චීනය ඉන්දියාව හා ක්‍ෂමා ආයතනය
පසුගිය දා අක්තපත්‍ර ප්‍රදානය කිරීමට පැමිණි තානාපතිවරුන් හතර දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හොඳ ප්‍රකාශයක් කර තිබුණා. එය ඇතැම් වෙබ් අඩවියක වාර්තා වූයේ මෙසේයි. “ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා. ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙණුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි”
මේ එතුමාගේ චචන ම ද යන්න පැහැදිලි නැහැ. කෙසේ නමුත් අදහස හොඳයි. අප කිසිම රටකට පක්‍ෂපාත විය යුතු නැහැ. මෙය ඉන්දියාවටත් පොදුයි. කොවිඩ් වසංගතය නිසා ප්‍රශ්නය ටිකක් නොව හොඳට ම සංකීර්ණයි. අපට කිසිම රටක් තරහ කර ගන්නවත් වුවමනා නැහැ. අප අනවශ්‍ය විධියට රටවලට විරුද්ධ වන්න වුවමනාත් නැහැ. අර රට ධනවාදී මේ රට සමාජවාදී කියා හිතන්නත් බැහැ. ඔය හැම රටක ම නිෂ්පාදන මාතය එකයි. අද නොබැඳි කතා වැඩක් නැහැ. එහෙත් අප අපේ රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කර ගන්න ඕන. ඒ ඒ රට සමග අවස්වොචිත ව කටයුතු කරන්න ඕන.
ස්වෛරීභාවය ගැන ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් එය ප්‍රධාන වශයෙන් ම ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර සබඳතා හරහා. විදේශ අමාත්‍යාංශය වැදගත් වන්නේ එබැවින්. එහෙත් විදේශ අමාත්‍යාංශයට පිටින් සම්බන්ධකම් ඇති සංවිධානත් තියෙනවා. මේ බොහෝ විට සංස්කෘතික, ආගමික, ඊනියා ශාස්ත්‍රිය (විද්‍යාව ද ඇතුළත්), ආයතනික (රාජ්‍ය නොවන ද ඇතුළත්), ජාත්‍යන්තර විධානගත, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ උපසංවිධානගත ආදී වශයෙන් වෙන්න පුළුවන්. විදේශ අමාත්‍යාංශය හරහා ද විදේශ අමාත්‍යාංශයට එතරම් පාලනයක් නැති ව්‍යුහ තියෙනවා. තානාපති මහා කොමසාරිස් කාර්යාලවල නිලධාරීන් ලෙස ඔත්තු සේවාවලට අයත් අය ද අප රටට එනවා. එහෙත් අපේ රටෙන් නම් එලෙස ඔත්තුකරුවන් තානාපති නිලධාරීන් ලෙස යවනවා කියා මා හිතන්නේ නැහැ.
පසුගිය දා මා සඳහන් කළා ලංකා සභාවේ කොළඹ බිෂොප් පදවියට පත් කිරීම සම්බන්ධ ව. දැන් ඒ සඳහා කැන්ටබරියේ ආච්බිෂොප්තුමා රූද්‍රිගූ පූජකතුන් පත් කර තිබෙනවා. මෙය නොසිදුවිය යුත්තක්. පත්වීම හොඳ ද නැත් ද යන්න නොවෙයි මගේ ප්‍රශ්නය. ලංකා සභාවේ ස්වෛරීභාවය නැති වෙලා. ඒ සමග ලංකාවේ ද ස්වෛරීභාවයට තුවාල කරලා. රාමඤ්ඤ නිකායේ හරි අමරපුර නිකායෙ හරි මහානායක හිමිවරුන් මියන්මාර සභාවලිනුත් සියම් නිකායේ මහානායක හිමිවරුන් තායිලන්ත සභාවලිනුත් පත් කෙරෙනවා නම් මා නම් කැමති වන්නේ නැහැ. මියන්මාරයටත් කිහිප වතාවක් ලංකාවෙන් උපසම්පාද ව ගෙන ගොස් තියෙනවා. එහෙත් ලංකාවෙන් ඒ නිකායවලට කිසිම බලපෑමක් නැහැ.
කතෝලික සභාවෙ කාදිනල්වරු පත් කෙරෙන්නේ වතිකානුවෙන්. අර අක්තපත්‍ර ප්‍රදානය කළ තානාපතිවරුන් අතර වතිකානුවේ තානාපතිතුමාත් හිටියා. ඒ කියන්නේ වතිකානුව වෙන ම රටක් ලෙස සැලකෙනවා. මේවා ගැටළු. බෞද්ධ සම්ප්‍රදාය මෙයට වෙනස්. ඒ ඒ රටවල ඇත්තේ ස්වාධීන (අර සුවාදීන කොමිසම් වගේ නො වෙයි) ශාසන. අපට බෞද්ධකම අතින් තබා සිංහලකම අතින්වත් ඉන්දියාව සමග සම්බන්ධයක් නැහැ. සිංහලයන් ඉන්දියාවේ ඥාතීන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් දන්න නෑකමක් නැහැ. විජයසිංහ ගැන වඩාත් දන්නේ බංග්ලාදේශයේ. විජයසිංහ එන්න ඇත්තේ වංගයේ ඊසාන දෙසින්. සිංහපුරවල් වැඩියෙන් ඇත්තේ බංග්ලාදේශයේ.
මට හමු වී ඇති ඔරිස්සා ඉන්දියානුවන් දන්නේ නැහැ දන්ත හේමමාලි ගැන. ඔවුන්ට වඩා මියන්මාර වැසියන් දළදා මාළිගාව ගැන දන්නවා. ඉන්දියාව ලංකාවේ දන්නේ ඔවුන්ගේ ඥාතීන් වන පසුගිය සියවස් දෙක තුනෙහි මෙරටට පැමිණි දෙමළ ජනකොටස් ගැන. ඒ නෑකම නැති නොවන්නත් සිංහලයන්ට ඇති නෑකම නැතිවන්නත් හේතුව සිංහලයන්ගේ අදීනත්වය ද? මාලදිවයිනේ ඉන්නේ ලංකාවෙන් ගිය සිංහලයන්ගන් පැවතෙන්නන් වුවත් ඔවුන් සමග අපේ නෑකමක් නැහැ. ඉන්දියාව දෙමළ ජනකොටස් සමග ඇති ඥාතීත්වය නිසා අපේ රටට ඇඟිලි ගහනවා. අපි හිතමු දෙමළ ජනකොටස්වලට ඊනියා අසාධාරණයක් වෙලා තියෙනවා කියා. ඒත් ඉන්දියාවට ඒ සම්බන්ධ මැදිහත් වෙන්න තියෙන අයිතිය මොකක් ද? තමිල්නාඩුවේ ඒ සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනව නම් ඉන්දියාව ඒවට ඇතුළෙම විසඳූම් හොයා ගන්න ඕන. තමිල්නාඩුවෙ ඇතිවෙන ප්‍රශ්නවලට විසඳුම් ලංකාවෙ හොයන්න බැහැ.
ඉන්දියාව සමගත් අපේ ඇත්තේ චීනය සමග මෙන් ම ගණුදෙනුවක්. අපි ඒ ගණුදෙනුව අනුව වැඩ කරමු. අපි අපේ ස්වෛරීත්වය අගය කරන්නේ ඉන්දියාව තම ස්වෛරීත්වය අගය කරන අන්දමට ම. ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය කියන ගුබ්බෑයම පසුගිය දා ඉන්දියාවේ තම කටයුතු නැවැත්වීමට තීරණය කර ඇති බව දි අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වෙනවා. එයට හේතුව හැටියට ඔවුන් දක්වා ඇත්තේ තම බැංකු ගිණුම් අක්‍රීය කිරීම හා තම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම. ඉන්දියාව කියන්නේ ක්‍ෂමා ආයතනයට පිටරටින් නීතියට පටහැනිව මුදල් ලැබෙන බව. ඉන්දියාවේ තීරණය අපි අගය කරනවා.
අපටත් අපේ රටට කෙරෙන සියලු ආකාරයේ බලපෑම් නවත්වන්න ඕන. අපි ඉන්දියාව සමගත් චීනය සමගත් ගණුදෙනු කරමු. ඒත් ඒ ස්වෛරි රටක් ලෙස. ඔය ඇම්නෙස්ටිය ඒ දිනවල ජ වි පෙරමුණ වෙනුවෙනුත් කතා කළා. ඔවුන් ක්‍රියා කරන්නේ ඊනියා විප්ලවවාදී, අන්තවාදී, ත්‍රස්තවාදී සංවිධානවලට ඕනෑම ආකාරයකට ආයුධ පාවිචචි කරන්න පුළුවන් නමුත් රජයකට ඒ ආයතනවලට විරුද්ධව කටයුතු කරන්න නම් දහසක් කොන්දේසිවලට යටත් විය යුතු ය යන තේරුමකින්. ඒත් හැම තැනක ම නො වෙයි.