Main Logo

Friday 9 October 2020

නිරෝධායනය, වම හා චීන දූත පිරිස.

 නිරෝධායනය, වම හා චීන දූත පිරිස. 


චීන දූත පිරිසක් ලංකාවට ඇවිල්ල. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධානියකු වූ හිටපු විදේශ ඇමතිවරයකු ඒ දූත පිරිසේ නායකත්වය දරණ බවයි ආරංචිය. ඉස්සර නම් ලංකාවෙත් චීන කොමියුනිස්ට් පක්‍ෂයක් තිබුණා. ඒකෙ ප්‍රධානියා වුණෙ ශන්මුගදාසන් සහෝදරයා. ඒ දවස්වල බොහෝ විප්ලවවාදීන් හිටියෙ චීන කොමියුනිස්ට් පක්‍ෂෙ. මං කිවුවෙ ලංකාවෙ චීන කොමියුනිස්ට් පක්‍ෂෙ. ඔය අතර විප්ලවය ගැන කතා කරපු අප වගේ කිහිප දෙනෙක් ට්‍රොට්ස්කිවාදී පක්‍ෂවල හිටිය. ඒ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂවල අඩිපාරෙ තමයි අද ඉන්න වමාලා ගිහින් තියෙන්නෙ. අඩිපාරෙ කියන එකෙන් අදහස් කරන්නෙ වැඩක් කෙරුව කියන එක නොවෙයි. කතා කර කර හිටියා කියන එක. ඒකට කතාපාර කිවුවොත් හරි ද? අද වමාලට කියන දෙඩුම් ශිල්පීන් යෙදුම ඉස්සර හිටපු විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදීන්ටත් යොදන්න පුළුවන්. අද ඉන්න දෙඩුම් ශිල්පීන් ට්‍රොට්ස්කිවාදීන් නොවෙන්න පුළුවන්. ඔවුන් ලකාන්, අල්තූසර්, ජිජැක් ආදී එකී නොකී අයගේත් ෆූකෝ ඩෙරීඩා බදියු ආදී මෙකී නොකී අයගේත් මත වමාරන අය වෙන්න පුළුවන්. අද ඉන්න දෙඩුම් ශිල්පීන් දන්නෙ වමාරන්න විතරයි. සමහර විට ඔවුන්ට වමාලා කියන්නෙ වමාරන හින්ද වෙන්න ඇති. 

අපේ පරම්පරාවෙ ට්‍රොට්ස්කිවාදීන් දෙඩුම් ශිල්පීන් වුණාට කලින් පරම්පරාවල ට්‍රොට්ස්කිවාදීන් දෙඩුම් ශිල්පීන් නො වෙයි. පිලිප් එන් එම් කොල්වින් ලෙස්ලි වගේ අය තමන්ට තේරුණ විධියට පක්‍ෂ හදාගෙන වෘත්තීය සමිති හදාගෙන මහන්සි වෙලා වැඩ කරපු අය. ඔවුන් සමග හිටියෙ ඩී ජී විලියම්ලා වගේ වෘත්තීය සමිති නායකයො. මහා වැඩ කාරයො. අද ඉන්නෙ කවුද? මා නම් සඳහන් කරන්නෙ නැහැ. ශ්‍රී ල නි පක්‍ෂය ඇති වුණාට පස්සෙ තත්වය වෙනස් වුණා. ඔය පැරණි වම කියන එක වෙනුවට 1964න් පස්සෙ එඩ්මන්ඩ් සමරක්කොඩි මෙරිල් ප්‍රනාන්දු වගේ අය ඇති වුණා. බාලා තම්පොත් ඒ වකවානුවෙ කැඩුණු අයෙක්. ඔහු අර වෘත්තීය සමිති ව්‍යාපාරෙ දිගට ම කරගෙන ගියා. මොන තරම් ට්‍රොට්ස්කිවාදී විප්ලවාදියො බිහිවුණා ද? කීර්ති බාලසූරිය, විජේගුණසිංහ, තුල්සිරි අන්ද්‍රාදි, වික්‍රමබාහු ආදීන් හතු පිපෙන්නාක් මෙන් බිහිවුණා. පස්සෙ කාලෙක X කණ්ඩායම බිහිවුණෙ ඒ අනුසාරයෙන්. ඒත් ඒකෙ කිසිම සාරයක් තිබුණෙ නැහැ. 

ඒ අතර අර ලංකාවෙ චීන කොමියුනිස්ට් පක්‍ෂෙ අයට විප්ලවය කරන්න ඕන වුණා. විප්ලවය කරනවා කියන්නෙ මොකක් ද කියල ට්‍රොට්ස්කිවාදියකුට අහන්න පුළුවන්. තාම කම්කරු පංති නායකත්ව ප්‍රශ්නෙ විසඳ ගෙන නැහැ. ට්‍රොට්ස්කි බොහොම ඉස්සර කාලෙ විප්ලවය පාවාදීම කියල පොතක් ලියල තිබුණ. අර ස්ටැන්ලි තම්බයියාට බුදුදහම පාවාදීම ලියන්න ට්‍රොට්ස්කිගෙ පොත උත්තේජනයක් වුණා ද කියල දැන ගන්න විධියක් නැහැ. චීන කොමියුනිස්ට් පක්‍ෂෙ හිටියෙ රුසියන් කොමියුනිස්ට් පක්‍ෂයෙන් කැඩිල ගිය අය. ස්ටැලින්වාදයත් එපා කියපු අය. ඔවුන් මාඕවාදීන්. විජේවීර ධර්මසේකර ආදීන් තමයි චීන කොමියුනිස්ට් පක්‍ෂයට නායකත්වය දුන්නෙ. ඔය එස් බී දිසානායක රුසියන් කොමියුනිස්ට් පක්‍ෂෙ ශිෂ්‍ය නායකයෙක්. මහින්ද විජේසේකරත් ඒ දවස්වල ශිෂ්‍ය නායකයෙක්. 

විජේවීර චීන කොමියුනිස්ට් පක්‍ෂෙනුත් කැඩිල ජනතා විමුක්ති පෙරමුණ හදා ගත්ත. විප්ලව දෙකක් කෙරුව. දසදහස් ගණනක් මැරුණා. මැරුවා. මාඕවාදයෙ ජාතිකත්වයක් තියෙනවා. ලෙනින්ගෙත් ජාතිකත්වයක් තිබුණා. ස්ටැලින්ගෙත් තිබුණ. ට්‍රොට්ස්කිගෙ කිසිම ජාතිකත්වයක් තිබුණෙ නැහැ. මාඕගෙ තමයි වැඩිය ම ජාතිකත්වයක් තිබුණෙ. ජ වි පෙරමුණටත් ඒ බලපෑම තිබුණා. විජේවීර ඝාතනයෙන් පස්සෙ ගෝනි බිල්ලො බලයට පත්වෙලා. චීන කොමියුනිස්ට් පක්‍ෂෙට උරුම කමක් කියන්න හිිටිය අය හුඟ දෙනෙක් දැන් නැහැ. ධර්මසේකර (හිමියන්) ඉන්නවා. රනිල්දාසට නම් කිසිම උරුමයක් නැහැ. 

රනිල්දාස අර චීන දුත පිරිස මුණ ගැහෙන්නෙ නැද්ද? උරුමයක් නැති වුණත් ගිහින් මොනව හරි කියන්න පුළුවන්. චීනෙ චීන කොමියුනිස්ට් පක්‍ෂයටත් දැන් මාඕ උරුමයක් නැහැ. මොකෝ පුටින්ට කියල ලෙනින්ගෙ හරි ස්ටැලින්ගෙ හරි උරුමයක් තියෙනවයි.  ඉතින් රනිල්දාසට විජේවීරගෙ උරුමයක් තියෙනව ද කියල අහන්නෙ මොනවට ද?  වමකට ගිය කල. මාක්ස් වමට මෙහෙම වෙයි කියල ඓතිහාසික ද්‍රව්‍යවාදයෙ (භෞතික්වාදයෙ) පාද සටහනකවත් ලියල නැද්ද? එකල මාක්ස්වාදීන් හිතන් හිටියෙ තමන් සියල්ල දන්නවා කියා. අනෙක් අය මෝඩයන් කියා. අද දෙඩුම් ශිල්පීනුත් එහෙමයි. ඔවුන්ට අනුව අප කිසිවක් නොතේරෙන පට්ටපල් මෝඩයන්. නාථ දෙවියන්ගෙ ප්‍රශ්නෙ මොකක් ද කියල මෝඩයන්ට කියල දෙන්නෙත් නැහැ. 

චීන දූත පිරිස නිරෝධායනයට ලක් කෙරිල නැහැ. දෙඩුම් ශිල්පීන්ට ඒක ප්‍රශ්නයක් ද දන්නෙ නැහැ. ඒක සජිත්ට සහ ගෝල බාලයන්ට ප්‍රශ්නයක් වෙලා. සජිත් බාලයෙක් නොවෙයි කියල ඒකෙන් කියැවෙන්නෙ නැහැ. බාලසේකර බාලයෙක් නොවන්නෙ කොහොමද? 

නිරෝධායන හතර ආකාරයක්. මධ්‍යස්ථාන නිරෝධායනය, හෝටල් නිරෝධායනය, නිවෙස් නිරෝධායනය හා නිර්නිරෝධායනය. මියන්මරයෙත් ඒ හතර ම ක්‍රියාත්මක වෙනවා. තානාපතිවරුන්ට ලැබෙන්නෙ නිවෙස් නිරෝධායනය. කාලය ටිකක් වැඩි වුණත් එය ගැටළුවක් නොවෙයි. ගෙදර ඉන්නව වගේ නොවෙයි. ගෙදර තමයි ඉන්නෙ. ලංකාවෙත් පිටින් එන තානාපතිවරුන් තානාපති නිලධාරීන් නිවෙස් නිරෝධායනයෙ. 

එහෙත් රටකින් විශේෂ නියෝජිතයන් පිරිසක් පැමිණියොත් ඔවුන්ට ලැබෙන්නෙ නිර්නිරෝධායනය. ඔවුන්ට සති ගණන් රැඳිල ඉන්න බැහැ. ආපහු යන්න ඕන. පහුගිය දා මියන්මාරයට විශේෂ ඉන්දීය දූත පිරිසක් පැමිණියා. ඔවුන්ටත් ලැබුණෙ නිර්නිරෝධායනය. මා දන්න තරමින් මියන්මාරයෙ  කිසිවකු ඇහුවෙ නැහැ ඇයි ඉන්දීය දූත පිරිසට නිරෝධායනයක් නැද්ද කියා. ඉන්දීය දූත පිරිස දවස් දෙකකින් ආපහු ගියා. අර පණුවන් කන්න එන සාම පරෙවියන්වත් ඇහුවෙ නැහැ ඉන්දීය දූත පිරිසට නිරෝධායනය නැත්තෙ මොකද කියල. 

අනෙක් අතට හුදී ජනයා ඒ විශේෂ දූත පිරිස් ගැන කලබල වෙන්නෙ මොනවට ද? ඔවුන්ට ඒ දූත පිරිස් මීටරේකට නොවෙයි කිලෝමීටරේකටවත් දුරින් හමු වෙන්නෙ නැහැ. ඔවුන් හමුවෙන්න පුළුවන් විශේෂිතයන්ට පමණයි. කොවිඩ් තිබුණොත් ඒ ඒ අය බෙදා හදා ගනීවි. හුදී ජනයා කරදර වෙන්නෙ ඔවුන් වෙනුවෙන් ද? ඒක හොඳයි. ඕව ගැන  තවදුරටත් ට්‍රම්ප්ගෙන් දැනගන්න පුළුවන්.