Main Logo

Sunday 5 January 2020

පොලිස් කෝලම හා තවත් කෝලම්

  සිංහල ලිත් ඉලක්කම්


පොලිස් කෝලම හා තවත් කෝලම්



රන්ජන් රාමනායක අත්අඩංගුවට අරගෙන. ටික දවසකින් ඇප මත එන්න පුළුවන්. රාජිතට නම් තවම අසනීප වෙන්න ඕන. රන්ජන්ට පේන්න නම් අසනීපයක් නැහැ. චම්පක සුපුරුදු විධියට රාජපක්‍ෂ විරෝධී දේශපාලනයක යෙදෙනවා. ඔහුගේ දේශපාලනය අද හැකිනම් ජනාධිපති වීමටත්, රාජපක්‍ෂලාට දඬුවම් දීමටත් සීමා වෙලා. අනෙක් කතා සියල්ල ඒ වෙනුවෙන්. තව අත්අඩංගුවට අරගෙන ඇප දෙන්න ඉන්නෙ කවුද? වොයිස්කට් දේශපාලනය වගේ ම අර මාංචු දැම්මට පස්සෙ අත් ඔසවන එකත් බලල එපාවෙලා. 


ඒ අතර මහාබැංකු වෝහාරික විගණනය නිකුත් කරන ලෙස එ ජා පාක්‍ෂිකයන් මොර දෙනවා. එහි තියෙන්නෙ මොනව ද කියන එක වාර්තාව කියවල නැතිව වුණත් ඔවුන් දන්නවා වගේ. ඒ කරුණු ඔවුන් දැන ගත්තෙ කාගෙන් ද? සුනිල් හඳුන්නෙත්තිගෙන් ද නැත්නම් වාර්තාව සකස් කළ අයගෙන් ද? ඔය වාර්තාව ගැන දැනට දැන ගෙන තියෙන්න පුළුවන් ඉතා ටික දෙනයි. ඒත් මට පේන හැටියට වාර්තාවෙන් රනිල්ට ප්‍රශ්නයක් නැහැ වගේ. 

අද පොලිස් කොමිසමේ ඉඳන් වෝහාරික වාර්තා සකස් කළ අය දක්වා ප්‍රශ්න කරන්න සිදු වෙලා. පොලිස් කොමිසම (ජාතික පොලිස් කොමිෂන් සභාව) දහනවවැනි ව්‍යවස්ථාවෙන් පිහිටුවපු එකක්. ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් එහි සාමාජිකයන් පත් කෙරෙන්නේ අවුරුදු තුනකට. වත්මන් පොලිස් කොමිසමට තව අවුරුද්දකට වඩා ආයුෂ තිබෙනවා ය කියා මා හිතනවා. කලකට පෙර පොලිස් කෝලම කියා කෝලමක් තිබුණා. අද පොලිස් කොමිෂම පොලිස් කෝලමක් වෙලා ද? පොලීසියෙ අවංක කාර්යක්‍ෂම නිලධාරීන් නැතිවා නො වෙයි. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ අප කෝලමක් බලන් ඉන්නවා ද? ඉස්සර වගේ නොවෙයි. අද ජනමාධ්‍ය සියලු කෝලම් රඟදක්වන වේදිකාව බවට පත් වෙලා.

අද තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය ගැන මා කලින් කියා ඇති.  අද අලුත් ආණ්ඩුවක් අලුත් අගමැතිවරයකු අලුත් විපක්‍ෂ නායකවරයකු පත් වී ඉන්න අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැකි ඉක්මණින් නැවත සංස්ථාපනය කරන්න ඕන. එහෙත් ඒ කියා අනෙක් කොමිෂන් සභා නැවත පත් කරන්න බැහැ. ඒ කොමිෂන් සභාවල සාමාජිකයන් ඉල්ලා අස්වුවහොත් මිස ඔවුන්ට අවුරුදු තුනක් සේවය කරන්න පුළුවන්.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පම්පෝරි ගැහුවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා විවිධ කොමිෂන් සභා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙස. එහෙත් ජනමතය තදින් වෙනස් වූ විටක දීත් ඒ වෙනසට අනුව කොමිෂන් සභා වෙනස් කරන්න බැහැ. අදත් රඟ දැක්වෙන්නේ පරණ කෝලම් ම තමයි. මෙය ප්‍රශ්නයක්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මණින් අහෝසි කරන්න බැරි නම් අවශ්‍ය පරිදි සංශෝධනය කරන්න ඕන. කෝලම් වහාම නවත්වන්න ඕන. 

ඊනියා අපක්‍ෂපාත කොමිසම් ලෝකයෙ කොහෙවත් නැහැ. ඊනියා අපක්‍ෂපාත මිනිසුනුත් ජීවත්වන අය අතර නැහැ. වැඩිම වුණොත් කරන්න පුළුවන් අපක්‍ෂපාති ලෙස ඉන්න බවට රඟ දැක්වීම පමණයි. ආණ්ඩුවක් ගෙන යන්න ආණ්ඩුවට හිතවත් අය අවශ්‍යයි. ආණ්ඩුවට විරුද්ධ එහෙත් අපක්‍ෂපාත රඟපෑමක යෙදෙන්නන් එක්ක ආණ්ඩු පවත්වාගෙන යන්න බැහැ. අද කොමිසම්වල, කෝලම්වල ඉන්න අය අඩු තරමෙන් අපක්‍ෂපාත  රඟදැක්වීමක්වත් කරන්නෙ නැහැ. 

මැතිවරණ කොමිෂමේ ඉන්නවා මහාචාර්ය හූල්. ඔහු අඩු තරමෙන් එ ජා පක්‍ෂයටවත් පක්‍ෂපාති ද? ඔහු පක්‍ෂපාත ඔහුගේ දේශපාලනයට. ඔහුට එය වහන්න බැහැ. ඔහු දක්‍ෂ නළුවකු නො වෙයි. රජයේ නිලධාරීන් තානාපතිවරුන් රජයට පක්‍ෂපාති විය යුතුයි. රජය කියන්නේ ආණ්ඩුවට නො වෙයි. මෙරට ඇති ඒකීය රාජ්‍යයට ආසන්න වූ රාජ්‍යයට පක්‍ෂපාත නැති එහෙත් ෆෙඩරල් නැත්නම් සංධීය රාජ්‍යයකට පක්‍ෂපාත අය රජයට පක්‍ෂපාත අය නොවෙයි. 

අද පාර්ලිමේන්තුවෙන් ජනමතය නියෝජනය වන්නේ නැහැ. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කෙරෙන මෙයට වඩා ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක් ගැන රනිල්ටවත් දැන් හිතන්න බැරි වෙයි. වඩාත් ම ප්‍රජාතන්ත්‍රවිරෝධි ක්‍රියා සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්. පොලිස් කෝලම හා වෙනත් කෝලම් අහෝසි නොකළොත් ආණ්ඩුව ඉක්මණින් ම කෝලමක් බවට පත් කිරීමට එ ජා පක්‍ෂය හා පඬි ජනමාධ්‍යවේදීන් කටයුුතු කරාවි. 

රන්ජන්ලා අත්අඩංගුවට ගැනීම නරක යැයි මා කියන්නේ නැහැ. ඔහු උසස් පෙළ පරීක්‍ෂණයෙන් ක්‍රිස්තියානි ධර්මය විෂයෙන් අසමත් වුණා කියා අත්අඩංගුවට ගන්න බැහැ. තම ආගමවත් දන්නේ නැති ඔහු බුදුසසුන විවේචනය කරනවා. ඒ කරන්නේ සසුන ශුද්ධ කිරීමට නොවන බව කාටත් තේරෙනවා. චම්පකලා රාජිතලා රන්ජන්ලා පමණක් නොව රනිල්ලාත් බරපතළ වැරදි කර ඇති බව සාමාන්‍ය විශ්වාසයයි. සාමාන්‍ය විශ්වාසය අනුව වැරදිකරුවන් තීරණය නොවන බව මා දන්නවා. එහෙත් රනිල්දාස අකමැති වුවත් බටලන්දේ සිට පරීක්‍ෂණ කරන්න ඕන. බල්ලන් බලු මස් නොකන බවට ඇති ප්‍රසිද්ධ කියමනත් මෙහි දී අමතක කරන්න බැහැ. 

ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිවරුන් පත් කිරීමේ දී පරාජිතයන් මෙන් ම දිනන්නට නොහැකි අය ද පත් කළ යුතු නැහැ. ආණ්ඩුව පැත්තෙන් ජාතික ලැයිස්තුවෙන් පත් කළ යුත්තේ ක්‍රියාකාරී දේශපාලනයක එතරම් නියුතු නොවන එහෙත් දේශපාලනය තේරෙන ගෝඨාභය ආණ්ඩුවට පක්‍ෂපාතී අය. ඒ සඳහා සාමාන්‍ය පෙළ අවශ්‍ය වන්නේ නැහැ. දේශපාලනයේ දී අධ්‍යයනික සුදුසුකම් වැඩක් නැහැ. 

ක්‍රිකට් ක්‍රීඩාවේ දී හරි ව්‍යාපාර කටයුතුවල දී හරි අධ්‍යයනික සුදුසුකම් අහන්නේ නැහැ. දේශපාලනයත් අමුතු ම ක්‍රීඩාවක්. බණ්ඩාරනායක මැතිණිය සමත් ව සිටි පංතිය කුමක් ද කියා මා දන්නේ නැහැ. එහෙත් ඇය ඉහළ ම ගණයේ දේශපාලනයක් කළා. ඇය ඉතා ම දක්‍ෂ රාජ්‍යතාන්ත්‍රිකයකු ද වුණා. ඉතා ඉහළ අධ්‍යයනික සුදුසුකම් ඇති අය අදක්‍ෂ දේශපාලනඥයන් වූවා.  

අද අවශ්‍ය වන්නේ කවදාටත් වඩා ශක්තිමත් ආණ්ඩුවක්. කෝලම් නවත්වා රාජ්‍යයට විරුද්ධ  ව වැඩ කර ඇති අයට අඩුම තරමෙන් රෝම ලන්දේසි නීතිය යටතේවත් නිසි දඬුවම්  දෙන ආණ්ඩුවක්. වෙනත් කිසිම රටකට කිසියම් වූ ආකාරයකින්වත් යටත් නොවී මෙරට ස්වෛරීභාවය හා ගෞරවය රැක ගන්නා ආණ්ඩුවක්. සිංහල බෞද්ධ රාජ්‍යයකට පිය නගන ආණ්ඩුවක්. දේශීයත්වය පදනම් කරගෙන ලෝකය සමග තරග කළ හැකි ආණ්ඩුවක්.