෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
මියන්මාර රන්සෑය හා සෑනුවර
අද අපේ මියන්මාර නිරෝධායන කාලය අවසන් වෙනවා. සති හතරක් කියන්නෙ තරමක කාලයක්. ඒ සති හතරෙ ගෙයින් එළියට යන්න බැහැ. අපේ තානාපති කාර්යාලය පිහිටා තියෙන්නෙත් මේ ඉඩමෙමයි. ඒකටවත් යන්න බැහැ. මා සමහර වැඩ ගෙදර ඉඳන් කළා. සඳුදා තමයි පළමු වතාවට කාර්යාලයට යන්න වෙන්නෙ.
අප ඉන්නා ප්‍රදේශයට කියන්නෙ දගොන් නගරය (Dagon Township) කියලා. ෂ්වෙදගොන් චෛත්‍යය තියෙන්නෙ මේ අසල. එහි ෂ්වෙ කියන්නෙ රත්්තරන්. දගොන් කියන්නෙ චෛත්‍යය. එවිට ෂ්වෙදගොන් කියන්නෙ රත්රන් චෛත්‍යය නැත්නම් රන්සෑය. මට මෙහි වැදගත් වන්නෙ දගොන් කියන වචනය. එය දාගැබ් සමග සම්බන්ධයක් තියෙනවා ද? හොයල බලන්න ඕන.
තානාපති නිල නිවස හා කාර්යාලය තියෙන්නෙ දගොන් නගරයේ. බොහෝ තානාපති කාර්යාල පිහිටල තියෙන්නෙ මේ නගරයෙ. එය යැන්ගොන් නුවර කොටසක්. කොහොමටත් දගොන් කියන්නෙ චෛත්‍යය නිසා අප ඉන්නා ප්‍රදේශය සෑනගරය එහෙමත් නැත්නම් සෑනුවර කියල හඳුන්වන්න පුළුවන්.
මියන්මාරයෙ ඇවිදින්න බැරි වූ නිසා රට බලා ගන්න බැරි වුණා. එහා පැත්තෙ තියෙන තානාපති කාර්යාලෙට යන්න බැරුව මොන රට බැලිල්ලක් ද? එහෙත් දන්න අය කියන්නෙ මියන්මාරෙ පාරවල තවමත් පෑරණි පාලි භාෂාවේ නම් තියෙනවා කියලා. ඔවුන් ඉංගිරිසින්ට යටත්ව හිටියෙ ටික කාලයයි. ඔවුන් තමන් යටත් ව සිටි බවවත් පිළිගන්න කැමති නැතිලු. මේකත් මා ඇසූ ප්‍රවෘත්තියක් පමණයි.
මට පාරෙ යන මිනිසුන් තමයි පේන්නෙ. ඒ අතරෙ කාර්යාලයෙ වැඩ කරන අයත් ඉන්නවා. ඔවුන් හරිම ආචාරශීලියි. එය අව්‍යාජයි. නිහතමානියි. ගැහැණු උදවිය අඳින්නෙ ලොන්ගිය වෙන්න ඇති. එය ලංකාවෙ ලුංගිය වගේ එකක්. ලූංගිය කියන වචනෙ අප මියන්මාරයෙන් ගත්තා වෙන්න පුළුවන්. පිරිමි අඳින්නෙත් ලොංගියක් ම තමයි. එය සරම වගේ. එහි ඔවුන් අමුතු ගැටයක් ගහනවා. පටියක් බඳින්නෙ නැහැ. ඒත් සරම නැත්නම් ලොංගිය කැඩෙන්නෙ නැහැ.
මා කිවුවෙ ෂ්වෙදගොන් චෛත්‍යය මුලින් ම කරවල තියෙන්නෙ ඔක්කලාප (මෙහි උච්චාරණය පසුව දැන ගන්න ඕන) රජු. ඔහු තපස්සු භල්ලුකට බුදුහාමුදුරුවන් කී සිංගුත්තර කන්ද හොයා ගෙන එතැන ෂ්වෙදගොන් චෛත්‍යය ගොඩනගා තියෙනවා. ඒ රජු හිටියෙ මොන ප්‍රදේශයෙ ද කියන එක ගැන මට තවම දැන ගන්න බැරි වුණා. ඒ කොහොම වුණත් තපස්සු භල්ලුක මියන්මාරයට ගොඩ බැහැල තියෙන්නෙ යැන්ගොන් කිට්ටු ප්‍රදේශයක කියල කියනවා.
මේ තැන් බලන්න යන්න ඕන. කතන්දරත් අහන්න ඕන. කතන්දරවල ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසය කියන්නෙත් කතන්දරයක්. ඉතිහාසය විතරක් නොවෙයි බටහිර විද්‍යාවෙ තියෙන්නෙත් කතන්දර පමණයි. ඊනියා උගතුන් කියන කතන්දරවලට ප්‍රවාද කියනවා. සාමාන්‍ය මිනිසුන් කියන කතන්දරවලට ජනප්‍රවාද කියනවා. ජනප්‍රවාද ගැනත් කතන්දර කියන්න ජනශ්‍රැතිවේදීන් ඉන්නවා.
තපස්සු භල්ලුක මියන්මාර වැසියන් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඔවුන් මාර්ගඵල ලැබූ බවට සඳහන් වන සඳකිඳුරු දා කව සන්නය වැරදි විය යුතු බව මා කලින් ලිපියක සඳහන් කළා. මගේ නිගමනයට හේතු වූයේ එහි කියැවුණෙ අටවැනි සතියෙ බුදුහාමුදුරුවන් බැහැ දුටු ඔවුන්ට එදින දහම් දෙසීමට ඉඩක් නැති වීම. බුදුහාමුදුරුවන් දහම් දෙසන්න තීරණය කෙළෙ ඉන්පසුව සහම්පති බ්‍රහ්මයා මුණ ගැසීමෙන් පසු. මේ සන්නයෙ කියැවෙන්නෙ නැහැ පසු කලෙක තපස්සු භල්ලුක බුදුහාමුදුරුවන් මුණ ගැසුණු කතාවක්. මෙහි පැහැදිලි ව කියැවෙන්නෙ අටවැනි සතියෙ හමුවීම ගැනයි.
මගේ නිගමනය සනාථ කරමින් මට පූජ්‍ය සුගුණසිරි හිමියන් සඳකිඳුරු දා කවේ අදාළ කවි එවා තියෙනවා. ඒ මෙසේයි.
157 ගැල් ගෙනැ යන එ ස ඳ
තපුස් බල්ලුක දෙවෙළෙ ඳ
දුන් මීපිඬු පැහැ ද
නො පිළිගෙනැ වැඩැ ඉඳිත මුනි ස ඳ
158 සිතැඟි දැනැ මුනි ඳුන්
දුන් සිවුවරම් සුරි ඳුන්
නිල්මිණිපාන ඳුන්
අකැප යැයි ඒ නො පිළිගෙනැ දුන්
159 කැප නො වන ඒ පා
වූයෙන් මුනිඳුට ඒ පා
මුන්වන් සිලා පා
දුන්නු සතරක් සතරවත් පා
160 කුලණෙන් උන් කෙ රේ
පිළිගෙනැ එ පා සත රේ
එකක් කොටැ විත රේ
ඉටු සඳැ පෙනෙන ලෙස තෙහි රේ
161 නො කළ හැකි පින් පු ඬු
එ පයෙහි බහා මී පි ඬු
සැදැහැයෙන් නූ අ ඩු
වළඳවා වෙළෙඳු බැතිපෙම් වැ ඩු
162 එ සඳෙහි මුනිස ඳා
දෙසා සදහම් පැහැ දා
උතුමඟ පිරිමැ ඳා
දිනි යැ ඔවුනට මිටක් කෙස් දා
163 අජපල් නුඟ මුල ට
ඉතා පැහැදිලි ව කාව්‍යයෙහි මාර්ගඵල ලැබූ කතාවක් නැහැ. එය සන්නයේ දී එකතු වූවක්. එහෙම වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවන් තපස්සු භල්ලුකට අනුමෝදනාවකට වඩා දෙයක් නොකරන්න ඇති. ධර්මය දේශනා කළා නම් මිගදාය පස්වග මහණුන් කතා ඉවත් කරන්න ඕන.