Main Logo

Monday, 25 February 2019

විධායකය අහෝසි කර තමන් රැකීම


විධායකය අහෝසි කර තමන් රැකීම

                       



ලෝකයේ මමත්වය වැඩි ම පුද්ගලයන් සිංහල බෞද්ධයන් ද කියල බොහෝ වෙලාවට හිතෙනවා. වරක් සිංහල කතෝලිකයකු මගෙන් ඇහුවෙ පන්සල්වල හැම තැනක ම අහවල් ආසනය පූජා කෙළෙ අහවලා, අහවල් පිඟාන, කෝප්පය පූජා කෙළේ අහවලා ආදී වශයෙන් ලියා ඇත්තේ ඇයි ද කියා. එය පාඨලීපුත්‍රයේ අශෝක රජුගේ ටැම් ලිපි හා වෙනත් ලිපිවලින් ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. අප සිතනවාට වඩා වෙනත් ආකාරයක බලපෑමක් අශෝක බුද්ධාගමෙන් වෙලා තියෙනවා. 


භාරතයේ  (බයිලා පඬියන්ගේ දැන ගැනීමට කිව යුත්තේ භාරතය රටක් නොවුණත් ප්‍රදේශයක් බව)  මූසිලයන් තමන් ගුත්තිල ඇදුරන්ට සමාන යැයි සිතු නමුත් තමන් ගුත්තිල පඬිතුමාට ඉගැන්වී යැයි  සිතුවේ නැහැ. මෙරට මූසිලයන් කියන්නේ තමන් නැත්නම් ගුත්තිල පඬි නැත කියායි.  මේ ඇතැම් මූසිලයන් තමන් මහා ගුණවත් පුද්ගලයන් බව අනෙක් අයට ඒත්තු ගන්නන්න හදනවා. ඔවුන් ගෝරිවලට එන්නෙ නැතිලු. එහෙත් ඔවුන් ගුත්තිල පඬිවරුන්ට විරුද්ධ ව එක් එක් අයට ගතු කියනවා. ඒ අනෙක් අය මූසිලයන් එසේ ගතු කී බව කී විට මූසිලයන් තමන් ගතු කීවාද නැද්ද කියන්නෙ නැතිව බයිලා කියනවා. 



අප සැම විටක ම මෙන් කියන්නේ ඒක ඉස්සෙල්ල ම කිව්වෙ කළෙ මම අපේ ආයතනය ආදී වශයෙන්. බටහිරත් ඒ ප්‍රශ්නය උගතුන් අතර තියෙනවා. එහෙත් එහි තරමක් දුරට ඒවා නිරාකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. එසේ වුණත් රටවල් දෙකක් පටලැවුණොත් ඒ විසඳා ගැනීම අපහසු වෙනවා. නිව්ටන් හා ලයිබ්නීට්ස් අතර ඇති ප්‍රශ්න එයට උදාහරණ.  ලංකාවෙ ප්‍රශ්නය අපට ජාතියක් වශයෙන්වත් පොදු එකඟතාවක් නැති වීම. මෙරට දේශපාලනය මුළුමනින්  ම මෙන් පුද්ගල කේන්ද්‍රියයි. අප හැමදාමත් කතා කරනවා ඊනියා ජාතික ප්‍රතිපත්ති ඇති කිරීම ගැන. එහෙත් අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක් තිස්සේ ඇති වෙච්ච ජාතික ප්‍රතිපත්තියක් නැහැ. අපේ ප්‍රතිපත්ති සකස් වන්නේ මා හා මගේ පවුල පෙරදැරි කර ගෙන.



මේ දිනවල කතාවෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න දෙස බලන්න. එය සම්පූරාණයෙන් ම පුද්ගල කේන්ද්‍රීයයි. විධායක ජනාධිපති ක්‍රමය ඇති කෙළේ පුද්ගල කේන්ද්‍රීය ව ජේ ආර්ගෙ අවශ්‍යතාවට. ජේ ආර් සමානුපාතික ඡන්ද ක්‍රමය ඇති කෙළේ එ ජා පක්‍ෂය නැවත අටට බැසීම වැළැක්වීමට. දහඅටවැනි සංශෝධනය ඇති කෙළේ මහින්දගෙ වුවමනාවට. දහනවවැනි සංශෝධනය ඇති කෙළේ රනිල්ගෙ වුවමනාවට. අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නෙ මහින්දගෙ මෛත්‍රිපාලගෙ හා රනිල්ගෙ වුවමනාවට. එහි දී ඔවුන් ජ වි පෙරමුණෙ රනිල්දාස යොදා ගන්නවා. රනිල්දාසට මේ කපේදි ජනාධිපති වෙන්න බැහැ.ඒ සිස්ටම් චේන්ජ් වෙන්නෙ නැති නිසා.



මට තේරෙන විධියට (මෙහි මා කියන්නෙ නැතිව මේ ලේඛකයා, කතුවරයා වැනි බොරු මනස්ගාත ලියන්න පූළුවන්. එසේ ලිවීමෙන් මමත්වය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. මට මමත්වයක් නැහැ කියා කියන්නේ නැහැ) අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නෙ ගෝඨාභය ජනාධිපති ධුරයට තරග කිරීම වළක්වන්න. විධායක ජනාධිපති ක්‍රමය නැති කළාම තරග කරන්නෙ මොන තනතුරකට ද? රනිල්ට කිසිදාක ජනාධිපතිවරණයකින් දිනන්න බැහැ. මෛත්‍රිපාලටත් තමන්ට දිනන්න බැරි බව දැන් ඒත්තු ගැන්නිලා. මහින්දට ජනාධිපතිවරණයකට තරග කරන්න පුළුවන් වෙල්ගමගෙ ලෝකෙක විතරයි. නාමල්ට දැන් ම තරග කරන්න බැහැ. ගෝඨාභය බැරිවෙලාවත් 2019 දිනලා 2024ත් ඉදිරිපත් වුණොත් මොකද වෙන්නෙ. මෛත්‍රිපාලට නාමික ජනාධිපතිකම ලැබෙයි ද?



ඔවුන්ට විතරක් නොවෙයි වෙනත් දේශපාලනඥයන්ටත් පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. නඩුහබ තියෙනවා. ඒවායින් ගැළවෙන එක රටේ ප්‍රශ්නවලට වඩ වැදගත්. අවාසනාවකට අද ජාතික ව්‍යාපාරය මෙහෙයවෙන්නෙත් දේශපාලනඥයන් අතින්. ජාතික ව්‍යාපාරයෙත් එවැන්නන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පක්‍ෂ වෙලා. අද කොන්දේසි විරහිත ව විධායක ජනාධිපති ක්‍රමය ආරක්‍ෂා කරගන්න සිදු වෙලා.



දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් වැඩ කරන්නෙ තම නායකයන් කියන විධියට. නැත්නම් තම මන්ත්‍රීකම්, ආසන සංවිධායකකම්, අහෝසි වන්න පුළුවන්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩා ආසන සංවිධායකකම් අහෝසි වීම වැදගත්. රට නොව ආසන සංවිධායකම ආරක්‍ෂා කර ගත යුතුයි.



ජේ ආර් විධායක ජනාධිපතිකම ඇති කරපු කාලෙ දහතුන්වැනි සංශෝධනයක් තිබුණෙ නැහැ. ඒ කාලෙ මාත් විධායක ජනාධිපති ක්‍රමයට  විරුද්ධ වුණා. එහෙත් පසුව විශේෂයෙන් ම දහතුනෙන් පස්සෙ තේරුණා ව්‍යවස්ථාදායකයට පූර්ණ බලතල දෙන්නෙ නැතිව විධායකය හා ව්‍යවස්ථාදායකය අතර යම් තුලනයක් තිබිය යුතු බව. දහනවයෙන් ව්‍යවස්ථාදායකය  පෙරට වඩා තරමක් බලවත් වුණා. එහි ප්‍රතිඵල ඔක්තෝම්බර් විසිහයෙන් පස්සෙ අපි අත්දුටුවා. අද රට අස්ථාවර වෙලා. මේ පාර්ලිමේන්තුවෙන් වත්මන් ජනමතය නිරූපණය වෙන්නෙ නැති වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ.



විධායකය තෝරන්නෙත් ඡන්දදායකයන් විසින් මිස රැජනක හෝ රජකු හෝ විසින් නො වේ. විධායකය හා ව්‍යවස්ථාදායකය තෝරන ක්‍රම වෙනස්. ඒක ම වැදගත් ලක්‍ෂණයක්. දෙවිධියකට තෝරන ආයතන දෙකකට රට හසුරවන්න දීම. විධායක ජනාධිපති පාර්ලිමේන්තුවෙන් තේරුවත් වැඩක් වෙන්නෙ නැහැ. එවිට විධායකයත් ව්‍යවස්ථාදායකයත් තේරෙන්නෙ එකම විධියට ඡන්ද කොට්ඨාශ හරහා. විධායකය තෝරන්න හොඳ ම විධිය රට ම එක කොට්ඨාශයක් හැටියට අරගෙන.



කොහොමටත් අද පළාත් සභා මහා ඇමතිවරුන් ආණ්ඩුකාරයන් ඉන්නවා. මේ ආණ්ඩුකාරයන්ට යම් විධායක බලයක් තියෙනවා. ඔවුන් විධායක ජනාධිපතිගෙ නියෝජිතයන්. ඔවුන්ට විධායක බලතල ලැබෙන්නෙ විධායක ජනාධිපතිගෙන්. විධායක ජනාධිපතිකම අහෝසි කළා ම ආණ්ඩුකාරයන් මහා ඇමතිලාගේ සේවකයන් බවට පත් වෙනවා. දහතුනේ 154 (උ) ව්‍යවස්ථාවෙන් අප දැනටමත් සංධීය (ෆෙඩරල්) රාජ්‍යයක් වෙලා. එහි පොලිස් බලතල හා ඉඩම් බලතල තියෙනවා. දහතුන තියාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මහා ඇමතිලගෙ බලය වැඩි කිරීමක්. තම පුද්ගලික අවශ්‍යතාව උඩ වැඩ කරල රට අගාධයට යැවීම මහා අපරාධයක්.