Main Logo

Sunday 25 October 2020

බැසිල්ගෙ මන්ත්‍රීතන්ත්‍රවාදය පනස්හයට හරස්වීම

 

බැසිල්ගෙ මන්ත්‍රීතන්ත්‍රවාදය පනස්හයට හරස්වීම

 

අප රටේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව අප නොදන්නවා නො වේ. අප රටේ ක්‍රියාත්මකවන්නේ ප්‍රෝඩාතන්ත්‍රවාදයක් යැයි ඇතැමුන් කියනු ඇත. එහෙත් මා කියන්නේ මෙරට ක්‍රියාත්මක වන්නේ මන්ත්‍රීතන්ත්‍රවාදයක් බව ය. එය වඩාත් ම හොඳින් දන්නේ බැසිල් රාජපක්‍ෂ. ඔහුගේ ඊනියා දක්‍ෂතාව ඇත්තේ එය තේරුම් ගැනීමට හා කළමනාකරණය කිරීමට දක්වන සමත් කමෙහි ය. මන්ත්‍රීවරුන්ට සමීප වීම ඔවුන්ගේ දුරකතන පණිවුඩවලට පිළිතුරු දීම, මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම මන්ත්‍රීතන්ත්‍රවාදයේ අංග. විවිධ අය විවිධ දේ සම්බන්ධයෙන් දක්‍ෂතා දක්වනවා. අපි බැසිල්ගේ දක්‍ෂකම ගැන පසුව කතා කරමු. ඔහු රටට නැතිව ම බැරි වස්තුවක් ද?

 

ජී එල් පීරිස් ද වස්තුවක් නොවූවත් දක්‍ෂයෙක්. ඔහු දක්‍ෂයකු වන්නේ කරුණු මතක තබා ගැනීමෙහි හා ඉදිරිපත් කිරීමෙහි දී පමණයි. ඔහුට කිසිම නිර්මාණාත්මක හැකියාවක් නැහැ. මෙරට අධ්‍යාපන ඇමතිකමට ඔහු සුදුසු ම පුද්ගලයා. ඔහුට තර්කය නම් අරහං. ඒ බව මගේ පියා ද මට කියා තියෙනවා. ඔහු විස්ස පිළිබඳ විවාදයෙහි දී බහුශ්‍රැත භාවයක් පෙන්වමින් කියා සිටියේ ද්විත්ව රටවැසියන් ද රටවැසියන් බැවින් ඔවුන්ට වෙනස්කමක් කළ නොහැකි බවයි. සියලු රටවැසියෝ සමානවෙති. සියලු සිරකරුවෝ මනුෂ්‍යයෝ ය. අමනුෂ්‍යයන් සමහර විට බෝතල්වල සිරකරනු ලැබේ. විවිධාකාරයේ බෝතල් තියෙනවා. 

සියලු රටවැසියන් සමාන නිසා අප පළමුවෙන් කළ යුත්තේ මේ ද්විත්ව විශේෂණය ඉවත් කිරීම යි. ද්විත්ව කියන කොට ම වෙනස්කමක් තියෙනවා. එත් සියලු රටවැසියන් සමාන නිසා පළමුවෙන් කළ යුත්තේ සැමට ඡන්ද බලය දීමයි. අවුරුදු දහඅටෙන් අඩු අයට ද ඡන්ද බලය දෙන්න ඕන. ඕනෑම අයකුට වයස් සීමා නොතකා විවාහ වෙන්න ඉඩ දෙන්න ඕන. හාමුදුරුවන්ටත් විවාහ වෙන්න පුළුවන් වෙන්න ඕන. අප උන්වහන්සේලාගේ මානව අයිතිවාසිකමක් උල්ලංඝනය කරන්න හොඳ නැහැ. ඕනෑම අයකුට උපකුලපතිවරයකු වෙන්න පුළුවන් කම තියෙන්න ඕන. සමහර හිටපු හා වත්මන් උපකුලපතිල දිහා බැලුව ම ඒකෙ වරදක් පෙන්නන්න බැහැ. මේ පිළිබඳ වැඩි විස්තර මානව අයිතිවාසිකම් අයිතිකරුවන්ගෙන් අහගන්න පුළුවන්. 

අප මේ කරුණු කලින් ද කියා තිබුණත් ජී එල්ගෙ විශිෂ්ට තර්ක බුද්ධියට ඒ එකක්වත් අහුවෙලා නැහැ. සියලු සිරකරුවෝ මනුෂ්‍යයෝ ය. සියලු මනුෂ්‍යයෝ ද සිරකරුවෝ ය. ඒ ගැන පොඩි ලැසී හරි පාක්‍යසෝති සරවනමුත්තු හරි මොනව කියයි ද දන්නෙ නැහැ. පොඩි ලැසීට වනාතමුල්ලෙ පී සරා නැත්නම් පාක්‍යසෝති සරවනමුත්තු ක්‍රිඩාංගනයෙ ක්‍රිකට් තරගයකට සහභාගි වෙන්න පුළුවන් ද? 

දැන් මන්ත්‍රීතන්ත්‍රවාදයට. අපි මන්ත්‍රීවරු නොවෙයි. අඩු තරමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්වත් නොවෙයි. මා 1994 දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන්න ගිහින් ඇපත් නැති කර ගත්ත. මිනිසුන් ඡන්දෙ දෙන්නෙ ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එකකට. තුන්වැනි බලවේග හදන කතා හොඳ කතා පමණයි. ඒවා දෙඩුම් ශිල්පීන්ට හොඳයි. පොදුජන පෙරමුණ කියන්නෙ ශ්‍රී ල නි පක්‍ෂයේ ම නැවත ඉපදීම. ඒක හැදීමේ ගෞරවය අවසාන වශයෙන් හිමි වෙන්නෙ පනස්හයේ දරුවන්ට. මහින්ද රාජපක්‍ෂත් පනස්හයේ දරුවෙක්. මෛත්‍රිපාල සිරිසේනත් එහෙමයි. ගෝඨාභය රාජපක්‍ෂත් පනස්හයේ දරුවෙක්. දිනේෂ් ගුණවර්ධනත් එහෙමයි. 

මේ පනස්හය තමයි ඉදිරියට යන්නෙ. පනස්හයේ බණ්ඩාරනායක, රාජපක්‍ෂ, පිලිප් ගුණවර්ධන, ඉලංගරත්න වැනි අය හිටියා. විමලා විජේවර්ධනත් හිටිය. එහෙම නැතිව දේශපාලන ප්‍රවාහයක් හැදෙන්නෙ නැහැ. ප්‍රවාහයෙ මඩ වතුරත් තියෙනවා. පොල් කෝම්බත් තියෙනවා. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. පනස්හය ඉදිරියට ගිහින් තමයි සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වුණෙ. ඔහු මේ අවුරුදු පහේ විතරක් නොවෙයි ඊළඟ අවුරුදු පහෙත් ජනාධිපති වෙන්න ඕන. ඉන් පසු වෙන දේ මොකක් වුණත් පනස්හය ඉදිරියට ගෙන යෑමක් වෙන්න ඕන. එය ක්‍රමයෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා ගමන් ගනීවි. සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීමට අවශ්‍ය වන්නෙ සියලු ආකාර ජාත්‍යන්තරවාදවලින් නිදහස් වීමට. 

අගෝස්තු මැතිවරණයෙන් පස්සෙ මා කිව්ව මන්ත්‍රී ධුර 149ක් තියෙන නිසා ඩීල් අවශ්‍ය නැහැ කියල. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ ඩීල් ඉවරයි කියල. ඩීල් අවශ්‍ය නැහැ කියන එක ඩීල් ඉවරයි කියල තේරුම් ගන්නෙ අර දෙඩුම් ශිල්පීන්. ඔවුන්ට දොඩන්නත් මොනව හරි තියෙන්න එපායැ. ඡන්දදායකයන් කරන්නෙ අවුරුදු පහකට සැරයක් මන්ත්‍රීන් පත් කර ගන්න එක. මන්ත්‍රි අපේක්‍ෂකයන් කවුද කියල තීරණය කෙරෙන්නෙ ඒ ඒ පක්‍ෂවලින්. ඡන්දදායකයන්ට කරන්න පුළුවන් එහෙම තීරණය කෙරෙන අපේක්‍ෂයන්ගෙන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවට යැවීම පමණයි. ඉන් පසු ඒ මන්ත්‍රීන් මෙහෙයවෙන්නෙ ඡන්දදායකයන් අතින් නොවෙයි. ඉන් පස්සෙ තියෙන්නෙ මන්ත්‍රීතන්ත්‍රවාදය. 

අද බැසිල් රාජපක්‍ෂ තමයි මන්ත්‍රීතන්ත්‍රවාදය හසුරුවන්නෙ. මුස්ලිම් මන්ත්‍රීවරුන් නිකම් ම විස්සට පක්‍ෂ වුණා කියා හිතන්නෙ කවුද? හකීම් බද්‍යුද්දීන් ඡන්දෙ නොදීමත් ප්‍රශ්නයක් නොවෙයි. ඒක තමයි නාට්‍ය පිටපත. අප ඒ බව නොදැන හිටියා නො වෙයි. මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනකුටවත් රාජ්‍ය ඇමතිකම්වත් ලැබෙයි. අපට තියෙන ප්‍රශ්නය මේ මුස්ලිම් මන්ත්‍රීවරුන් මොහිදීන් බෙග් වගේ බුදුගුණ ගීත නොගැයීමයි. මොහිදීන් බෙග් කිසි දා බෞද්ධයකු වුණෙ නැහැ. එහෙත් කවුද කිවුව වගේ ඔහු නැත්නම් වෙසක් නැහැ. 

ඒ වගේ ම විසිපහේදි ගෝඨාභය රාජපක්‍ෂ නැවත ජනාධිපති කර ගැනීමට මන්ත්‍රීතන්ත්‍රවාදය අහිතකර ලෙස බලපෑමයි. 2015 දි මහින්ද පැරදුණෙත් සිරිසේන අනෙක් පැත්තට ගියෙත් මන්ත්‍රීතන්ත්‍රවාදය නිසා. අවුරුදු පහක් මන්ත්‍රීන්ත්‍රවාදයෙ ඉහළින් වැජඹුනත් ජනතාව ඉදිරියට යන්න ඕන. ඒ ගියා ම ඡන්දදායකයන් දෙන තීන්දුව මන්ත්‍රීතන්ත්‍රවාදයට පටහැණි වෙනවා. මා ඊයේ කී පරිදි මන්ත්‍රීතන්ත්‍රවාදය නිසා අපට තවත් සරත් ෆොන්සේකල  මෛත්‍රිපාල සිරිසේනල අනෙක් පැත්තට යවන්න ඕන නැහැ. 2010 ඉහළින් ම දිනපු ආණ්ඩුවක් තමයි 2015 දි පැරදුණෙ. ඒකට වග කියන්න ඕන සිරිසේන ද? සිරිසේන එතරම් දක්‍ෂ ද? සිරිසේන ගියේ මොකක් නිසා ද? මන්ත්‍රීතන්ත්‍රවාදය නිසා නො වේ ද? 

අද කොවිඩ් විශාල ප්‍රශ්නයක් වෙලා. ඒකට බටහිර වෙදමහත්තුරුන්ට විසඳුමක් නැහැ. පීසිආර් ධන අයට රෝග ලක්‍ෂණ තියෙනවා ද? ඔවුන් ගෙදර තියන්න බැරි ද? ඔවුන් බටහිර වෙදමහත්තුරුන්ගෙ සිරකාරයො වෙන්න ඕන ද?  ශිරන්ත චාමර හිටියෙ ගෙදර. ගම්වල අවශ්‍ය නම් හාමුදුරුවන්ගෙ වෙදමහත්තයාගෙ ග්‍රාම නිලධාරි මහතාගෙ පොලිස් නිලධාරි මහතකුගෙ හමුදා නිලධාරි මහතකුගෙ ගම් වැසියන් කිහිප දෙනකුගෙ සෝදිසි කමිටු හදන්න පුළුවන්. පීසිආර් ධන අය රෝහල්වල නිරෝධායන ආයතනවල ගාල් කරල ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒ කමිටුවලට දෙයියන්නෙ නාමෙට මන්ත්‍රීවරුන් පත් කරන්න එපා. මේක දෙයියන්නෙ ලෙඩක්. මන්ත්‍රීවරුන් පත් කළොත් මන්ත්‍රීතන්ත්‍රවාදයට යට වෙනවා.