Main Logo

Friday 19 June 2020

මංගලගේ විජාතිකත්වය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






මංගලගේ විජාතිකත්වය  

මංගල සමරවීර සහ තවත් කිහිප දෙනකු සජිත්ගේ නායකත්වයෙන් ඇති සමගි ජන බලව්ගයෙන් ඉවත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් කියල මැතිවරණ නිරීක්‍ෂකයන් පවසනවා. මේ මැතිවරණ නිරීක්‍ෂකයන් කියන්නෙ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පිරිසක්. ඔවුන් තමන්ට මුදල් ලැබෙන්නෙ කොහෙන්ද කියන එක පළමුවෙන් ම කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වෙතත් රටට හොඳයි. ආණ්ඩුව හැම රාජ්‍ය නොවන සංවිධානයක්  ගැන ම සෙවිල්ලෙන් ඉන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කුලියට සේවය කරන්නන් අවසාන වශයෙන් ගත් කල බටහිර කුලීකරුවන්. රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් ගැන ම කියන්න තියෙන්නෙ මේ කුලීකාර කතාව පමණයි.

මංගල සමරවීර හා අනෙක් අය අස්වුණත් ඔවුන්ගෙ නම් ඡන්ද පත්‍රිකාවෙ තියෙනවා. යම් පිරිසක් ඔවුන්ට ඡන්දෙත් දෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ද කියන්න දන්නෙ නැහැ. අර කොන්ත්‍රාත් පදනමෙන් මිනිසුනට බණින හඩ්සන් වරක් ඡන්දෙකට ඉල්ලල අස්වුණා. එයාටත් ඡන්ද යම් ප්‍රමාණයක් ලැබුණා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නෙ එහෙමයි. මංගල නැති පාර්ලිමේන්තුවක් ගැන හිතන්න හඳුන්නෙත්තිට බැරුව වගෙයි. මංගලට නම් එක් එක් අය කෑම බීම ඇඳුම් ඉඳුම් හිටුම් දෙනව කියල ආරංචියක් නැහැ. ඒත් මංගල අමාරුවෙන් බොල්ගොඩ ගඟේ ඉවුරක ගෙයක් හදාගෙන පදිංචි වෙලා ඉන්නවා.

මංගලගෙ අස්වීම ගැන විවිධ කතා කියනවා. සමහරු කියන්නෙ ඒක රනිල්ගෙ ගැටයක් කියල. රනිල් මංගල සජිත්ගෙ පක්‍ෂයට යවල වෙලාව ආවම අස්කරගෙන කියනවා. රනිල් එහෙම ගැට ගහනවා කියල මා දන්නෙ නැහැ. මංගල හිටියත් නැතත් සජිත් රැස්වීම් දාහ අමතනවා. කාටවත්, කොවිඩ්ටවත් ඒක වළක්වන්න බැහැ. ඒ අතර මංගල කියනවා සජිත්ගෙ පක්‍ෂය ජාතිවාදී පක්‍ෂයක් වෙන්න යනව කියල. 

ඒක නම් හොඳ කතාවක්. බොහොම කාලෙකට ඉස්සර මංගල රටවැසි පෙරමුණ කියල එකක් හැදුව. ඒකෙ රතන හිමිත් හිටිය. රතන හිමියන්ට අතන මෙතන කොතන වුණත් ප්‍රශ්නයක් නැහැ. රටවැසි පෙරමුණේත් ප්‍රතිපත්තිවල සන්ධීය රාජ්‍ය කතාව තිබුණ. මා හිතන්නෙ මංගල හැමදාමත් යුද්ධ විරෝධියෙක්. ඒ දවස්වල රතන හිමි චම්පක ආදීනුත් යුද්ධ විරෝධීන්. මට මතක හැටියට ඔවුන් ජනතා මිතුරන් හැටියට ඉන්න කාලෙ කොළඹ යුද්ධයට විරුද්ධ ව පෝස්ටරත් ඇලෙවුවා. ඒ බෙල් බොටම් විහාර මහා දේවිලත් එක්ක එකතු වෙන්න පෙර. 1994 මැතිවරණයේදී චම්පකල රතන හිමිලා මාතර ගිහින් පැල් බැඳගෙන මංගලට වැඩ කළා. සජිත්ගෙ පක්‍ෂෙ චම්පකත් ඉන්නවා. රතන හිමිට නම් මෙවර බසය වැරදිලා. තනියම ආණ්ඩුවට බැන බැන බණ කියන එක තමයි කරන්න වෙලා තියෙන්නෙ. 

මංගල එක්ස් කණ්ඩායමට ආධාර කළා මාතොට සඟරාව පළ කරන්න. ඒ දවස්වල ඇතැමුන් කිවුවෙ මංගලගෙ සෙක්ස් කණ්ඩායම කියල. ඒ කොහොම වුණත් එක්ස් තියා ඉසෙඩ්වත් දැන් නැහැ. මංගල හැමදාමත් සිංහල බෞද්ධ විරෝධියෙක්. මංගලට බසය වැරදුණෙ කොහොම ද කියන එක තමයි ප්‍රශ්නය. මෙරට සිංහල ජාතිකත්වයට මුහුණ දෙන එක අද කාට කාටත් ප්‍රශ්නයක් වෙලා.  

රනිල්ගෙ බටහිර ගැති ප්‍රතිපත්තිත් එක්ක එ ජා පක්‍ෂයට තව දුරටත් අනාගතයක් නැති බව එ ජා පක්‍ෂයට වුණත් තේරෙනවා. එ ජා ප ඇති වුණෙ ම දක්‍ෂිණාංශික ජාත්‍යන්තරවාදී පක්‍ෂයක් හැටියට. එහි ජාතිකත්වයක් තිබුණෙ නැහැ. ඒත් එකල තිබූ වාමාංශික ජාත්‍යන්තර පක්‍ෂ දෙකට ජාතිකත්වය ආකර්ෂණය කරන එක ප්‍රශ්නයක් වුණා. එබැවින් ජාතික මතවාද දැරූ භික්‍ෂූන් වහන්සේ හා ගිහියන් විශාල පිරිසක් එ ජා පක්‍ෂයට හිතවත් වුණා. 1952න් පසු ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්ව මගක් ගැනීමත් සමග තත්වය වෙනස් වුණා. ජේ ආර් ධර්මිෂ්ට සංකල්පවලින් රට යම් ප්‍රමාණයකට මුලා කළත් අද එයට පවතින එක ප්‍රශ්නයක් වෙලා. 

මේ තත්වය යටතේ සජිත් ප්‍රේමදාස යටතේ ව්‍යාජ ජාතිකත්වයක් ප්‍රදර්ශනය කිරීමට යම් පිරිසක් තීරණය කර ඇති බව පැහැදිලියි. සජිත්ගෙ ඇති ජාතිකත්වයක් නැහැ. ඒත් තමන් රනිල්ගෙ දක්‍ෂිණාංශික ජාත්‍යන්තරවාදයෙන් මිදිල කියන එක තමයි සජිත් පිටුපස ඉන්න ඊනියා  න්‍යායාචාර්යන්ට පෙන්වන්න ඕන. මංගල සජිත්ගෙ පක්‍ෂයට ගියෙ ඒ ගැන අවබෝධයකින් කියල හිතන්න බැහැ. ඔහුට රනිල් සමග ඡන්ද දිනන්න බැරි බව නම් තේරුම් යන්න ඇති. 

ඒත් සජිත්ගෙ පක්‍ෂයට ගියාට පස්සෙ එතන වෙන දේ ඔහුට අවබෝධ වෙන්න ඇති. එහි ව්‍යාජ ජාතිකත්වය වුණත් ඔහුට ගැලපෙන එකක් නො වෙයි. එය ගැලපෙනව ඇති චම්පක වගේ ව්‍යාජ ජාතිකවාදීන්ට. මංගල කියනව සජිත්ගෙ පක්‍ෂය ජාතිවාදී වෙලා කියලා. මංගලට රනිල් සමග එකතු වෙන්නත් බැහැ. ඒ රනිල් සමග දිනන්න බැරි නිසා. ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට මිසක් වෙන එකක් නොවෙයි. ඔහුට සජිත් එක්ක යන්නත් බැහැ රනිල් එක්ක යන්නත් බැහැ. මන්ත්‍රී වෙන්නත් බැහැ. ඉතින් ඔහු මන්ත්‍රී දේශපාලනයෙන් කලින් ම ඉවත් වෙලා. 

අපට පරෙස්සම් වෙන්න තියෙන්නෙ සජිත්ගෙන්. ඔහුට ලොකු ආකර්ෂණයක් නැහැ. ඒත් ඔහු යම් ප්‍රමාණයකට මිනිසුන් රවටනවා. නමුත් ජේ ආර්ට හරි ආර් ප්‍රේමදාසට හරි තරම් දක්‍ෂකමක් ඔහුට නැහැ. පසු කලෙක චම්පක පක්‍ෂෙ බලය අල්ලන්න බලන් ඉන්නවා. චම්පකට කිසි දවසක රනිල්ගෙ පක්‍ෂෙ බලයක් ලැබෙන්නෙ නැහැ. මංගලට අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ. සජිත්ටත් එය ම වෙන එක වළක්වන්න සුමන්තිරන්ටවත් බැහැ. සුමන්තිරනුත් වෙන අතක් බලන්න හදනවා.