Main Logo

Thursday 8 October 2020

බ්‍රැන්ඩික්ස් පොකුර හා දුම් හට්ටිය

 

බ්‍රැන්ඩික්ස් පොකුර හා දුම් හට්ටිය

 

ආණ්ඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන විධියට වැඩ කළා නම් බ්‍රැන්ඩික්ස් පොකුර නවත්ත ගන්න තිබුණා කියල කියනවා. මා ඒකට ඇඟලුම් පොකුර වගේ නමක් කියන්න යන්නෙ නැහැ. බ්‍රැන්ඩික්ස් මෙයට වග කිවයුතු වුණත් නැතත් පොකුරේ මුල එතැන වෙන්න ඕන. මා ඒකෙන් කියන්නෙ පළමු වැනි රෝගියා හමුවුණේ එතැනින් කියන එක නොවෙයි. පොකුරේ ව්‍යාප්තිය බ්‍රැන්ඩික්ස් හරහා සිදු වී ඇති බව පැහැදිලියි.

 

ආණ්ඩුවට කරන්න තිබුණෙ පාදෙණිය හරි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙ ලොක්කෙක් කවුරු හරි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරල සංගමයෙ උපදෙස් අරගෙන කොවිඩ් මර්දනය කරන්න. පීසීආර් පරීක්‍ෂණ දවසකට කොච්චර කරන්න ඕන ද දවසකට කී සැරයක් අත් හෝදන්න ඕන ද, අත් හෝදන එක තත්පර කීයක් කරාම ඇති ද ආදී දහසකුත් එකක් ප්‍රශ්නවලට ඒ වෙදමහත්තුරු උත්තර දේවි. මා කියන්නේ ඒ ප්‍රශ්නවලට උත්තර එපා කියන එක නොවෙයි.

බ්‍රැන්ඩික්ස් පොකුරට ඇඟලුම් පොකුර කිවුව ම වෙනත් ඇඟලුම් ආයතනවලටත් ප්‍රශ්නයක් එනවා කියා ඇඟලුම් කියන එක කපා දමමු ද? එතකොට පොකුර විතරක් තියේවි. මල් පොකුරට ඒකෙන් අවමානයක් වෙන නිසා එකත් කපල දාමු. අර මාළු ලෑල්ලෙ කතාව මතක ද? බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා කවුද කියා හොයා ගන්න එක වැදගත්. ඒ මින් ඉදිරියට එවැනි පළමු රෝගීන් ඇති වීම වැළැක්වීමට. 

පළමු රෝගියා සැප්තැම්බර් 20 පමණ වාර්තා වෙනව කියනවා. අර ඉන්දියාවෙ විසාකාපට්නම් කර්මාන්ත ශාලාවෙ ඉඳන් පිරිසක් ඇවිත් තියෙන්නෙ සැප්තැම්බර් 22 කියනවා. එහෙම නම් ඔවුන් නිරෝධායනයට ලක් කළත් නොකළත් පළමු රෝගියා සැප්තැම්බර් 22 කණ්ඩායමේ වෙන්න බැහැ. ඒත් අපට අහන්න පුළුවන් ඒ කණ්ඩායම හැරෙන්න වෙනත් විසාකාපට්නම් කණ්ඩායම් තියෙනවා ද? ඒ වෙනත් කණ්ඩායම් හැරෙන්න විසාකාපට්නම් නැතිව වෙනත් තැනකින් පැමිණි කණ්ඩායම් තියෙනවා ද?

පළමු රෝගියා එහෙම පිටතින් පැමිණි කණ්ඩායමක අයකු නොවේ නම් ඒ අයට රෝගය බෝ වුණේ කාගෙන් ද? ඒ අයට බෝ වුණේ කාගෙන් ද ආදී වශයෙන් ප්‍රශ්න වැළක් අහන්න පුළුවන්. ඒ බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා ලංකාවෙන් හිටි ගමන් ප්‍රාදුර්භූත වුණා ද කොහොම ද කියා දැන ගන්න. අර කටුනායක ගුවන්තොටුපළේ කාට හරි රෝගය වැළඳිලා ද? මා දන්නේ නැති නිසයි අහන්නෙ. කොහොමටත් ගුවන් තොටුපළවල සේවය කරන්නන් නම් නිතර පීසීආර් පරික්‍ෂණවලට ලක් කරනවා නම් හොඳයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් උපදෙස් ගන්න පුළුවන්.

 ඒ වගේ ම එවැනි තැන්වල සේවය කරන අයට දුම් හට්ටිය අල්ලන ලෙස උපදෙස් දෙනව නම් හොඳයි කියල හිතනවා. ඔවුනට පමණක් නොවෙයි නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අයටත් සේවය කරන අයටත් දුම් හට්ටිය හොඳයි කියල මට හිතෙනවා. ලංකාවට ම එය නිර්දේශ කළත් කමක් නැහැ. ඒත් මේ ගැන සිංහල වෙදමහතුන්ගෙන් හා ආයුර්වේද වෙදමහතුන්ගෙන් කරුණු දැන ගන්න ඕන. ඒ ගැන බටහිර වෙදමහත්තුරුන්ගෙන් අහන්න ඕන නැහැ. බටහිර වෙදමහත්තුරුන්ට කියමු ඔය කොවිඩ් 19 වෛරසය රෙදි වගේ විවිධ පෘෂ්ඨවල කොපමණ කාලයක් පවතිනවා ද කියා දැන ගැනීමට ඔවුන් දන්න තාලෙ පර්යේෂණයක් කරන්න කියල. 

හැබැයි ඒක අර අපයෝජනයට පත් වුණු ළමුන්ගෙන් 90%ක අධ්‍යාපනය කඩා කප්පල් වෙලා කියල නිගමනයකට ආපු ජාතියේ පරයේෂණයක් ගවේෂණයක් නිරීක්‍ෂණයක් නොවිය යුතුයි. ඒ පර්යේෂණය හරි මොකක් ද එක හරි ගැන පත්‍රිකාවක් එහෙම ලියල තියෙනවා ද?  මට නිකම් හිතුණ ළමා අපයෝජනයට ලක් වෙලා අධ්‍යාපනය සාර්ථක කරගෙන අද ඉහළ යැයි කියන තනතුරු දරණ කී දෙනකු තමන් අපයෝජනයට ලක් වූ බව කියාවි ද කියා. 

බටහිර වෙදමහත්තුරුන්ට වඩා හොඳට හමුදාපති ෂවේන්ද්‍ර සිල්වත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණත් අප අනුගමනය කරන්න ඕන පිළිවෙත් ගැන කියල දෙනවා. ඔවුන් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියනව නම් මට ඇහිලා නැහැ. ඒක නම් වැදගත්. ඔය විද්‍යාත්මක ක්‍රමයක් කියල එකක් නැහැ. නිවුටන්ගෙ ක්‍රමය, නිව්ටෝනීය නැත්නම් සම්භාව්‍ය භෞතික විද්‍යාවට පමණක් සීමා වෙනවා. තාපගතික විද්‍යාවට හරි නිර්ජාගොඩ ක්වොන්ටම් භෞතික විද්‍යාවට හරී ඒක ගැලපෙන්නෙ නැහැ. ජාගොඩ ක්වොන්ටම් භෞතික විද්‍යාවට නම් ඒක ගැලපෙනවා. රසායන විද්‍යව ජීවවිද්‍යාව ආදියට නිවුටන් හරියන්නෙ නැහැ. සමාජයීය විද්‍යා සම්භාව්‍ය භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගහනවා. බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නෙ තාක්‍ෂණවේදයක්. ඉංජිනේරු විද්‍යාවත් එහෙමයි.

බටහිර වෛද්‍ය විද්‍යාව, ආයුර්වේදය, සිංහල වෙදකම කියන්නෙ වෙදකම් තුනක්. ලෝකෙ තවත් වෙදකම් තියෙනවා. සිද්ධ යුනානි ආදී වශයෙන්. මියන්මාර වෙදකම් තියෙනවා. මේ කවුරුවත් අහන්න ඕන නැහැ අපට කරන්න පුළුවන් දේ ඔබට කරන්න පුළුවන් ද කියා. කරන්න පුළුවන් දේ කියන්නෙ හරියන නැත්නම් වැඩ කරන දේවලට. නාථ දේව මණ්ඩලෙනුත් වැඩ කරන ක්‍රම ප්‍රතිකාර කියනවා. අප තවමත් දුම් හට්ටියට දාන්නෙ නාථ දේව මණ්ඩලයෙන් හෙළ සුවයට කියපු ඖෂධ. අද පඬියන්ට නාථ දෙවියන් ප්‍රශ්නයක් වෙලා. ප්‍රශ්නය මොකක් ද කියල කියන්නෙ නැහැ. ඒකත් අර දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය වගේ. මට නම් අයින්ස්ටයින්ලා නිවුටන්ලා ප්‍රශ්නයක්. නිවුටන් ගුරුත්වාකර්ෂණය මොකක් ද කියල කිවුවෙ නැහැ. අර අවස්ථිති සමුද්දේශ රාමුව (Inertial Frame of Reference) මොකක් ද කියල කිවුවෙ නැහැ. අයින්ස්ටයින් අඳුරු ශක්තිය (Dark Energy) අඳුරු ද්‍රව්‍යය (Dark Matter)  ගැන කියන්නෙ නැහැ. ඒ ගැන බටහිර විද්‍යාඥයන් ඉන්නෙ අඳුරෙ. මා හිතන්නෙ දුම් හට්ටිය ගැන බටහිර වෙදමහත්තුරු ඉන්නෙ අඳුරෙ කියල. කොහොමත් දුම් හට්ටිය අල්ලන්න වෙන්නෙ රෙද්දකින් වහගෙන අඳුරෙ. පඬි නැට්ටකු අහන්න පුළුවන් දෙදහස් පන්සීයෙ රෙද්ද ද කියල. 

ඒ ඒ වෙදකම් අනෙක් වෙදකමකින් විස්තර කරන්න බැහැ. තම තමන් දන්න දෙයක් කරගෙන ඉන්නයි තියෙන්නෙ. තාප ගතික විද්‍යාව නිවුටෝනීය භෞතික විද්‍යාවෙන් විස්තර කරන්න අතීතයේ හිටි බටහිර භෞතික විද්‍යාඥයන් උත්සාහ කළා. කාලෙකට පස්සෙ දැන ගත්තා එහෙම කරන්න බැහැ කියල. නාථ දෙවියන්ටවත් ඒකට උදවුවක් දෙන්න බැහැ.