Main Logo

Saturday, 24 October 2020

කොවිඩ්, සාපේක්‍ෂතාව හා ඩීල්

කොවිඩ්, සාපේක්‍ෂතාව හා ඩීල්

මට හමු වී ඇති දක්‍ෂ ම ශිෂ්‍යයකු වන ශිරන්ත චාමරට කොවිඩ් ආසාදනය වෙලා. ඒ ගැන මා කණගාටු වන අතර ඔහුටත් පවුලේ සැමටත් ඔහු කියන අන්දමට ම සැනසිල්ල ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා. ඔහුගේ පියා මාළු වෙළඳාම හා සම්බන්ධ වී සිටියත් පෑලියගොඩ යන එන බව දැන සිටියත් විපරම් කිරීමට බැරි වුණා. මේ ඔහුගේ මුහුණු පොතේ ගිනුමේ තිබූ සටනක්.

"ඊයෙ ස්වෙච්ඡාවෙන idh එකට දැනුම් දීල pcr කළා. (තාත්තා මාලු ව්‍යාපාරයේ නිසාත් ඇගේ අවුල නිසාත්) අද පොසිටිව් කියා පණිවිඩයක් ලැබුණ. Pcr කළ සෞඛ්‍යය කාර්ය මණ්ඩලය තමන්ගෙ සෞඛ්‍යයට වඩා අපේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් ව පරීක්ෂණ කරනවා. අද උදේ moh කතා කරා. 'පුතා බයවෙන්න කලබල වෙන්න එපා ඔයා පොසිටිව්. ....' ටිකකට කලින් ගෙදරට phi ල ආවා. බයවෙන්න දෙයක් නැති බව ඔවුන්ගෙ ඉරියව් වලින් ම පෙන්වල ලැහැස්ති වෙන විධිය ගෙදර අනෙක් අය පරිස්සම් වෙන විධිය පැහැදිලි ව කියල උණුවතුර බීල හුමාලෙ අල්ලල ඉන්න කිව්ව. සති දෙකක් තුල ඇසුරැ කරපු සියලු තැන් පැහැදිලි ව අහගත්තා. ⁣පහුගිය සතියෙ යන්තම් උණක් අරන් පහවෙලා ගිය නිසා කෝකටත් ගෙදරට ගණන් අහගන්න එන ළමයින්ට එන්න එපා කියල තිබ්බෙ. බැංකුවට කාඩ් එක ගන්න උවමනාව තිබ්බත් ගියෙ නැහැ බයට ම. දැන් තියෙන ලොකු ම සැනසිල්ල ඒක. උගුර රිදීමක් මොකක්වත් නැහැ. ඇගේ අමාරැවක් එක්ක උණක් ඇවිත් යනවා විතරයි. සැනසිල්ලේ ඉන්න ඕන නම් පොඩි උණක් හැදුණත් සැලකිලිමත් වෙන්න.”

මෙයින් කරුණු කිහිපයක් පැහැදිලි වෙනවා. ශිරන්ත පීසීආර් පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් වී ඇත්තේ ස්වේචඡාවෙන්, සෞඛ්‍ය නිලධාරිතුමාගේ බය නැති කිරීමේ කතාව, මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ කැපවීම හා හුමාලය අල්ලන්න කීම හා තවත් දුන් උපදෙස, ඔවුන් විස්තර සොයා ගැනීම, ශිරන්තගේ ආරක්‍ෂාකාරී පිළිවෙත, හා ඔහු දෙන උපදෙස්.

කොවිඩ් කියන්නේ භයානක රෝගයක්වත් බිය විය යුතු රෝගයක්වත් ලජ්ජා විය යුතු රෝගයක්වත් නොවෙයි. එය පරෙස්සම් විය යුතු රෝගයක්. ට්‍රම්ප් මේ රෝගය ගැන කියන සමහර කතා මුසා නොවෙයි. ඔහුගේ වරද පරෙස්සම් නොවීම. මේ රෝගය ඉක්මණින් පැතිරෙනවා. අප රෝගය පැතිරවීමෙන් හා රෝගී වීමෙන් වළකින්න ඕන. පරෙස්සමයි වැදගත්. රෝගයට බියක් ඇති කර ගන්න ඕන නැහැ. අප ගමන් බිමන් අඩු කරගෙන ගෙදරට වෙලා සැනසිල්ලෙ ඉන්නවා නම් කාටත් සැනසිල්ලක් වේවි. නිවී සැනසෙන්න තමයි සිංහල බෞද්ධයන් උත්සාහ ගන්නෙ.

ඊයේ මගේ ලිපිය සාපේක්‍ෂතාව පිළිබඳ හොඳ උදාහරණයක්. මා ඉගැන්වීමෙන් ලබා ඇති අත්දැකීම තමයි අහන්නන් අහන්නේත් තමන්ට සාපේක්‍ෂ ව බව. මගේ ලිපියෙන් මා අදහස් කළ දෙය නොව ඇතැමුන් එහි විරුද්ධ දේ තේරුම් අරගෙන. එය මගේ ලිපිය තමන්ට තේරුණු විධියක් නොව ඔවුන් සංස්කරණය කරගත් ලිපියක්. මගේ ලිපිය වචනාර්ථයෙන් කියවීම ගැටළුවක්. වචනවල විවිධ අර්ථ තියෙනවා. ඒ වගේ ම වචන එකතු වීමෙන් විවිධ අර්ථ සංස්කරණය කර ගන්න පුළුවන්. මේ ඊයේ පළ වූ ලිපියට දක්වා තිබූ ප්‍රතිචාර දෙකක්.

“අපි පුංචි කාලෙ ඉඳල ගරැකරපු නියම සිංහලයෙක් විදියට සලකපු ඔබතුමා...කිසිම ඩීල් එකක් නෑ කියල අධි විශ්වාසයෙන් කියන එක හිරිකිතයි... රංගේ... මතකද ඒ රෙකොඩින් එලිවුනෙ නැත්නම් ඒවටත් ඔහොම නේද කියන්නෙ”

“එක්කෝ ඔබ තුමා දැන දැනම් නොදන්නව වගේ ඉන්නව(උගුරට හොරා බෙහෙත් කනවා). එහෙම නැත්නම් ඔබතුමා කවදාවත් නැති තරමට අවුල් වෙලා. ඒ කොහොම වුණත් මේ දෙකම ඔබවැනි කෙනෙක්ට සුදුසු දේවල් නෙවේ.”

මේ ප්‍රතිචාර දක්වන්නන් ශිරන්තගේ මට්ටමේ අය නොවන බව මා දන්නවා. මගේ තවත් ශිෂ්‍යයකු වූ මුදිත දිසානායක හැමදාමත් කියන්නේ මා ලියන දේ බොහෝ අයට තේරෙන්නෙ නැති බව. මා දක්‍ෂ ලේඛකයකු නොවෙයි. මගේ ශෛලියත් තරමක් ගොරහැඩියි. ගුණදාස අමරසේකර දක්‍ෂ ලේඛකයෙක්. ඔහු ලියන දේ බොහෝ අය ඔහුට අවශ්‍ය ආකාරයට කිට්ටුවෙන් වගේ තේරුම් ගන්නවා (සංස්කරණය කරනවා). මා අර නාභිගත (ෆෝකස්) කිරීම අනුමත කරන්නෙත් නැහැ. මට එහෙම කරන්නත් බැහැ. මට ඒ ඒ දේ වෙන් කරගෙන බලන්න පුරුද්දකුත් නැහැ. මා ඒ ඒ දේ අතර සම්බන්ධකම් දකිනවා. මට සමස්තය වඩා වැදගත්.

මා කිවුවේ ඩීල් ඇති බවක් ගැන මිස ඩීල් නැති කමක් ගැන නොවෙයි. අර පළමු තැනැත්තා මා නියම සිංහලයෙක් හැටියට සලකල තියෙනවා. ඒකෙන් කියන්නෙ මොකක් වුණත් මා දැන් එහෙම නැතිව වෙන්න පුළුවන්. දෙවැන්නාට අනුව මා එක්කෝ උගුරට හොරා බේත් කනවා නැත්නම් අවුල් වෙලා. ඒ දෙක ම වෙන්නත් පුළුවන්.

මේ අය ජාතික කඳවුරේ වෙන්න ඕන. ජාතික කඳවුරේ තවත් අයකු කියා තිබුණා ඔහු මෛත්‍රිපාල සිරිසේන ද්‍රෝහියකු බව දැන ගෙන හුඟක් කල් කියල. මගේ ලිපියේ මෛත්‍රිපාල ද්‍රෝහියකු කියා මා කියා නැහැ. ඩීල් නැති බවක් මා නොකියා ඇති සේ මෛත්‍රිපාල ද්‍රෝහියකු බවක් මා කියා නැහැ.

ජාතික කඳවුරේ බොහෝ අය සරත් ෆොන්සේකාටත් මෛත්‍රිපාල සිරිසේනටත් කැමති නැහැ. ඔවුන් වැඩි කල් යන්න පෙර සමහර විට සරත් වීරසේකරටත් අකමැති වේවි. මේ තුන් දෙනාගෙන් පළමු දෙදෙනා රාජපක්‍ෂලා සමග එකට වැඩ කර පසුව ඔවුන් හැර ගිය අය. මෛත්‍රිපාල අද නැවතත් රාජපක්‍ෂලා සමග. එහෙත් සරත් ෆොන්සේකා ඇවිත් නැහැ. එහෙත් ඔහු හොඳ කතාවක් කියා තිබුණා. මට වචන හරියට ම මතක නැතත් ඔහු කියා තිබුණේ විස්සෙන් සිංහල බෞද්ධ අයිතිවාසිකම් රැකෙනවා නම් ඔහු විස්සට ඡන්දය දෙන බවයි. සරත් වීරසේකර දහනවයට විරුද්ධ වී විස්සට පක්‍ෂ වුණා. ඔහුගේ තරකය පැහැදිලියි. එහෙත් විස්ස සම්පූර්ණයෙන් ම දහනවය අහෝසි කිරීම සඳහා නො වෙයි. දහනවයෙ සමහර දේ විස්සෙන් ඉවත් වෙන්නෙ නැහැ.

සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතාව හා ඔහු මහින්දට විරුද්ධ තරග කිරීම මා අනුමත කරන්නේ නැහැ. එහෙත් කොටි පරාජය කිරීමෙහිලා ඔහුගෙන් වූ සේවය අමතක කරන්න බැහැ. මෛත්‍රිපාලත් මහින්ද සමග තරග කිරීම අනුමත කරන්න බැහැ. එහෙත් ජාතික කඳවුරේ අය තේරුම් ගැනීමට උත්සාහ නොකරන දෙයක් තියෙනවා. ඔවුන් දෙදෙනා එ ජා ප පැත්තට ගියේ ඇයි. ඔවුන් චම්පක මෙන් බලයට පැමිණීම සඳහා ජාතිකත්වය ගසා කෑ පුද්ගලයන් නො වෙයි.

සිරිසේනට කොන්දක් නැහැ කියා මා පිළිගන්නේ නැහැ. මහින්ද සමග තරග කීිරීමට කොන්දක් නැතිව බැහැ. එමෙන් ම රනිල්ට හා විජාතික බලවේගවලට විරුද්ධ ව 2018 ඔක්තෝම්බරයේ මහින්ද අගමැති ලෙස පත් කිරීමටත් කොන්දක් ඕන. ඒ විතරක් නොවෙයි විස්සට ඡන්දය නොදී ඉන්නත් කොන්දක් ඕන. සරත් වීරසේකරට දහනවයට විරුද්ධ ඡන්දය දෙන්නත් කොන්දක් ඕන. මට කොන්දක් නැති බවත් සමහරු කියනවා. මා රාජපක්‍ෂලාට කඩේ යන හෙංචයියකු පමණක් බවයි ඔවුන්ගේ අදහස. මා ඩීල් දේශපාලනයට කැමැත්ත දක්වන්නේ ඒ නිසා කියලත් කියන්න පුළුවන්.

මේ ඩීල් දේශපාලනය නවත්තන්න ඕන. මා ඩීල් ගැන කියන්නේ හුඟක් දවස්වල ඉඳලා. ඒ ජනාධිපතිවරණයටත් කලින්. අගෝස්තු මැතිවරණයෙන් පසු ඩීල් අවශ්‍ය නැහැ කියා මා කීවා. ඩීල් අවශ්‍ය නැහැ කියන්නෙ ඩීල් නොකෙරෙන බව නො වෙයි. ඩීල් නැතිව ආණ්ඩු කරන්න පුළුවන් බව පමණයි මා කියා ඇත්තේ. එහෙත් ඩීල්කාරයන්ට ඩීල් නැතිව බැහැ. අප තවත් ෆොන්සේකාල සිරිසේනලා අනෙක් පැත්තට නොයැවීමට වග බලා ගන්න ඕන. මේ ගැන තවත් විස්තර පසුවට.