Main Logo

Wednesday 7 October 2020

කොවිඩ් හා කළු කුහර

 

කොවිඩ් හා කළු කුහර

 

ඊයේ මගේ එක් බලාපොරෙත්තුවක් බිඳ වැටුණු දවසක්. ඒ බටහිර වෙදකම/භෞතවේදය පිළිබඳ නොබෙල් තෑග්ග රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට නොලැබීම නිසා. මා බටහිර වෙදමහත්තුරු ගැන කී දේට සමහර බටහිර වෙදමහත්තුරුන්ට හා වෙදහාමිනේලාට කේන්ති ගිහින්. එහෙම වෙන එක පුදුමයකුත් නො වෙයි. ඒ ගැන පස්සෙ කතා කරමු. අද මා හීනෙන්වත් නොසිදූ හොඳක් සිද්ධ වෙලා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිිද්‍යාලයෙ රොජර් පෙන්රෝස්ට 2020 භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ගෙන් බාගයක් හිමිවෙලා. මෙවර භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල තෑග්ග තුන්දෙනකුට හිමිවෙලා. ඒ කළු කුහර ගැන ඔවුන්ගේ අධ්‍යයනවලට. පෙන්රෝස්ට හිමිවෙලා තියෙන්නෙ කළු කුහර සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රවාදාත්මක අධ්‍යයනයකට. අනෙක් දෙදෙනාට තෑග්ගෙ ඉතුරු භාගය හිමිවෙලා තියෙන්නෙ කළු කුහර පිළිබඳ කරන ලද නිරීක්‍ෂණ සම්බන්ධයෙන්. පඬි නැට්ටකු කියන්න පුළුවන් මා නොබෙල් තෑගි අගය කරනවා කියා. නැහැ මා ලෝකයේ සිදුවන අගය කිරීම් ගැන කියනවා පමණයි

. 

පෙන්රෝස් ගණිතමය භෞතික විද්‍යාඥයෙක්. ඔහු ලෝ පතළ විද්වතෙක් නොවෙයි. සමහර විට එංගලන්තයෙත් බොහෝ දෙනකු ඔහු ගැන දැන ගන්නෙ අදින් පස්සෙ වෙන්න පුළුවන්.  ගණිතමය භෞතික විද්‍යාව (Mathematical Physics) ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවට (Theoretical Physics) වඩා ගණිතයට බරයි. මා කැලණියේ ගණිතමය භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ පාඨමාලාව ඉදිරිපත් කළ විට එයට ඇතැම් ප්‍රායෝගික භෞතික විද්‍යා ඒකකයක් ඇතුල් කරන්න යෝජනා වුණා. පාඨමාලාවේ අදහස සම්පූර්ණයෙන් ම නැති වී ගියා. එහෙත් මා එයට එකඟ වුණේ එසේ ඇතුල් නොකර ඒ උපාධිධාරීන්ට භෞතික විද්‍යා අධ්‍යනංශයේ තාවකාලික ප්‍රදර්ශක තනතුරකවත් දීමට නොහැකි බව කියැවුණු නිසා. 

පෙන්රෝස් හිතළු ගණනාවක් ඉදිරිපත් කර ඇති අයෙක්. ඒ හිතළු නිර්මාණාත්මකයි. ඒත් සමහර හිතළු වැඩ කරන්නේ නැහැ. ඔහු වැඩ කරන එකක් නැහැ කියල බයට හිතළු ඉදිරිපත් නොකර ඉන්නෙත් නැහැ. මා හිතා හිටියේ ඔහුට නොබෙල් තෑග්ග කිසි දා නොලැබේවි කියා. කෙසේ වෙතත් ඔහුට නොබෙල් තෑග්ග ලැබී ඇත්තේ ඔහු 1965 දී ඉදිරිපත් කරන ලද පත්‍රිකාවකට. ඒ පත්‍රිකාවෙන් ඔහු කියා සිටියේ වස්තුවක් ගෝලීය වශයෙන් සමමිතික (Spherically Symmetric) වුවත් නැතත් කළු කුහරයක් විය හැකි බව. 1963 දි රෝයි කර් තම නමින් ඇති කර් ප්‍රමිතිකය (Kerr Metric) සංස්කරණය කළා. එය අක්‍ෂ සමමිතික ව භ්‍රමණය වන  (සිංහලෙන් කියනවා නම් බමර වගේ කැරකෙන) වස්තුවල  අවකාශ (-කාලය) විස්තර කරන්නක්. පෙන්රෝස්ටත් කර් කතාවත් ආධාර වෙන්න ඇති. ඔය කාලෙ ම තමයි ක්වේසාර කියල මහා සද්දන්ත කුලේ මන්දාකිණි නිරීක්‍ෂණය කෙරුණෙ.

 1969 ජනවාරියෙ මා සසෙක්ස් යන විට විශ්වවේදය මේ සියල්ලෙන් මෙන් ම ගුරුත්වජ කාචවලිනුත් උණුසුම් වෙලා තිබුණෙ. ඔය කර් ප්‍රමිතිකය යොදා ගෙන තමයි බමරයක් වැනි කැරකෙන, එහෙත් විශාල ස්කන්ධයක් තියෙන වස්තුවකට බාහිර ව අංශුවක් බමරය කැරකෙන අතට නොව අනෙක් අතට ප්‍රක්‍ෂෙපණය කළත් (විද්දත්) ටික වෙලාවකින් අංශුව බමරය කැරකෙන පැත්තට ම කැරකෙන බව පෙන්නන්න පුළුවන් වුණෙ. ඒත් මට එච්චර දෙයක් අහුල ගන්න පුළුවන් වුණෙ නැති බව බටහිර වෙදමහත්තුරු කියනවා. මේ ඊයේ මා පළකරපු ලිපියට බටහිර වෙදමහත්තුරු හා වෙදහාමිනේලා දැක්වූ ප්‍රතිචාර.

 ‘ "පට්ටපල් බොරුවක් " ලෙස මොහු විසින්ම හදුන්වන බටහිර විද්‍යාව ගැන එහෙන් මෙහෙන් අහුලා ගත් කරුණු එකතු කර තමන් ඒ ගැන දන්නා බව පෙන්වීමටත් දොස්තරලා දන්නා දෙයක්, කරන දෙයක් නොමැති බවත් පැවසීම ලාංකීය සමාජයේ සුලු පිරිසකගේ ලක්ෂණයක් වන ද්වේශය සහ හීනමාන මානසිකත්වය ප්‍රකට කිරීම හැර අන් කවරක්ද ?

 But when he got a heart attack, he didn't go to weda mahaththaya and not try with endogenous medication. But take what he says so called Western medical treatment, with angioplasty and stent placement

 Patients in icu managed by mbbs doctors. Don't forget Dr Narangoda and other staff at IDH hospital’.

 මා මේ ගැන මොනවා කියන්න ද? මා හරියට කරුණු ටිකක් අඩු ගණනේ අහුලා ගෙනවත් නැති බවත් අහුලා ගෙන තියෙන්නෙ එහෙන් මෙහෙන් බවත් බටහිර වෙදමහත්තයෙක් කියනවා. ඔහු අර පට්ටපල් බොරු කතාව අහුල ගත්ත ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. එහෙත් බොහෝ අය මෙන් ම ඔහුටත් ඒ ගැන අදහසක් නැහැ. ඔහු බෞද්ධ ද කියා මා දන්නේ නැහැ. ඒත් කියන්න ඕන ඔහු තමා ඉන්නවා කිවුවොත් ඒකත් පට්ටපල් නැතත් බොරුවක්. මාතර ගඟේ කිඹුලො ඉන්නවා කියන එකත් බොරුවක්. බොහෝ බටහිර වෙදමහත්තුරු වෙදහාමිනේලා මෙරට අනෙක් බොහෝ උගතුන් මෙන් ම  හුඟක් දේ දන්නවා. ඒත් කිසිම දෙයක් දන්නෙ නැහැ. මා ඒක කියන්නේ ද්වේෂයකින් හා හීනමානයකින් බවට ඒ බටහිර වෙදමහත්තයා නිගමනයකට පැමිණියේ මනෝ චිකිත්සකයකු ලෙස ද දන්නෙ නැහැ. 

මගේ හෘදයාබාධය ගැන මා කිහිප විටක් ම කියා තියෙනවා. ඊයේ ලිපියෙන් පසු එය නැවතත් කියන බව මා දැන සිටියා. එහෙත් ඒ බටහිර වෙදමහත්තයා දන්නෙ නැතිවාට මට පළමු වර හෘදයාබාධයක් හැදුණු වෙලාවෙ මා ගියේ නාථ දේව මණ්ඩලයෙන් ප්‍රතිකාර ගන්න. දෙවැනි අවස්ථාව වන විට යම් යම් ප්‍රශ්න තිබුණ නිසා මා ගියේ නැහැ. කෙසේ වෙතත් බටහිර වෙදමහතා ස්ටෙන්ට් එක කොහෙන් අහුල ගෙන ද දන්නෙ නැහැ. මට ස්ටෙන්ට් එකක් නම් දැම්මෙ නැහැ. වෙන දෙයක් කෙරුණෙ.

 තුන්වැනි ප්‍රකාශය බටහිර වෙදහාමිනේ කෙනෙක්ගෙන්.  යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන එක වෙනස් කරන්න කාලෙ ඇවිල්ල. අලුත් විධියට කියන්නෙ මෙහෙමයි. කොවිඩ්වලට මුහුණ දෙන්නෙ කොහොම ද, දොස්තර මහත්තුරු/හාමිනේලා දැඩි සත්කාර ඒකකයෙ ලෙඩ්ඩු බලනවා.

කොවිඩ් 19ට එන්නතක් තවම  නැහැ. කොවිඩ් 19 ගැන කරන්න තියෙන්නෙ ප්‍රතිශක්තිකරණය වැඩි කරන එක. කොවිඩ් 19 නිසා සංකූලතා ඇති වුණොත් රෝහලකට යවාවි. රෝගීන් නිරෝධායනය කෙරෙන්නෙත්  ඇසුරු කළවුන් හඹා යන්නෙත් බටහිර වෙදමහත්තුරු නො වෙයි. අනිල් ජාසිංහත් එකල එයට හවුල් වුණෙ පරිපාලකයකු ලෙස මිස සෝවියට් දේශයෙන් උපාධි ගත්ත බටහිර වෙදමහත්තයකු ලෙස නො වෙයි. ඔහු පරිපාලකයකු වුණෙ කොහොමද කියන එක මෙහි දී අදාළ නැහැ. අපි නිකමට සෞඛ්‍ය අමාත්‍යංශයෙ ඉහළ ම නිලය ගනිමු. ලේකම්කම. අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ලේකම් වුණෙ නැහැ. ඔහු දැන් වෙනත් අමාත්‍යාංශයක ලේකම්. සෞඛ්‍ය අමාත්‍යංශයෙ ලේකම් බටහිර වෙදමහත්තයකු වෙන්න ඕන නැහැ.  ඇතැම් සිංහල වෙදමහත්තයකුටත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ පරිපාලන නිල. සංකූලතා නැත්නම් මා කියන්නෙ කොවිඩ් 19 සම්බන්ධයෙන් බටහිර වෙදමහත්තුරුන්ට කරන්න පුළුවන් බලා ඉන්න එක පමණයි.

මා ඊයේ ඇසූ ප්‍රශ්නවලට නම් කිසිවකු පිළිතුරු දීල තිබුණෙ නැහැ. මෙහි දී ප්‍රශ්න වඩා අදාළ වන්නෙ සිංහල වෙදමහත්තුරුන්ට. රාජ්‍ය ඇමති සිසිර ජයකොඩිට පුළුවන් ද මැදිහත් වෙන්න. මේ ලිපි  ඔහු කියවනවා ද දන්නෙ නැහැ. පඬි නැට්ටකු අහල තිබුණ නාථ දේව මණ්ඩලයෙන් උපදෙස් ගෙන කොවිඩ් පාලනය කරන්න බැරි කියල. ඒකට උත්තරයත් ඊයේ ලිපියේත් කලිනුත් දීල තියෙනවා. දුම් හට්ථටිය ලංකාව පුරා සති දෙකක් අල්ලන්න. ඒකට සිසිර ජයකොඩිට මැදිහත් වෙන්න පුළුවන් ද? ඒකටත් හරහට හිටින්නෙ ඊනියා විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමය තමන් සතු කියල හිතන අය. 

අර කළු කුහර ගැන බොහෝ දේ කියන්න තියෙනවා. අයින්ස්ටයින්ට කළු කුහර ගැන කියන්න පුළුවන් වුණත් අඳුරු ද්‍රව්‍යය (Dark Matter) හා අඳුරු ශක්තිය (Dark Energy) ගැන කියන්න බැහැ. අඳුරු ද්‍රව්‍ය හා අඳුරු ශක්තිය කියන්නෙ අවකාශයට ද? බටහිර භෞතික විද්‍යාව කතන්දර හදන්නෙ ආපෝ තේජෝ වායෝ පඨවි මත පදනම් වෙලා. ආකාශත් එකතු කළොත් මොකක් වෙයි ද? සාම පරෙයියන් බලන්නෙ නැති වෙලාවට මා ඒ ගැන කතන්දරයක් හදනවා. ඔන්න එකෝමත් එක විශ්වයක ආකාශ් කියල යෝධයෙක් හිටියා. ආකාශ් වෙලාවකට තමන් ම තල්ලු කරනවා තවත් වෙලාවකට තමන් ම අදිනවා. කතාවෙ ඊළඟ කොටස වසන්ත කටුගම්පොළගෙන් හා කුමුදුමලී ජයකොඩිගෙන් අහගන්න. තුන්වැනි කොටස සාම පරෙවියන්ටත් කියන්න ඕන.ටිකක් කල් යයි.