Main Logo

Sunday 7 June 2020

සිංහල ජාතිකත්වය වම හා දෙමළ ජාතික සංධානය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9




සිංහල ජාතිකත්වය වම හා දෙමළ ජාතික සංධානය 

සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් එක්වන තරමට දෙමළ ජාතිවාදය (එය ජාතිවාදය නමින් හැඳින්වුව ද දෙමළ ජාතියක් තබා ජනවර්ගයක්වත් නැහැ) හා මුස්ලිම් අන්තවාදය මෙරටින් නැති කරන්න පුළුවන්. සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් දේශපාලනික ව අනාථයන් බවට පත් ව සිටි සමයක බණ්ඩාරනායක රාජපක්‍ෂ ආදීන් එ ජා පක්‍ෂයෙන් කැඩී ඒමෙන් පසුව සිංහල ජාතිකත්ව පක්‍ෂයක ආරම්භය සනිටුහන් වුණා. එහෙත් එය 1951ට වඩා 1952 දී මින්නේරිය අතුරු මැතිවරණය සමග සිදු වූ දෙයක්. එතෙක් ලංකාවේ පැවතියේ ජාත්‍යන්තරවාදී පක්‍ෂ වූ සමසමාජ පක්‍ෂයත් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත්. ඒව බටහිර විවිධ ජාත්‍යන්තරවාදී මත අනුව සකස් වූ පක්‍ෂ. 


එයට අමතර ව බටහිරයන්ගෙ වෙල්ලාලවාදයත් මෙරට තිබුණා. ඒ දහනවවැනි සියවසට පෙරත් තිබුණා. එය බටහිරයන්ගේ, පළමුව ලන්දේසීන්ගේ දෙවනුව ඉංගිරිසින්ගේ නිර්මාණයක්. එය පොන්නම්බලම් - කුමාරස්වාමි පවුලේ නැගීමත් සමග දේශපාලන වශයෙන් ශක්තියක් ලැබුවා. ඔවුන් පසුව එ ජා පක්‍ෂය සමග සහජීවනයක් පවත්වාගෙන ගියා. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්ව පක්‍ෂය බවට පත්වීමෙන් පසුව ඔවුන්ට එ ජා ප සමග තිබූ ඇයි හොඳයිකම් දෙදරන්න වුණා. 

ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ඊනියා ෆෙඩරල් පක්‍ෂය ඉංගිරිසින්ට අවශ්‍ය රට බෙදීම වෙනුවෙන් පිහිටුවන ලද පක්‍ෂයක්. එහි විකාශය සමග ප්‍රභාකරන් පමණක් නොව දෙමළ ජාතික සංධානය ද ඇති වුණා. අද ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ ඊළම් සිහිනය දකිනවා. දෙමළ ජාතික සංධානයත් කැඩී යෑමට ආසන්නයි. මට අවශ්‍ය වන්නේ විශේෂයෙන් ම ඒ ගැන කතා කරන්න ඒත් වම ගැනත් වචනයක් නොකියා බැහැ.

ශ්‍රී ල නි පක්‍ෂය බිහිවන තෙක් සමසමාජ පක්‍ෂයට (හා කොමියුනිස්ට් පක්‍ෂයට) තරග කිරීමට සිදුවූයේ තවත් වර්ගයක ජාත්‍යන්තරවාදීන් වූ එ ජා ප සමග. ශ්‍රී ල නි පක්‍ෂය බිහිවීමත් සමග වමට කළ යුත්තේ කුමක් කියා හිතාගන්න බැරි වුණා. ලෙනින්ගේ කළ යුත්තේ කුමක් ද පොතේ ඒ ගැන යමක් කියැවෙන්නේ නැහැ. වමට පැවත්මක් නැති වුණා. එය කැඩී බිඳී ගොස්. අද ඒ කෑලිවත් පේන්නෙ නැහැ. ජාතිකත්වයට මුහුණ දීමට නොහැකි වූ වම විශේෂයෙන් ම ට්‍රොට්ස්කිවාදීන්, එකල ලක්සම්බර්ග්, පැබ්ලෝ, මැන්ඩෙල් පමණක් නොව ග්‍රාම්ස්චි, අල්තුසර් ආදීන් ද කියෙවුවා. සමහරු පැබ්ලෝවාදීන් මැන්ඩල්වාදීන් ලෙසත් හඳූන්වනු ලැබුවා. 

නොනවතින විප්ලවය, අසම හා ඒකාබද්ධ සංවර්ධනය ආදිය ගැන මෙන් ම ඊනියා අපෝහකය ගැන මාත් දේශන පවත්වල තියෙනවා. මා කැමති ලේඛකයකු වුණෙ ජෝර්ජ් නොවැක්. ඔහු අපෝහකය ගැන ලියා තියෙනවා. අයියෝ මාගේ යෞවන කාලේ මෙහෙම ද ගතවුයේ කියලත් හිතෙනවා. ඒ වෙනුවට තපස්සු භල්ලුක ගැන කියෙවුවා නම් රටට කොච්චර හොඳ ද? 

ඒ මොනව කියෙවුවත් හතරවැනි ජාත්‍යන්තරයෙ හතළිස් හතරක් පමණ වූ ජාත්‍යන්තර ගැන කතා කළත් බිරිතානියේ හීලි, ග්‍රාන්ට් කවුරු  ආවා ගියත් මාක්ස්වාදයට ජාතිකත්වයට මුහුණ දෙන්න බැරි වුණා. ට්‍රොට්ස්කිවාදය ගඩුගුඩාවක් පමණක් බවට පත් වුණා. සුපිරි මාක්ස්වාදීන් ටිකක් පසුව X කණ්ඩායම ලෙස සංවිධානය වුණා. කලින් හිටි මාක්ස්වාදීන්ට නම් තරමක බුද්ධියක් තිබුණා. මොවුන්ට එහෙම හැකියාවක් තිබුණෙ නැහැ. ජාතිකත්ව දේශපාලනය හමුවේ ඔවුන් සී සී කඩ ව ගියා. 

දැන් ජාතිකත්වයට එරෙහිව පඬි නැට්ටන් ටිකක් සකර්බර්ගෙ පිටුවල බඩ පිනුම් ගහන්න උත්සාහ කරනවා. ඔවුන් කිසිම හැකියාවක් ඇති අය නො වෙයි. බඩ පිනුම් ගහන්නවත් බැහැ. ලකාන් ජිජැක් බදියු ආදීන් ගැන කතා කළත් ඒ කිසිම දැනුමකට ජාතිකත්වයට මුහුණ දෙන්න බැහැ. අද මාක්ස් එංගල්ස්  ලෙනින් ගේ  ඊනියා භෞතික යථාර්ථය කුඩු පට්ටම් වෙලා. බටහිර සමහරු ඊනියා භෞතික නොවන ගණිතමය යථාර්ථයක් ගැන කතා කරනවා. 

එහෙත් බටහිර ගණිතය ම ඇරිස්ටෝටල්ගේ ද්විකෝටික න්‍යාය මත පදනම් ව අසංගත වද්දී, එයත් මිනිසුන්ගෙ තවත් සංස්කරණයක් (නිර්මාණයක්) බව පැහැදිලි වෙද්දි මොන යථාරථ කතා ද? කුලකවාදයෙ කුලකයක අවයවයක් නිර්වචනය කිරීමත් ප්‍රශ්නයක්. ඇර්ස්ටෝටල්ගෙ ද්විකෝටික න්‍යාය එක්ක උපකුලකයක අනුපූූරකය අර්ථදැක්වීමේ දී ම ප්‍රශ්න එනවා. නරක ද වෙන න්‍යායක් මත පදනම් ව ගණිතයක් ගොඩ නැගුවොත්.  

දෙමළ ජාතික සංධානයට අද සිංහල ජාතිකත්වයට මුහුණ දෙන්න බැහැ. සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය ජය ගැනීමට හැකි බව අප පෙන්වා දෙද්දී ඇතැම් ජාතිකවාදීන් ද සැක පහළ කළා. එහෙත් එය සිදු වුණා. අවශ්‍ය ව ඇත්තේ සිංහලජාතිකත්ව කඳවුර තවත් තහවුරු කර ගැනීම. දේශපාලනය සරල රේඛාවක මෙන් ඉදිරියට යන්නක් නො වෙයි. එහි පසුබැසීම් තියෙනවා. අද ඇති මේ ජාතිකත්වය, පසුබැසීම් එක්ක වුණත් ඉදිරියට ගෙන යන්න ඕන. 

එහි දී මගේ එක් ඉල්ලීමක් තියෙනවා. දේශපාලනඥයන්ගෙ දේශපාලනයෙහි නොයෙදෙන දූලා පුතාලා පොඩ්ඩක් ජනමාධ්‍යයෙන් ඉවත් වෙලා ඉන්න. දහම් සිරිසේන දැන් දකින්න නැහැ. ඒක හොඳයි. මේ අය දේශපාලනයට එනව නම් ඒක වෙන ම වැඩක්. අර හිරුණිකා වගේ. දේශපාලනයෙ නැත්නම් ජනමාධ්‍යයෙන් ඈත් වෙලා ඉන්න. 

සිංහල ජාතිකත්වය කියන්නෙ සමජාතීය දෙයක් නො වෙයි. එහි විවිධ මට්ටම්වල ජාතිකත්ව ඇති අය ඉන්නවා. අවශ්‍ය වන්නේ ශක්තිමත් නායකත්වයක්. ප්‍රභාකරන්ගෙ පරාජයෙන් පසු දෙමළ ජාතික සංධානය හිඩැස පුරවන්න හැදුවා. ප්‍රභාකරන් ඉන්න කාලෙ දෙමළ ජාතික සංධානය ප්‍රභාකරන්ගෙ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස ක්‍රියා කළා. ප්‍රභාකරන්ගෙ මරණයෙන් අවුරුදු දහයකට පස්සෙ ඒ දේශපාලනයට තවත් පැවැත්මක් නැහැ. 

ඔවුන් අර වම වගේ ම බෙදෙනවා. සුමන්තිරන් සම්බන්ධන් වැනි අය තේරුම් ගෙන ඉන්නවා දෙමළ ජනයාට වී ඇති ඊනියා අසාධාරණ ගැන කිය කිය තවදුරටත් දේශපාලනය කරන්න බැහැ කියලා. එහෙත් විග්නේස්වරන් වැනි අය ඒ බව තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැහැ. ශිවාජිලිංගම් වැන්නන් කරන්නෙ රංගනයක්. තමලිනිගෙ පොත කියෙවුවොත් මේ දේ යම් ප්‍රමාණයකට හරි තේරුම් ගන්න පුළුවන්. ඔය හැම පොතක් ම කියවන්න ඕනෙත් නැහැ. වැඩියෙන් කල්පනා කරන්න. 

සම්බන්ධන් තමන්ගෙ ජීවිතයෙ අවසන් කාලය ගෙවන්නෙ. සුමන්තිරන් සජිත්ට වඩා තරුණ ද කියල මට නිච්චියක් නැහැ. දි අයිලන්ඩ් පත්තරේ ෂමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩු කියන ආකාරයට ගෝලිය දෙමළ සංසදයෙ සුරේන් සුරෙන්දිරන් ඉන්නෙත් සම්බන්ධන් හා සුමන්තිරන් එක්ක. ඔවුන් සිංහල ජාතිකත්වයට පක්‍ෂ නැහැ. එහෙත් ඔවුන්ට තේරෙන්න ඕන බටහිරයන්ගෙ ඕනෑ කමට සිංහල විරෝධී දේශපාලනයක තවත් නිරත වෙන්න බැහැ කියන එක. සිංහල ජාතිකත්වය ශක්තිමත් වන තරමට ඔය සියළු සිංහල විරෝධී සංවිධාන වම වගේම බිඳ වැටෙනවා. අද දේශපාලනය විය යුත්තේ සිංහල ජාතිකත්වය තව තවත් ශක්තිමත් කර සියළු ජන කොටස් ශක්තිමත් කිරීමයි.