෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
අපේ පොදු ඉතිහාසයට එබී බැලිමක්
මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය අප්‍රිකාවේ විසූ ලුසී අත්තම්මාගෙන් පටන් ගන්නා බවට බටහිරයන් ගොතා ඇති පට්ටපල් බොරුව රේඛීය චින්තනය මත පදනම් වෙන්නක්. බටහිරයන්ට කොතනකින් හරි පටන් ගන්න ඕන. ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ ඇති වූ අදහස් සමග දෙවියන් වහන්සේ මිය ගියා. එහෙත් පහළොස්වැනි සියවසේ ඇරඹුණු චින්තනය මිය ගියේ නැහැ. මාටින් ලූතර් එය තහවුරු කළා. අද වන විට දෙවියන් වහන්සේ තර්කය ලෙස යළි ඉපදිලා. ඔය ලුසීත් එහි අනිටු ප්‍රතිඵලයක්.
ගොඩබිමින් මිනිසුන් ඒ ඒ රටවලට යන එක නවත්වන්න බැහැ. කලකට පෙර ලංකාව ඉන්දියාවත් එක්ක ගොඩබිමින් සම්බන්ධ වූ බව කියනවා. එය මොකක් වුණත් අවුරුදු හතළිස්දාහක් පමණ කාලයක්වත් ලංකාවේ මිනිසුන් හිටි බවට සාක්‍ෂි තියෙනවා. එහෙත් ඒ සිංහලයන් නම් නො වෙයි. ඒ මිනිසුනුත් තවත් මිනිසුනුත් එකතු වී තමයි පසු කලෙක සිංහලයන් ඇති වී තියෙන්නෙ. ඒ ගැන පසුව කතා කරමු.
අපි දැනට ලෝකය අමතක කරමු. ඒ අපේ වැඩේට ආසියාව පමණක් සෑහෙන නිසා. අද බටහිරයන් ඉතිහාසය ලියනවා වගේ කලකට පෙර මේ කලාපයේ ඉතිහාසය ලියුවේ (කිවුවේ) භාරතීයයන්. කිවුවේ කියන්නේ අපට මුල දී තිබුණෙ වාචික සම්ප්‍රදායක් නිසා. චීනුන් ද නොලියා (නොකියා) ඉන්න විධියක් නැහැ. අපි දැනට භාරතීයයන් කියා ඇති ඉතිහාසයට සීමා වෙමු.
මේ ඉතිහාසය ගොඩබිමින් පමණක් නොව මුහුදෙන් ද කියැවුණු දෙයක්. මෙහි දී අප අවධානය යොමු කරන්නේ මුහුදෙන් කියැවුණු ඉතිහාසයටයි. ඒ නැව් (මුහුදු යාත්‍රා) නිර්මාණය කළාට පස්සෙ. බුදුන්වහන්සේට පෙර මිනිසුන්ට නැව් තිබිල තියෙන බව පැහැදිලියි. මේ ඉතිහාසය නැව් හා සම්බන්ධයි. එකල නැව් තිබුණෙ නැහැ කියල උපකල්පනය කරන අය ගැන අපට කරන්න දෙයක් නැහැ.
ඉතිහාසයේ එක්තරා අවධියක දී අවුරුදු දෙදහස් පන්සීයක් තුන්දාහක් අතර උත්තර භාරතීයයන් මුහුදෙන් වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බව පැහැදිලියි. මෙහි දී උත්තර භාරතීයයන් ලෙස මා හඳුන්වන්නේ අද ආන්ද්‍ර ප්‍රදේශය නමින් හැඳින්වෙන ප්‍රදේශය හා එයට උතුරෙන් ඇති ප්‍රදේශ. මේ සමග ඇති සිතියම බලන්න. මෙය 1860 දී සකස් කළ ඊනියා බිරිතානි ඉන්දියාවේ සිතියමක්. අප කතා කරන්නේ එයට අවුරුදු දෙදහස්පන්සීයකට ඉහත ඉතිහාසයක්. එහෙත් මා කියන දේට මේ සිතියම ප්‍රමාණවත්.
මෙහි බෙංගාලය කියන්නේ වංගය නැත්නම් බංගය. ව හා බ මාරුවීමේ සම්ප්‍රදායක් අදාළ භාෂාවල තිබිල තියෙනවා. ඔරිස්සාව කියන්නේ එකල කාලිංගය. ආන්ද්‍ර ප්‍රදේශය තියෙන්නෙ කාලිංගයට දකුණෙන්. ඒ නැගෙනහිර වෙරළේ. ඔරිස්සා වේ වරායක් තිබිල තියෙනවා උක්කලා කියල. එය අපේ කතාවට වැදගත්. බටහිර වෙරළේ සුප්පාරක හා භාරුකච්චා වරාය තිබිල තියෙනවා. මේ වරාය මෙහි ඇති සිතියමේ නැහැ.
රොජර් බිස්කොෆ් නමැත්තෙක් බුඩිසම් ඉන් මියන්මාර් අ ෂෝර්ට් හිස්ටරි කියල පොඩි පොතක් ලියල තියෙනවා. එය නුවර බෞද්ධ ප්‍රකාශන සංගමයෙන් පළ කරන ලද්දක්. එහිත් වෙනත් තැන්වලත් තපස්සු භල්ලුක භාරතයෙ උක්කලා නගරයෙන් වෙළඳාමෙ ගිය කතාව තියෙනවා. එහෙත් බිස්කොෆ් තවත් දේ කියනවා. ඔහු කියනවා යැන්ගොන් ඉස්සර උක්කලා නමින් හැඳින්වුව බවත් තපස්සු භල්ලුක ආපසු මේ උක්කලාවට පැමිණි බවත්, එකල එහි රජු ඔක්කලාපා වූ බවත් රජු සිංගුත්තරා කන්ද සොයා ගෙන එහි කේශ ධාතූන් වහන්සේ නිධන් කළ බවත්. මේ චෛත්‍යය ෂ්වෙදගොන් (රන්සෑය) ලෙසත් කියැවෙනවා. ඇතැම් පොත්වල චෛත්‍ය දෙකක් ගැන කියැවෙනවා.
අපට මෙහි දී වැදගත් වන්නේ යැන්ගොන් උක්කලා ලෙස හැඳින්වීම හා රජු ඔක්කලාපා වීම. ඔක්කලාපා හා උක්කලා අතර සම්බන්ධයක් තියෙන්න ඕන. දැන් කියන්න යන්නෙ මගේ හිතළුවක්. උත්තර භාරතීයයන් කාලිංගයෙන් වංගයෙන් මියන්මාරය ලංකාව ආදී ප්‍රදේශවලට ගොස් තියෙනවා. ලංකාවට නම් බටහිර වෙරළෙනුත් ඇවිත් තියෙනවා. විජය ගැන කියන්නෙ වංගයෙන් පිටත්වෙලා භාරුකච්චා සුප්පාරක වරායවලත් රවුම් ගසා පැමිණි අයකු ලෙස. ඒ ගැන පසු දවසක කියන්නම්. ඔය කාලයෙ දක්‍ෂිණ භාරතයේ අය ගිය මුහුදු ගමන් ගැන සඳහනක් නැහැ. සොළීන් ආදීන් බලවත් වුණෙ ඊට බොහෝ කාලෙකට පස්සෙ.
උත්තර භාරතයෙන් මියන්මාරයට පැමිණි අය එහි රාක්‍ෂසියක පරාජය කළ පුවතක් තියෙනවා. එමෙන් ම යක්‍ෂයන් රාක්‍ෂසයන් එලවා දැමූ පුවත් ද තියෙනවා. ලංකාවේත් තියෙන මෙවැනි පුවත්වලින් කියැවෙන්නේ උත්තර භාරතීයයන් මේ රටවල විසූ ස්වදේශීකයන් පරාජය කර බලය ලබා ගැනීමක්. මේ ඉතිහාසය කියන්නේ උත්තර භාරතීයයන් බව අමතක කරන්න එපා. මියන්මාරයේ බටහිර හා තායිලන්තයේ හා දකුණු වෙරළබඩ පෙදෙස්වල උත්තර භාරතීයයන් පදිංචි වූ බව පෙනී යනවා. ඔවුන් ඒ පෙදෙස්වලට තම මව් රටේ නම් යොදා තියෙනවා. මියන්මාරයට ඔරිස්සාවෙන් පිරිස් පැමිණ ඇති බව බිස්කොෆ් කියනවා. වත්මන් යැන්ගොන් උක්කලා නමින් නම් කරන්න ඇත්තේ ඔරිස්සාවෙන් (කාලිගයෙන්) පැමිණි උත්තර භාරතීයයන් වෙන්න ඕන.
ලංකාවේත් එය සිද්ධ වෙලා තියෙනවා. තම්මැන්නාව (තාම්‍රපන්නි) එවැනි නමක්. අපේ අනුරාධපුරය නම් කර ඇත්තේ ම උත්තර භාරතයෙන් පැමිණි අනුරාධගෙ නමින්. පසු කලෙක ලන්දේසීන් හා බිරිතානින් අපට ඔවුන්ගේ නම් දී තියෙනවා. නඩු අහන අලුත්කඩේ පරණ ලන්දේසි නම හල්ට්ස්ඩෝර්ෆ්. හැටන් කියන්නෙ ස්කොට්ලන්තයෙ ගමක්. ලංකාවෙ වතු ආර්ථිකය පටන් ගත්තෙ ස්කොට් ජාතිකයන්.
තපස්සු භල්ලුක පිටත්වෙලා තියෙන්න එකල උක්කලා නැත්නම් වත්මන් යැන්ගුන් වරායෙන්. ඒ දවස්වල යැන්ගොන් නැත්නම් උක්කලා තිබිල තියෙන්නෙ වෙරළ කිට්ටුව. ඔවුන් ඇෆ්ගනිස්තානයේත් ලංකාවෙත් වෙළඳාම් කර චෛත්‍යත් තනා ආපසු මියන්මාරයේ උක්කලාවට පැමිණ ඔක්කලාපා රජු හමු වී තියෙනවා. ඔවුන් මියන්මාරයේ උක්කලා වරායෙන් ඔරිස්සාවේ උක්කලා වරායට ගියා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් මියන්මාරයෙන් පිටත් වු උක්කලා නගරය තපස්සු භල්ලුක පිටත් වූ භාරතයේ නගරය ලෙස වැරදියට හැඳින්වූවා වෙන්නත් පුළුවන්. ඒ මොකක් වුණත් මියන්මාරයෙ ලංකා තානාපති කාර්යාලය තියෙන්නෙ යැන්ගෙන් නගරයේ නැත්නම් උක්කලාවෙ.
අවසාන වශයෙන් අර සිතියම නැවත බලන්න. ඔරිස්සාව ඇත්තේ පහළ බුරුමය (මේ රාමඤ්ඤ දේශයෙ, යැන්ගොන් - උක්කලා තියෙන්නෙත් රාමඤ්ඤ දේශයෙ) සමග ගත්විට නිරක්‍ෂයට සමාන්තර ව. ඔරිස්සාවේ (කාලිංගයේ) හරි බෙංගාලයේ (වංගයේ) සිට ගෝකණ්න (ත්‍රිකුණාමලය) තියෙන්නෙ කෙලින් ම දකුණෙන් වගේ. දඹකොළ පටුන තපස්සු භල්ලුක කාලෙ ප්‍රසිද්ධ නැති වෙන්න ඇති. එය සංඝමිත්තා මෙහෙණින් වහන්සෙ වඩින කාලයෙ වරායක් වෙන්න ඇති. අනෙක් අතට තම්මැන්නාව (මන්නාරම පැත්ත) සුප්පාරක භාරුකච්ච වරායවලට දකුණෙන්. මෙයින් කියැවෙන කතාවක් තියෙනවා. එකල තිබූ මුහුදු මාර්ග කොතනින් කොතනට ද යන්න ගැන අවබෝධයක් (හිතළුවක් තමයි) ලබා ගන්න පුළුවන්. අපේ ඉතිහාසයට මේ සියල්ල වැදගත්.