Main Logo

Friday 30 October 2020

කොවිඩ් පිරිමි කම හා රතු එළිය

 කොවිඩ් පිරිමි කම හා රතු එළිය


කොවිඩ් ගැන බොහෝ දේ ලියන්න තියෙනවා. මා කිසිම ආකාරයක වෙද මහතකුවත්, සමාජ විද්‍යාඥයකුවත්, මනෝ විශ්ලේෂකයකුවත්, දාර්ශනිකයකුවත් තබා කිසිම උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. ඒත් මගේ හිතට අදහස් එනවා. මා ඒ ලියනවා. මා හිතන්නේ හිතට එන අදහස්වලින් සියයට එකක්වත් ලියැවෙන්නේ නැහැ කියලයි. බටහිර විද්‍යාවෙත් මගේ හිතට අදහස් එනවා. ඒ ඔවුන්ගේ සම්ප්‍රදායෙන් හා චින්තනයෙන් පිට බැවින් ලියල වැඩක් නැහැ. විශ්විද්‍යාලෙ වැඩ (නො)කරපු කාලෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනකු ලවා ඒ අදහස් උඩ උපාධි නිබන්ධන නම් ලියෙව්වා.

තාම කවුරුන්වත් දන්නෙ නැහැ කොවිඩ් ලෝකෙට ආවෙ කොහොම ද කියල. හැම එකකට ම මූල හේතුව හොයන බටහිරයන්ට මූල කොවිඩ් හොයා ගන්න බැරි වෙලා. කොවිඩ් වර්ග කිහිපයක් තියෙනව කියල තමයි කියන්නෙ. ලංකාවෙ නම් බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ ආදී වශයෙන් වර්ග කරන්න පුළුවන්. ජයවර්ධනපුර විශ්වවිිද්‍යාලෙ කට්ටිය ඒ වර්ග ඊනියා විද්‍යාත්මක ව දැන ගන්නකන් ටිකක් ඉවසල ඉන්න වේවි.

කොවිඩ් ගැන ඉස්සෙල්ල ම ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට, ඇතැම් බටහිර වෙදමහතුනට, පාරම්පරික වෙදමහතුනට, ආයුර්වේද වෙදමහතුනට සහ තවත් අයට පින් දෙන්න ඕන. අද වප් පෝය දා. පන්සල් ගිහින් හරි ගෙදර ඉඳන් හරි පින් දෙනකොට ඒ අයත් මතක් කර ගන්න. වප් පෝය තියා මොන පෝය වුණත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මතක් කරන්න ඕන. කොවිඩ් නැත්තට ම නැති කරන්න තිබුණා පාදෙණියට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර දීල කොවිඩ් ව්‍යාපෘතිය වෛද්‍ය නිලධාරී සංගමයට භාර දුන්න නම්. පොඩි ප්‍රශ්නයක් පමණයි තියෙන්නෙ. ඔවුන්ට චෝදනා මිස යෝජනා නැති කම.

පීසිආර් පරීක්‍ෂණ වැඩි කරන්න කියල කියන්න පුළුවන්. ඒත් ප්‍රායෝගික ගැටලු තියෙනවා. පීසිආර් යන්ත්‍ර ලංකාවෙ හදන්නෙ නැහැ. ඒව ගෙන්නන්නත් ඕන. ඒව ඉඳ හිට කැඩෙන්න පුළුවන්. පීසිආර් නැතිව වෙන පරීක්‍ෂණ තියෙනවා ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුල් දිනවල එවැනි පරීක්‍ෂණ ගැන කිවුව. මට මතක හැටියට ඔවුන් මුල දි පීසිආර් විරෝධීන්. ඒ පීසිආර් හා වෙනත් බටහිර පරීක්‍ෂණ හැරෙන්න තවත් ක්‍රම තියෙනවා ද?

අද අප අත්විඳින්නෙ එක් පැත්තකින් පාරම්පරික වෙදකම නැති කර ගත්ත එකේ විපාක. දහනවවැනි සියවස අග පාරම්පරික දැනුම වැඩි දියුණු කරනු වෙනුවට අපි පුනර්ජීවනය සඳහා ඉන්දියාව දිහා බැලුව. සංගිතය වැනි ක්‍ෂෙත්‍රවලත් එය සිදු වුණා. මියන්මාර ගීත ඇහෙන කොට මට ඉන්දියාවෙන් වෙන් වෙච්ච සිංහල ගීත ඇහෙනවා. කොහොම හරි ඔය පුනර්ජීවනයට ගම්පහ වෙදකම කියල එකකුත් එකතු වුණා. අප කුඩා කල හැම ගමක ම කොහොම වෙතත් ගම් කිහිපයකට ගම්පහ වෙදමහතකු හිටියා.

ඒත් ඒ සංක්‍රමණික කාලයක්. සිංහල ගුරුවරියක වූ අපේ මව ගම්පහ වෙදමහතා ළඟට මෙන් ම බටහිර වෙදමහතුන් ළඟටත් බටහිර සනීපාරාක්‍ෂක මධ්‍යස්ථානයටත් අප අරන් ගියා. බටහිර වෙදමහතුන් ළඟට යෑම එකල හැඳින්වුයේ ඉංගිරිසි බෙහෙත් ටිකක් අරන් දෙන්න යනවා කියල. වෙදකම වුණෙ සිංහල හරි ගම්පහ හරි වෙදකම. ඒත් කල් යෑමේ දී පිරිවෙන් විශ්වවිද්‍යාල වුණා. ගම්පහ නැත්නම් යක්කළ කැලණියෙ ආයතනයක් වුණා. රාජගිරියෙ වෛද්‍ය ආයතනය කොළඹ දේශීය වෛද්‍ය ආයතනය වුණා. ඉන්පසු ඒවට ඇතුළත් කෙරුණෙ ජීවවිද්‍යා ධාරාවෙ අඩු ලකුණු ලැබූ අය. ඔවුන්ට අවශ්‍ය වුණෙ ඩොක්ටර්ලා වීමට මිසක් වෙදමහත්තුරු වෙද හාමිනේලා වෙන්න නො වෙයි. අද අපි වෙදකම කියන්නෙ බටහිර වෙදකමට. අනෙක් වෙදකම් පාරම්පරික ආදී වශයෙන් හඳුන්නවා. අද බෙහෙත් ගන්න යන්නෙ දොස්තර මහතා ළඟට. සිංහල බෙහෙත් ටිකක් ගන්න පාරම්පරික වෙදමහතකු ළඟට යනවා. ගම්පහ වෙදමහත්තයෙක් බෙහෙත් ගන්න නොවෙයි බෙහෙතකටවත් හොයා ගන්න නැහැ.

මෙය ඉහත සඳහන් අන්දමට සරල ව සිද්ධ වුණු එකක් නොවෙයි. එය සංකීර්ණ කතාවක්. ඒ කාලෙ අපිට අවුරුද්ද ලැබුවෙ සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යෑමත් සමග. එකල ජනවාරි පළමුවැනිදාට කිවුවෙ ජනේරුව කියල. අද අවුරුද්ද ලබන්නෙ ජනවාරි පළමුවැනි දා. අර මේෂ රාශි කතාවත් එක්ක අද සිංහල අවුරුද්ද ලබනවා. පඬියන්ට බයේ දැන් සූර්යයා ගමන නවත්තල. යන්නෙ පෘථිවිය නොවැ. මගේ ගොන් කමට මාත් සිංහල අවුරුද්ද කියල පොතක් නම් කරල තියෙනවා. ඒක නම් කරන්න තිබුණෙ අවුරුද්ද කියල.

අපේ ළමා කාලයෙ ඉඳල අවුරුදු විසිපහකටත් අඩු කාලයක ඒ සියල්ල සිද්ධ වෙලා. අද ආධිපත්‍යයෙ ඉන්න බටහිර වෙදමහත්තුරු. ඒක තමයි වෙදකම. ඒක තමයි ඉස්කෝලෙ කිවුවලු. චන්න ජයසුමන පැණියක් ගැන කිවුව. ඒකට ඉස්සෙල්ල ම විරුද්ධ වෙන්නෙ අනෙක් ආයුර්වේද වෙදමහත්තුරු. ඒ පැණිය හරි ද වැරදි ද කියන්න මා දන්නෙ නැහැ. ඒත් මොන අර්ථයකින් හරි කොවිඩ් 19ට බෙහෙත් කරන වෙදමහත්තුරු ඉන්නවා. සිසිර ජයකොඩිට හා චන්න ජයසුමනට දැන ගන්න ඕන නම් නාලක හාමුදුරුවන් බැහැ දකින්න. දැනගන්න තවත් අය ඉන්නවා.

අර පැණිය බටහිර වෙදමහත්තුරුන්ට ප්‍රතිකාරයක් හැටියට නියම කරන්න බැරිලු. එහෙම කළොත් ඔවුන්ගෙ ලියාපදිංචිය අවලංගු වෙනවා කියනවා. ඒ බටහිර වෛද්‍ය සංගමයෙ (Medical Council) නීති රීති අනුව. ඉතින් මහා වැඩක් ය. ඒ නීති රීති වෙනස් කරන එක නෙ තියෙන්නෙ. ඔය සංගමය ලංකාවෙ පාර්ලිමේන්තු පනතකින් පිහිටවපු එකක් මිස එංගලන්තෙ රැජනගෙ පාර්ලිමේන්තුවෙන් ඇති කරපු එකක් නො වෙයි. අනෙක් අතට බටහිර රෝහල්වලට වෙදමහත්තුරු පත් කරන්නත් පුළුවන්. චීනයෙ විවිධ ප්‍රතිකාර ක්‍රම එකම රෝහලේ කෙරෙනවා. අපට අනුකරණය නැතිව ම බැරි නම් එංගලන්තෙ වෙනුවට චීනය අනුකරණය කරන එකනෙ තියෙන්නෙ.

මා නිකමට කල්පනා කෙළෙ නාඩි අල්ලලා කොවිඩ් වැළඳිල ද කියන්න පුළුවන් ද කියල. වෙදමහත්තුරුන්ට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් ද? කොවිඩ් අලුත් ලෙඩක් කියන්න එපා. හැම ලෙඩක් ම එක් විධියකට පරණයි. රෝගය පෑලියගොඩ ද බ්‍රැන්ඩික්ස් ද කියලත් කියන්න පුළුවන් ද? මට නම් ආකාශ් මගින් අර අඳුරු ශක්තියට හා අඳුරු ද්‍රව්‍යවලට අපේ සංස්කෘතියෙන් කතාවක් හදන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දැනුම වසන්ත කටුගම්පොළ හා කුමුදුමලී ජයකොඩි සංස්කරණය කරල ඉවරයි. ඒත් ඒ කතාව බටහිරයන් පිළිගන්නෙ නැහැ. ඔවුන් අඳුරු අංශු හොයනවා.

පෑලියගොඩ වර්ගය ඉක්මණින් පැතිරෙන ගතියක් තියෙනවා. ඒක කොහෙන් ද ආවෙ. එක් මහතකු ලියල තිබුණ අවුරුද්දක පමණ කාලයක ඉඳලා වවුලො අඩු වෙනවා කියල. බ්‍රැන්ඩික්ස් කම්මල ළඟ ගස් දෙකක හිටපු වවුලො දැන් නැතිලු. මේ එක අදහසක්වත් අත හරින්න හොඳ නැහැ. රෝගය කාගෙන් කාට බෝ වෙනවා ද? බටහිර චින්තනයට අනුව මුල් රෝගියා කවු ද? චීනෙත් වවුල් කතාවක් තිබුණ වගේ මතකයි.

තව දෙයක්. බස්නාහිර පළාතට ඇඳිරි නීති දැම්මෙ ඒ පළාතෙන් අනෙක් පළාත්වලට රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අහුරල මිනිසුන් ඒ පළාතෙ රඳවන්න. ඒත් අපේ වයසින් වැඩිච්ච ඒත් බාල කොල්ලන් ඒකෙන් කට්ටි පැනල ඔවුන්ගෙ ලොකුකම පෙන්නන්න. මා අහල තියෙන කතාවක, ඉංගිරිසියෙන් වෙන්න ඕන, කියන්නෙ බොහෝ භාර්යාවන්ට අනුව ඔවුන් විවාහ වෙලා තියෙන්නෙ සිරුරෙන් වැඩුණු කොල්ලන් සමග කියල. ඇතැම් පිරිමින් වයසින් වැඩුණට මනසින් වැඩෙනව අඩුයි. කොලුකම හැමදාමත් වගේ ඔවුන් ළඟ තියෙනවා.

ඒ ගැන විස්තරයක් පස්සෙ ලියන්න ඕන. මෙය වත්මන් බටහිර අධ්‍යාපනයත් එක්ක බැඳිච්ච දෙයක් කියල හිතෙනවා. ගුරුකුල අධ්‍යාපනයෙන් මනසින් නොවැඩුණු පිරිමින් ඇති වීමට තිබූ ඉඩකඩ අඩුයි. අද ඇඳිරි නීතියෙන් කට්ටි පැනීම හා එදා පාසලින් කට්ටි පැනීම අතර වෙනසක් නැහැ. ගුරුවරුන්ට අහු නොවී තාප්පෙන් පැනල ගිහින් චිත්‍රපටියක් බැලීම දුම්වැටියක් ඉරිම හා ඉන්පසු ඒ ගැන මිතුරන් සමග කයිවාරු ගැහීම හා පොලිසියට අහු නොවී නැත්නම් නීතියට අහු නොවී ඇඳිරි නීතියෙන් කට්ටි පැනීම අතර ඇති වෙනස කුමක් ද? ඇඳිරි නීතිවලින් රිංගූ අය කයිවාරු ගහන හැටි මට හිතා ගන්න පුළුවන්. සමාජ වගකීමක් අපට මේ අධ්‍යාපනයෙන් ලැබෙන්නෙ නැහැ. අප දන්නෙ පොලිස් නිලධාරියකු බලා ඉන්නෙ නැත්නම් මාර්ග සඥා නොතකා රතු එළිය පැනීමට. අද රටට ම රතු එළිය වැටිලා. ඒ සජිත්ලා, යටත්විජිතලා හා වමාලා හිතන ආකාරයකින් නො වෙයි.