෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
බද්‍යුද්දීන් හා සිවල් නිගමන
බදියුලා කීප දෙනෙක් ගැන ම දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරලා තියෙන ජනාධිපති කොමිසමේ කියැවෙනවා. නැහැ එතැන අර ගණිතය ගැන විකාර කියවන ප්‍රංශ මහා දාර්ශනිකයකු කියන බදියු ගැන කිසිවක් කියැවෙන්නෙ නැහැ. මා ගණිතඥයකුවත් දාර්ශනිකයකුවත් ඉතිහාසඥයකුවත් භෞතික විද්‍යාඥයකුවත් නො වෙයි. මා ඒ විෂය ගැන උනන්දුවක් දක්වන්නකු පමණයි. ලෝකයේ ගණිතඥයන් යැයි කියන අයගෙන් බොහෝ දෙනකු බදියු ගණිතය ගැන කියන දේ සතපහකට මායිම් කරන්නේ නැහැ. ඒත් කිහිප දෙනකු බදියුගෙ විකාර කියවල තියෙනවා. ඔවුන් බදියුගෙ ගණිතය ගැන කියා ඇති දෙයින් තමයි මා ඒ ටික කිව්වෙ.
දර්ශනයේ තියෙනවයි කියන ඊනියා යථාර්ථය ගණිතය මගින් පෙන්නවන්න ගියා ම තමයි ඔය පටලැවිලි වෙන්නෙ. දර්ශනයට ගණිතය මත යැපෙන්න වෙනවා නම් දාර්ශනිකයන්ට ගණිතඥයන් කියන දෙයට ඇහුම්කන් දෙන්න වෙනවා. කලකට ඉස්සර කේම්බ්‍රිජ් විශ්වවිිිද්‍යාලෙ, හිටපු රසල් හා වයිට්හෙඩ් ගණිතය න්‍යායට (logic) ඌනනය කරන්න හැදුවා. ඒක අසාර්ථක බව ඔවුන් පස්සෙ කිව්ව. ඔවුන් දාර්ශනිකයන් ද ගණිතඥයන් ද කියන එක මා දන්නෙ නැහැ. කාලෝ ෆොන්සේකාට නම් රසල් දාර්ශනිකයෙක්. රසල් අ හිස්ටරි ඔෆ් වෙස්ටර්න් ෆිලොසොෆි (A History of Western Philosophy) කියලත් පොතක් ලියල තියෙනවා. අපට උගන්නපු ගණිත මහාචාර්ය ඩග්ලස් සූරියආරච්චි අමරසේකර දේශනවල දි නිතර රසල් ගැන කිව්වා. ඔහුත් රසල්ගෙ අනුගාමිකයෙක්. ඔහුට සවන් දීලත් අප රසල් කියෙව්වා. පාසලේදීත් ටිකක් කියවල තිබුණ. අර දැන් කියනව වගේ ඒවයෙ එච්චර රහක් තිබුණෙ නැහැ.
අපට ඒ කාලෙ රහ තිබුණෙ මාක්ස්වාදයෙ ට්‍රොට්ස්කිවාදයෙ. ඒ දවස්වල ඒක තමයි දර්ශනය. ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරයෙ පියා. අපට ට්‍රොට්ස්කි කියවලත් හතරවැනි ජාත්‍යන්තරය ගැන දැන ගන්න ලැබිල නැහැ. ඒක නම් ප්‍රශ්නයක්. සමහර විට ට්‍රොට්ස්කිත් දැනගෙන ඉන්න නැතිව ඇති දෙවැනි ජාත්‍යන්තරයෙන් පස්සෙ කිසිවක්. ඉස්සර පැරණි සමසමාජ පක්‍ෂෙත් හතරවැනි ජාත්‍යන්තරයෙ. හතරවැනි ජාත්‍යන්තරය කියා ගත්ත ජාත්‍යන්තර හතළිස්හතරක් විතර තියෙන්න ඇති.
අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ සමසමාජෙන් කැඩුණු විරෝධය කියල කණ්ඩායමක් තිබුණ. ඔවුන් හිතන් හිටියෙ පොලීසියට වෙන වැඩක් නැහැ තමන් පස්සෙ එන එක හැරෙන්න කියලා. පස්සෙ ඒ කණ්ඩායම විකාශය වෙලා කම්කරු මාවත බවට පත්වුණා. විජේගුණසිංහ තමයි පස්සෙ ඒකෙ නායකයා වුණෙ. ඔවුන් ජෙරී හීලිගෙ හතරවැනි ජාත්‍යන්තරයට සම්බන්ධ අය.
මාත් ඕස්ත්‍රේලියාවෙ ඉන්න දවස්වල ඔවුන් සමග තරමක් දුරින් සම්බන්ධකම් පැවැත්වුවා. එහෙත් අප අයත් වූයේ වෙනත් හතරවැනි ජාත්‍යන්තරයකට. මා සසෙක්ස් විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න දවස්වල ඒකෙ තිබුණ හතරවැනි ජාත්‍යන්තරයෙ කණ්ඩායමක්. මාත් ඒකෙ වැඩ කළා. ඒකේ නායකයා වුණෙ ඇලන් වුඩ්ස් කියල කෙනෙක්. ඔහු පස්සෙ කාලෙක වෙනිසියුලාවෙ චාවේස්ගෙ දේශපාලන උපදේශකයා වුණා.
එ හතරවැනි් ජාත්‍යන්තරයට ම තමයි පස්සෙ කාලෙක නව සමසමාජ පක්‍ෂය සම්බන්ධ වුණේ. ඒ හතරවැනි ජාත්‍යන්තරයට නායකත්වය දුන්නෙ ග්‍රාන්ට්. නැහැ අර ඊයෙ පෙරේදා වහලා දාපු අවුරුදු විසිඅටක් පමණක් විශ්වවිද්‍යාලයක් හැටියට බ්‍රිස්ටල් පැත්තෙ තිබුණු වෙස්ට් ඔෆ් ඉන්ග්ලන්ඩ් කියන ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලෙ ලෝක ප්‍රසිද්ධ දර්ශන අධ්‍යනංශයෙ ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයා නො වෙයි. එහෙ ම අයගෙන් ඉගෙන ගැනීමේ වාසනාව හැමෝට ම ලැබෙන්නෙ නැහැ. ලංකාවෙ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන අයට එහෙම අයගෙන් ඉගෙන ගන්න ලැබෙන්නෙ නැහැ.
මා කියන්නෙ ඒ ග්‍රාන්ට් ගැන නෙවෙයි ටෙඩ් ග්‍රාන්ට් ගැන. ඒ ග්‍රාන්ට් හා මේ ග්‍රාන්ට් හැර තවත් ග්‍රාන්ට්ලා ඉන්නවා ද? ටෙඩ් ග්‍රාන්ට්ට ග්‍රාන්ට් ලැබුණෙ නැහැ. ඒත් ඔහු කිහිප වතාවක් ම ලංකාවට ඇවිල්ල තියෙනවා. එක් වතාවක් නව සමසමාජ පක්‍ෂෙ සම්මේලනයකට ඇවිල්ල වීසා කාලය ඉවර වෙලත් හිටියා. පොලීසිය ඒ දවස්වල ඔහු හෙව්වා. ඒ දිනවල ඔහු හැංගිලා හිටියෙ මහරගම අපේ ගෙදර. ඒ දවස්වල අපිට ඒක වීර වැඩක්. අපි හිතුවෙ තවත් බ්‍රෙස්ගර්ඩ්ල් සිද්ධියක් කියලා. මට දුක ඒ දවස්වලවත් මට ග්‍රාන්ට්ගෙන් හතරවැනි ජාත්‍යන්තරය ගැන යමක් දැන ගැනීමට නොහැකි වීම ගැන සමහරවිට අනෙක් ග්‍රාන්ට් හමු වුණා නම් දැන ගන්න තිබුණා. රසල් කේම්බ්‍රිජ් විශ්වවිිද්‍යාලෙ ගණිතය ඉගෙන ගන්න ගිහින් ඒක එපා වෙලා දර්ශනය හදාරපු අයෙක්. බදියු කියල මහා දාර්ශනිකයෙක් පහළ වෙන බව රසල් දැනගෙන ඉන්න විධියක් නැහැ. ග්‍රාන්ට් ගැන දැන ගන්න කොහොමටවත් විධියක් නැහැ.
මට කියන්නෙ ඕන ඒ බදියු ගැන නොවෙයි බද්‍යුද්දීන්ලා ගැන. ඒත් බදියුගෙ කතාව දික් වුණා. බද්‍යුද්දීන්ලා සහෝදරයන් තුන් දෙනකු ඉන්න බවක් පේනවා. මා වැරදි වෙන්න පුළුවන්. මේ සහෝදරයන්ගෙන් එක් අයකු අත්අඩංගුවට අර ගත්තා. මෙරට සිවල් සාමාජිකයන්, පඬියන්, පඬි පෝතකයන්, පඬි නැට්ටන්, මානව අයිතිවාසිකම් අයිතිකරුවන් ආදීන් ඔහු අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වුණා. ඔවුන් කියා සිටියේ මහු අහිංසකයකු කියා.
ඔවුන් ඔහු නිවැරදිකරුවකු බව දැන ගත්තෙ කොහොමද කියලා මා දන්නේ නැහැ. මා අත්අඩංගුවට ගැනීම් ගැන දන්නෙ නැහැ. අත්අඩංගුවට ගැනීම් කරන්නෙ පොලීසිය. ඔවුන්ට යම් සාක්‍ෂි තියෙනව නම් තමයි බොහෝ විට අත්අඩංගුවට ගන්නෙ. එහෙම නැති වෙලාවලුත් තියෙනවා. කොහොම හරි අර සිවල් කට්ටිය දැනගෙන තියෙනවා හිටපු ඇමති බද්‍යුද්දීන්ගෙ සහෝදරයකු අත්අඩංගුවට අර ගෙන තියෙන්නෙ සාක්‍ෂි නැතිව කියල. ඒක දේශපාලන හේතුවක් මත පදනම් වෙලා කියන එක තමයි කිව්වෙ. ඔවුන් ඒ බව කොහොම හරි දැනගෙන.
කොමිසම ඉදිරියේ කියැවෙන්නෙ නම් වෙනත් දේවල්. මා කිසි නිගමනයකට එන්නෙ නැහැ. ඒක පස්සෙ කොමිසමෙන් හරි අධිකරණයෙන් හරි සිද්ධ වේවි. හිටපු ඇමති බද්‍යුදදීන් දේශපාලනයට සම්බන්ධයි. ඒකෙන් කියන්නෙ නැහැ ඔහුගෙ සහෝදරයත් දේශපාලනයට සම්බන්ධ කියා. පාස්කු ප්‍රහාරය පිටුපස හිටියෙ කවුද කියන එක හොයා ගන්න ඕන.
අපි වගේ නොවෙයි සිවල් කට්ටිය. ඔවුන් උගතුන් බුද්ධිමතුන් පඬියන් හා තවත් අය. ඔවුන් කියන දෙය රටේ ජනතාව සතපහකට ගණන් ගන්නෙ නැති එක වෙන ම කතාවක්.ඒත් මා දැනගන්න කැමතියි ඔවුන් බද්‍යුද්දීන් නිවැරදි කරුවකු හැටියට නිගමනය කෙළේ කොහොම ද කියල දැනගන්න. එයට ඊනියා තාර්කික පදනමක් තිබුණ ද? එහෙම නැත්නම් ඊනියා විචාරාත්මක පදනමක් තිබුණ ද? එහෙමත් නැත්නම් ආණ්ඩුව ගැන අවිශ්වාසයක් තිබුණ ද? ඔවුන් විශ්වාසය මත වැඩ කරන්නෙ නැහැ. තර්කය ගැන විශ්වාසයක් තියෙනවා, එච්චරයි. බද්‍යුද්දීන් ගැන බදියු මොන වගේ නිගමනයකට ඒවි ද?