Main Logo

Sunday 28 June 2020

එම්සීසී මයිලෝ හා ජාතික ව්‍යාපාරය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





එම්සීසී මයිලෝ හා ජාතික ව්‍යාපාරය



ගුණරුවන් වාර්තාව පිළිබඳ ව එතරම් අවධානයට ලක් නොවූ කරුණු දෙකක් තියෙනවා. එකක් ඒ වාර්තාව සිංහලෙන් පළ වී තිබීම. වෙනත් කමිටු කොමිසම් වාර්තා ඉංගිරිසියෙන් පමණක් නිකුත් වෙලා ටිකක් කල් ගිහින් සිංහලට පරිවර්තනය කෙරෙනවා. වාර්තාව සිංහලෙන් පළ කිරීම පිළිබඳ සභාපතිතුමාටත් සෙසු සාමාජික මහතුන්ටත් අපේ ප්‍රණාමය පළ කරන්න ඕන. මෙය පුදුම තත්වයක්. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වී අවුරුදු හැටහතරකට පස්සෙත් අපි වාර්තාවක් සිංහලෙන් පළකිරීම පිළිබඳ ව ප්‍රණාමය පළ කරනවා. 


මෙහි දී මියන්මාරය ගැනත් වචනයක් නොකියා ම බැහැ. මියන්මාරයේ විදේශ අමාත්‍යාංශය අපටත් අනෙක් තානාපති කාර්යාලවලටත් ලිපි යවන්නේ මියන්මාර භාෂාවෙන්. ඒ ලිපි පරිවර්තනය කිරීමට අපට පරිවර්තයකු අවශ්‍ය වනවා. ඔවුන් අපට ඉංගිරිසියෙන් ලිපි එවන්නේ නැහැ. එහෙත් අපේ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය අපට ලිපි එවන්නේ ඉංගිරිසියෙන්! මා පසුගිය සතියේ තීරණයක් ගත්තා මා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට යවන ලිපි සිංහලෙන් යැවීමට. 

මට මෙහි දී මතක් වෙනවා මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති වීමෙන් පසුව එහි වැඩ කටයුතු සිංහලෙන් කිරීමටත් රැස්වීම් වාර්තා සිංහලෙන් ලිවීමටත් ගත් තීරණය. එයට ඇතැම් ආචාර්යවරුන් විරුද්ධ වුණා. ඒත් ප්‍රසිද්ධියේ කිසිවක් කීවේ නැහැ. ඔවුන්ට වඩා පුළුවන් සිංහල ද ඉංගිරිසි ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් ඒ බොහොමයක් උසස් පෙළ පරීක්‍ෂණයට සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අය. ඔවුන්ට සිංහල බැරි වන්න හේතුවක් නැහැ. මා පීඨාධිපති ධුර කාලය අවසන් වී සේවය නිමවා පැමිණීමෙන් පසු ඔවුන් නැවතත් ඉංගිරිසියෙන් වාර්තා ලියනවා! 

ගුණරුවන් වාර්තාවේ සඳහන් තවත් වැදගත් කරුණක් වන්නේ එහි  සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලියේ ඉතිහාසය පිළිබඳ කියන කොටස. අදාළ ප්‍රදාන ලබා ගැනීම සඳහා ලංකාව සුදුසු බව ආණ්ඩුවට දන්වා තිබෙන්නේ 2004 පෙබරවාරි 11 වැනි දින. එහෙත් වාර්තාවට අනුව රජය ඒ ගැන ප්‍රතිචාරයක් දැක්වූ බවට ලේඛන නැහැ. එසේ වුවත් 2004 දෙසැම්බර් 29 වැනි දින ඇමරිකානු තානාපති කාර්යාල සටහන්වලට අනුව එවකට ශ්‍රී ලංකා ජය ප්‍රතිචාර දක්වා තියෙනවා. ලංකාවේ ඒ ලේඛන අස්ථානගත වූයේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නගිනවා. 

ඉන්පසුව 2005 නව රජය බලයට පත් වීමෙන් පසුව ද 2005 දෙසැම්බර් 08 හා 2006 දෙසැම්බර් 07 දින දරණ ලිපිවලින් එම්සීසී ආයතනය මේ ගැන රජයේ අවධානයට නැවත යොමු කෙරුණ ද 2015 වන තුරු ප්‍රතිචාරයක් දක්වා නැහැ. 2015 අගෝස්තු මස පත් වූ රනිල් සුමන්තිරන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් එම්සීසී ආයතනය සමග ක්‍රියා කිරීමට පටන් ගෙන තියෙනවා. 2015 දෙසැම්බර් 16 වැනි දින සිට 2018 ඔක්තෝම්බර් 5 පමණ දක්වා වූ එ ක්‍රියාකාරකම් ගුණරුවන් වාර්තාවේ 2 සිට 5 දක්වා පිටුවල සඳහන් වෙනවා. මා ඒ දීර්ඝ විස්තරය මෙහි කරන්නේ නැහැ. අවශ්‍ය අයකුට පහත සඳහන් සබැඳියෙන් වාර්තාව කියවන්න පුළුවන්.
මේ විස්තරයේ අවසාන වශයෙන් කියැවෙන්නේ 2018 වසරේ අග සංයුක්ත ගිවිසුම අත්සන් කිරීමට නියමිත තිබූ බවත් 2018 ඔක්තෝම්බර් 1 සිට 5 දක්වා වොෂිංටන් හි ඒ පිළිබඳ අවසන් රැස්වීම් තිබූ බවත්. යම් විධියකින් රනිල් 2018 වසර අග දක්වා බලයෙහි සිටියේ නම් ගිවිසුම අත්සන් කරන බව ඉතා පැහැදිලියි. අප රනිල් අගමැති කමෙන් ඉවත් කළ යුතු යැයි කීවේ මේ විස්තර කිසිවක් දැන ගෙන නොවෙයි. ඔහුගේ ප්‍රතිපත්ති මොනවා ද කියා දත් නිසාත් ඔහුට රටට විනාශයක් මිස යහපතක් ගෙන දෙන්නකු නොවන බව දත් නිසාත්.

රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමට හැකියාව තිබුණේ මෛත්‍රිපාල සිරිසේනට පමණයි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වී හංසයාගෙන් ජනාධිපති ධුරයට තරග කිරීම තදබල වරදක්. එහෙත් ඔහු එසේ කිරීමටත් හේතුවක් තිබුණා. මට මේ අවස්ථාවේ තුවාල පාරන්න අවශ්‍ය නැහැ. මෛත්‍රිපාල ජනාධිපති වූ දින ම ඔහුට විරුද්ධත්වය පළ කර මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකත්වයෙන් අස්වුණා. ඒහෙත් මැතිවරණයක් පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නැති අවස්ථාවක රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමේ හැකියාව තිබූ එක ම පුද්ගලයා සිරිසේන. 

අප රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමට මෛත්‍රිපාල සිරිසේනට ශක්තිය ලබා දිය යුතු යැයි කීවේ ඒ නිසා. එහෙත් ජාතිකවාදීන් සියලු දෙනා ම පාහේ එයට විරුද්ධ වුණා. ඔවුන් මට සිරිජාතිකවාදියා කියා නමක් ද පටබැන්දා. ශක්තිය ලබාදෙන්න මෛත්‍රිපාලට මයිලෝ පොවන්න ඇතැම් ජාතිකවාදීන්ට අවශ්‍ය වුණා. එහෙත් 2018 ඔක්තෝම්බර් 26 වැනි දා මහින්ද අගමැති නොකරන්න ගුණරුවන් වාර්තාවක් අවශ්‍ය වන්නේ නැහැ. 

මා මෙය ලියන්නේ ගෞරවයක් අපේක්‍ෂාවෙන් නො වෙයි. ජාතිකවාදීන් මට කෙසේවත් ගෞරවයක් ලබා නොදෙන බව මා දන්නවා. ජාතික යැයි කියන ජනමාධ්‍යයෙහි මට ලැබුණු ඉඩකඩ මා දන්නවා. ජාතික ව්‍යාපාරය යන අතත් මට තේරෙනවා. ඒ සකර්බර්ග් වම්මුන් හිතන පැත්තකට නො වෙයි. මෙරට සිංහල ජාතිකත්වය දැන් තහවුරු වී අවසන්. මා මේ වන විට ජාතික ව්‍යාපාරයේ ඇති නැති ගානයි. ජාතික ව්‍යාපාරයෙන් මුළුමනින් ම නැති වුවත් සෑහෙන ප්‍රමාණයකට මා ඉවත් කෙරී තිබෙනවා. ඒ කෙසේ වුවත් ගිවිසුම අත්සන් කිරීම වැළැක්වීමට මගෙන් සුළුවෙන් හරි ආධාරයක් වී ඇත්නම් මා සතුටු වෙනවා.