සංකල්පයක්. බටහිර රටවල මානව
හිමිකම් තියෙන්නෙ රාජ්‍යයට පහළින්. රාජ්‍ය අයිතිවාසිකම්වලට මානව අයිතිවාසිකම්
යටයි. එහෙත් ආණ්ඩු අයිතිවාසිකම්වලට එරෙහි ව තමයි මානව අයිතිවාසිකම් සංකල්පය වර්ධනය
වෙලා තියෙන්නෙ.
බටහිර රටවල ආණ්ඩුව කියන්නෙ එකක් රාජ්‍යය කියන්නෙ තවත් එකක්. ඔවුන්
ආණ්ඩුවට විරුද්ධ ව මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළාට රාජ්‍යයට විරුද්ධව මානව
අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නෙ නැහැ. ලංකාවෙ මානව හිමිකම් අයිතිකරුවන් හා
අයිතිකාරියන් එක හඬින් කියාවි ඔවුන් රාජ්‍යය හා ආණ්ඩුව අතර වෙනස දන්නවා කියා. ඒත්
දන්න බවක් ක්‍රියාවෙන් නම් පේන්නෙ නැහැ. මේ රටේ රාජ්‍ය අයිතිවාසිකම් තියෙන්නෙ
ඔක්කොට ම පහළින්.
ඒකට හේතුවක් තියෙනවා. අපට රාජ්‍යය කියන සංකල්පය නැහැ. අපට තියෙන්නෙ
ආණ්ඩුව කියන සංකල්පය විතරයි. අප රජය කියල කින්නෙත් ආණ්ඩුවට. කුමාරතුංග මුනිදාස
රාජ්‍යය කියන වචනෙට හෙළ වදනක් සැපයුවෙ නැහැ. ආණ්ඩුව තමයි රජය වුණෙ. ඉංගිරිසි
ගවර්න්මන්ට් හා ස්ටේට් කියන වචනවල වෙනස අපට තේරෙන්නෙ නැහැ. ඉස්සර අපට තිබුණෙ රාජ්‍යය
පමණයි. ආණ්ඩු තිබුණෙ නැහැ. ඒ ඒ රජවරු රාජ්‍ය විචාළයෙහි යෙදුණා. අද අපට රාජ්‍යය
නැහැ. ඇත්තෙ ආණ්ඩු විතරයි.
දූෂණ නැති ආණ්ඩුවක් ලංකාවෙ නැහැ. ආණ්ඩුවල දූෂණ අඩුවැඩි වෙන්න
පුළුවන්. අප අපේ ආණ්ඩුවේ දූෂණ නැහැ කියනවා. දූෂණ තියෙන්නෙ අනෙක් ආණ්ඩුවල පමනක්
යැයි අපි කියනවා. මධුෂ් මේ හැම ආණ්ඩුවක් එක්ක ම සම්බන්ධ බවක් පේනවා. ඒ ඒ ආණ්ඩුවල
අය කියන්නෙ තමන් මධුෂ් සමග සම්බන්ධ නැහැ අනෙක් ආණ්ඩු තමයි සම්බන්ධ කියලා. මධුෂ්
හොඳ අලෙවිකරුවෙක්. අලෙවිකරුවන් හැම ආණ්ඩුවක් එක්ක ම සම්බන්ධකම් පවත්වනවා.
මධුෂ්ටත් මනුස්සකමක් තියෙන්න ඇති. ලංකාවෙ මා ගැන දන්නා බොහෝ දෙනකු
හිතන්නෙ මට නම් මනුස්සකමක් නැහැ කියලා. ඒක අනෙක් අයට සාපේක්‍ෂයි. මධුෂ්ට
මනුස්සකමක් නැත්තන් දුවගෙ උපන් දිනේට තරු හයේ හෝටලයක උත්සවයක් පවත්තාවියැයි. ඒකට
මිතුරන්ට ආරාධනා කරාවියැයි. ඒ මිතුරන් කවුද කියල දැන් ලොකු කතාවක් පටන් අරන්.
බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් දේශපාලනඥයන් ඒ අතර ඉන්නවා කියනවා. ජනමාධ්‍යවේදීන්
නැත්ද කියන එක ප්‍රශ්නයක්.
බැරිවෙලාවත් මධුෂ් මේ රටට ගෙනාවොත් සමහරවිට අධිකරණය ඔහු නිදොස් කර
නිදහස් කරන්න ඉඩ තියෙනවා. ඒ විනිසුරුවන් අර ව්‍යවස්ථා සභාවෙන් නිර්දේශ කෙරෙන නිසා
නොවෙයි. මහින්ද විරුද්ධ පක්‍ෂ නායකයා හැටියට අලුත් ව්‍යවස්ථා සභාවක් පත් කරන්න සටන් කරන්නෙ නැත්තෙ මොකද කියන
එක නම් ප්‍රශ්නයක්. දැන් තියෙන්නෙ කල් ඉකුත් වූ ව්‍යවස්ථා සභාවක්. විපක්‍ෂය ඒක
විවේචනය කරනවා මිසක් අලුත් එකක් පත්කර ගන්න කතා කරන්නෙ නැහැ. විපක්‍ෂය අප රවටනවා ද?
මධුෂ් ලංකාවෙදි නිදහස් වෙන්න ඉඩ තියෙන්නෙ සාක්‍ෂිකාරයන් නොමැති
වීමෙන්, ඒ ඒ අයගෙ මනුස්සකම වැඩි වීමෙන් හා තවත්
කාරණාවලින්. උසාවියෙ දි නඩුවක් ඔප්පු වෙන්නෙ උසාවියට ඉදිරිපත් කෙරෙන සාක්‍ෂි මත.
කොහොමටත් ලංකාවෙ බලපවත්වන සුද්දගෙ නීතිය අනුව මධුෂ තවම වැරදි කරුවෙක් නොවෙයි. ඔහු
තමන් නිවැරදිකරු කියලා ඔප්පු කරන්න අවශ්‍ය නැහැ.
ඔහු වැරදිකරුවකු කියල ඔප්පු කරන්න බැරි නම් ඔහු නිවැරදිකරුවෙක්.
රටේ ජනාධිපති ම බන්ධනාගාරවල දූෂණ ගැන කතා කරනවා. එහෙත් ඔහුටවත් ඒවාට
විරුද්ධව නිසි පියවර ගන්න නීතියෙන් ඉඩ අහුරලා. මේ රට පාලනය කරන්නෙ දේශපාලනඥයන්,
පාතාලය, ව්‍යාපාරිකයන්, පොලීසිය, බන්ධානාගාරය, ජනමාධ්‍ය ආදී සියල්ල එකතු වෙලා. ඒ ඒ ක්‍ෂෙත්‍රවල
එසේ නොකරන අය නොසිටිනවා නො වෙයි. එහෙත් අද රට කරවන්නෙ නැත්නම් එක් ස්වාමින් වහන්සේ
නමක් දෙසූ අන්දමට රට කරකවන්නෙ මේ පිරිසේ එකඟත්වයෙන් හා සහභාගීත්වයෙන්. මධුෂ්
නිදහස් වුවහොත් ඔහු සෘජු දේශපාලනයට එන්නත් බැරි නැහැ.