Main Logo

Wednesday 20 February 2019

අරුල්ට ඇති ප්‍රශ්න


අරුල්ට ඇති ප්‍රශ්න



මෙරට ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය අයිතිකරුවන් විධායක නිලධාරීන් ඉතා ඉහළ බුද්ධි මට්ටමක් ඇති විදග්ධ උගත් පිරිසක්. මට ඔවුන්ගේ මට්ටමට කිසි දිනෙක ළඟා වීමට බැහැ. ඔවුන් කිහිප දෙනකුට මා මේ ලිපි විද්‍යුත් තැපෑලෙන් යැවුවා. ඔවුන් ඒ කිසිවක් තුට්ටුවකටවත් ගණන් ගෙන නැහැ. සමහරුන් ඒවා කියවාවත් නැහැ. ඩේලි මිරර් පුවත්පතෙන් හැරෙන්න මට ප්‍රතිචාරයක් ලැබෙන්නේත් නැහැ. ඒත් මගේ ඉතාමත් සීමිත දැනුම අනුවත් මා දැන සිටියා ඉලංකෙයි තමිල් අරසු කච්චි කියන්නෙ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය කියලා. 





පසුගිය දා අරුල් හෙවත් අරුලානන්දන් නමැත්තකු ජනමාධ්‍යයෙන් කරළියට ආවා. ඇවිත් ආවා කල්ලියක් නැහැ කියා කිව්වා. අවුරුදු හැත්තෑපහකට ආසන්න කාලයක් ජීවත් වී ඇති මා යමකු ආ ගිය පමණින් විශ්වාස කරන්නේ නැහැ. අරුල් තමාට සිද්ධාර්ථ මෛත්‍රීයන් කියා කොටසක් නමේ තියෙන බවක් ද කිව්වා. මා ඔහුගේ උප්පැන්න සහතිකය පරීක්‍ෂා කර නැහැ. ඒ ඔහුගේ නම ද පුතාගේ නම ද දෙදෙනාගේ ම නම ද කියන්න මා දන්නේ නැහැ. මට එය වැදගත් නැහැ. මා මෙය සඳහන් කරන්නේ ජනමාධ්‍යයට ඒ වැදගත් වූ නිසා.



ඔහු උපන්නේ හැදුණේ වැඩුණේ කොහේ ද කියන එක ප්‍රශ්නයක්. ඔහු කලින් කොළඹ ඇවිත් නැද්ද? මා දන්නේ නැහැ. ඔහු කොළඹ කොටහේනේ පදිංචි ව සිටි බවක් ඇතැමුන් කියනවා. විග්නේස්වරන් කීවේ අරුල්ගේ සිංහල උච්චාරණය ඉහළ මට්ටමක තිබූ බවයි. විග්නේස්වරන් හැදුණේ වැඩුණේත් කොළඹ. ඔහු පොන්නම්බලම්  අරුණාශලම්ගෙන් පැවත එන්නෙක්. විග්නේස්වරන්ටත් සිංහල පුළුවන්. එහෙත් අරුල්ගේ සිංහල විග්නේස්වරන්ගේ සිංහලට වඩා හොඳ බවයි මට හැඟී ගියේ. විග්නේස්වරන් වෙල්ලාලයෙක්. වෙල්ලාලයන්ගේ මෙරට ඉතිහාසය අවුරුදු තුන්සීය පනහකට පමණ සීමා වෙනවා.



අරුල් නලවාර් කුලයට අයත් වූවෙක්. ඔහුගේ සීයලා කර තිබෙන්නේ රා මැදීම. නලවාර් යන්නට දෙමළ නිරුක්තියක් නැහැ. මෙහි නල කියන්නේ බටවලට. රා මැදීමේ දී යොදා ගන්නා බට වර්ගයක් ඇසුරෙන් නලවාර් යන්න බිඳී ඇති බවත් එයට ඇත්තේ සිංහල නිරුක්ති බවත් මා සමග කීවේ දෙමළ කතාකරන වෛද්‍යවරයෙක්. යාපනයේ ඉන්න නලවාර් වැනි ඊනියා අඩුකුල ජනයා සිංහල සම්භවයක් ඇති පිරිසක් බවත් ලන්දේසීන්ගෙන් පසුව ඔවුන් ඊනියා අඩුකුල තත්වයෙන් දෙමළ කතාකරන ජනයාගේ සංස්කෘතියකට අවශෝෂණය වී ඇති බවත් කියැවෙනවා. එහෙත් ඔවුන් සිංහල යැයි මා කියන්නේ නැහැ. ජාතියක්, ජනවර්ගයක්, ජන කොටසක් හඳුනාගැනීමේ දී සම්භවය, ජාන වැදගත් නැහැ. වැදගත් වන්නේ ඒ ඒ අයගේ වත්මන් සංස්කෘතිය.



අරුල් කී කතාවලින් පැහැදිලි වන කරුණු කිහිපයක් තියෙනවා. ඔහුට අවශ්‍යයි ආවා කල්ලියක් කියා එකක් යාපනයේ නැති බව කීමට. ඔහු එහි දී හාවා කතාවක් කීවා. එය ඉතා ළාමක කතාවක්. මා නම් එය විශ්වාස කරන්නේ නැහැ. හාවා ආවා වූවා නො වෙයි. එසේ වුණත් ආවා කියා පිරිසක් ඉන්නවා. මා පොලීසිය කියන හැම දෙයක්මත් විශ්වාස කරන්නේ නැහැ. එහෙත් අරුල්ට අවශ්‍ය උතුරෙන් පොලීසිය හා හමුදාව ඉවත් කරන්න. ඔහු කොළඹ ඇති නිදහසක් ගැන කිව්වා. ඔහු එක දවසට දැනගෙන තියෙන තරම. තරුණ තරුණියන් අත් අල්ල ගෙන ඉන්න එක නීති ප්‍රශ්නයක් නො වෙයි. සංස්කෘතික ප්‍රශ්නයක්. අපත් තරුණ කල ප්‍රසිද්ධියේ අත් අල්ලන් හිටියේ නැහැ. දැන් වයසට ගිහින් කොහොමටත් නැහැ. දෙමළ කතා කරන සමාජය කොළඹ සිංහල මෙන් ම දෙමළ කතාකරන සමාජවලට වඩා ගතානුගතිකයි. බටහිර නම් වයසට ගිය අයත් අත් අල්ලන් ඉන්නවා. අප අත් අල්ලන් ඉන්නෙත් බටහිර අනුකරණයෙන්. අරුල්ට හිතෙන්න ඇති බටහිර අනුකරණය කිරීම තමයි නිදහස කියලා. බොහෝ දෙනකු නිදහස කියන්නෙ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කිරීමට ඇති ඉඩකඩට. අරුල්ට රනිල් හා රාජිත සමගත් වෙනත් සිංහල බෞද්ධ විරෝධීන් සමගත් පින්තූර ගන්නත් නිදහස තියෙනවා.



අරුල්ට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් යාපනයේ වෙල්ලාලයන්ගෙ ප්‍රශ්නය. යාපනයේ දරුණු කුල පීඩනයක් තියෙනවා. සිංහලයන් අතරත් කුල ප්‍රශ්නය තියෙනවා. එහෙත් එය ක්‍රමයෙන් අඩු වේගන යනවා. එහෙත් යාපනයේ එය දැඩිව පවතිනවා. අරුල් හින්දු සමයක් ගැන කතා කළා. අරුල් නොදැන සිටියාට ශංකරාචාර්යවරයාගෙන් පසු හින්දු ආගමක් තියෙනවා. මෙරට හින්දු පුනර්ජීවනයේ පියා ලෙස සැලකෙන නවලාර් අරුමුගම් දැඩි කුලවාදියෙක්. ඇමතිවරයකු හා ගණිත මහාචාර්යවරයකු ව සිටි සී සුන්දරලිංගම් ඊනියා අඩු කුල ජනයාට කෝවිල්වලට ඇතුල්වීමට ඉඩ දුන්නේ නැහැ. අරුල් නල්ලූර් කෝවිල ගැන කිව්වා. නාගදීප විහාරය අසළත් කෝවිලක් තියෙනවා. එතැන අමුතු ම තැනක්. මාත් උඩුකය නිරාවරණය කර එහි ගොස් තියෙනවා.



වෙල්ලාලයන් ලංකාවට ගෙන ආවේ ලන්දේසීන්. ඔවුන් ලන්දේසීන් විසින් දකුණු අප්‍රිකාවටත් ගෙන යනු ලැබුවා. අරුල්ට එහි නැටෝල් ප්‍රදේශයට යන්න අවස්ථාවක් ලැබුණොත් එහි වෙල්ලාලයන් දැක ගත හැකියි. එහෙත් උතුරේ ප්‍රශ්නය ඇතැම් සිංහල ජාතිකවාදීන් කරන්නාක් මෙන් කුල පීඩනයට ඌනනය කරන්න බැහැ. වෙල්ලාලයන් ඊනියා අඩුකුල ජනතාව පාගා දැමුවේ මුල දී ලන්දේසීන්ගේ ආධාරයෙන්. පසුව ඉංගිරිසින්ගේ ආධාරයෙන්.



වෙල්ලාලයන්ටත් ඉංගිරිසින්ටත් අවශ්‍ය වුණෙ වෙල්ලාලයන්, විශේෂයෙන් කුමාරස්වාමි පෙන්නම්බලම් පවුල ලංකාවේ නායකත්වයට පත් කරන්න. විග්නේස්වරන් මෙන් ම ස්වාමිනාදන්, රධිකා කුමරස්වාමි, ඉන්ද්‍රජිත් කුමරස්වාමි ද මේ පවුලේ අය. අද වන විට ඔවුන් හා වෙනත් වෙල්ලාල පවුල් අතර තරගයක් ඇති වී තිබෙනවා. ස්වාමිනාදන්ට උතුර පුනරුත්ථාපන ඇමති ධුරය දීමට සුමන්තිරන්ලා කැමති වුණේ නැහැ. අද ඒ ඇමති ධුරය දරන්නේ රනිල්!

 

1912 පමණ වන තෙක් පොන්නම්බලම් කුමාරස්වාමි පවුල රටේ නායකත්වය දැරුවා. එහෙත් ඉංගිරිසින් මෙරට ඉංගිරිසි උගතුන්ට හා දේපොළ හිමියන්ට සීමිත ඡන්දය ලබා දීමෙන් පසුව ඒ තත්වය වෙනස් වන්න පටන් ගත්තා. සිංහලයන්ට රටේ නායකත්වය ක්‍රමයෙන් හිමිවෙන්න පටන් ගත්තා. අරුණාශලම් හින්දු මහා සභාව පිහිටුවා ගත්තා. වෙල්ලාලයන් තීරණය කළා රටේ නායකත්වය ගන්න බැරි නම් උතුරු හා නැගෙනහිර පළාත්වලවත් නායකත්වය ගන්න. වෙල්ලාල ක්‍රිස්තියානි චෙල්වනායගම් හා හින්දු නාගනාදන් එහි ප්‍රධානත්වය ගත්තා. ඔවුන් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තේ 1949 දී. ඒ සඳහා රැස්වුණෙ එකල මරදානේ තිබූ රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයෙ. ඒ දිනවල රජයේ ලිපිකරුවන් බොහෝ දෙනකු දෙමළ. ඔවුන් කොළඹ සිට තැපැල් ඇණවුම් (පෝස්ටල් ඕඩර්) මගින් යාපනයට මුදල් යැවුවා. මේ නිසා එකල කතාවක් තිබුණා යාපනයේ ඇත්තේ තැපැල් ඇණවුම් ආර්ථිකයක් කියලා. 1949 කියන්නෙ සිංහල රාජ්‍ය භාෂාව කරන්න කලින්. ඒ දිනවල බණ්ඩාරනායක මහතා එ ජා ප ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති! වෙල්ලාලයන්ට ප්‍රශ්නය ඇත්තේ සිංහලයන් සමග. ඔවුන් ශ්‍රී අකුරට විරුද්ධ වුණා. එහෙත් මෝටර් රථවල ඉංගිරිසි අකුරු යෙදීමට විරුද්ධ නැහැ. ඔවුන් මෙරට සම්බන්ධිකරණ භාෂාව ජනගහනයෙන් 90%ක් පමණ කතාකරන සිංහල බවට පත් කිරීමට විරුද්ධයි. එහෙත් 10%ක්වත් කතා නොකරන ඉංගිරිසිය සම්බන්ධීකරණ භාෂාව බවට පත් කිරීමට පක්‍ෂයි.



වෙල්ලාලයන් තම අභිලාෂය ඉටු කර ගැනීමට ඊනියා අඩුකුල ජනයා අතර සිංහල විරෝධයක් වෛරයක් ඇති කළා. වෙල්ලාලයන්ට ඕන වුණෙ නලවාර් කරෙයිවර් වැනි කුල සිංහලයන්ට විරුද්ධව යොදා ගන්න.  ප්‍රභාකරන් එහි ප්‍රතිඵලයක්. එහෙත් ඔහු පටන් ගත්තේ වෙල්ලාලයන් ඝාතනය කිරීමෙන්. ප්‍රභාකරන්ට බටහිර හා මුල දී ඉන්දියාවේ සහාය ලැබුණා. අපේ රණවිරුවන් ඔවුන් පරාජය කළා. අරුල්ලාට වෙල්ලාලයන් සමගත් වෙල්ලාලයන් ඇති කළ වෛරය නිසා සිංහලයන් සමගත් ප්‍රශ්න තියෙනවා. අරුල් හදන්නේ ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න. ඔහු සිංහලයන් අන්දන්න සූදානම් වෙනවා. අප කළ යුත්තේ වෙල්ලාලයන් සමග ඩීල් දේශපාලනයකට නොගොස් ඊනියා අඩුකුල දෙමළ කතා කරන ජනයා අතර දේශපාලනය කරන්න. එහෙත් අරුල් ඒ සඳහා සුදුසු පුද්ගලයකු නොවන බවයි මගේ වැටහීම.