Main Logo

Thursday 29 October 2020

පොම්පියෝ හා ආණ්ඩුව

 


පොම්පියෝ හා ආණ්ඩුව


පොම්පියෝ ගැන මෙතරම් ලියන්න වේය කියා මා හිතුවේ නැහැ. යොන් මැරිල්ල, තර්කය හා කාළාම සූත්‍රය ගැන ඇතැමුන් නොදන්නා දේ, තම නොහැකියාව ප්‍රදර්ශනය කළ පේරාදෙණියේ ඉංගිරිසි අංශයේ පඬි පෝතිකාව ආදිය ගැන පමණක් නොව සිංහල බෞද්ධයන්ට විරුද්ධව ඇති සිංහල බෞද්ධ ජරාව වැනි නම්වලින් ම ඇති සකර්බර්ග් ගිණුම් ආදිය ගැනත් ලිවීම කල් යන එක පමණයි සිදු වන්නේ. අප රටේ බෞද්ධයන් නොමැති වීම ගැනත් ලියන්න ඕන. බෞද්ධයන් ඉන්නව නම් ඒකත් නොවෙයි ඒක නොවන්නත් නොවෙයි කිවුව ම වෙන මොකක් ද කියල අහවි යැයි. කාළාම සූත්‍රය ගැන බණ කියන හාමුදුරුවරු යමක් තර්කානුකූල වූ නිසා ම යමක් න්‍යායානුකූල වූ නිසා ම පමණක් පිළිගන්න එපා කියන්නෙ මොක ද කියල ඊනියා තාර්කික බෞද්ධයන්ට පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ මොක ද? මධ්‍යම ප්‍රතිපදාවෙ අන්ත දෙක ඉවතලන්න කියන්නෙ මොක ද? අන්ත දෙකක් විතර ද තියෙන්නෙ.  මෙරට ඊනියා බෞද්ධයන් බුදුහාමුදුරුවන්ට වඩා ඇරිස්ටෝටල්ට සලකන බව පේනවා. යොන් මැරිල්ලෙ තවත් අර්ථ තියෙනවා ද? 


ඒව පස්සට. පොම්පියෝ ඉදිරියට ගමු. මෙරට ඇමරිකන් කොමියුනිස්ට් පක්‍ෂය, සජිත් පාණ්ඩුකාය (බලකායක් නොවේ), ඊනියා වාමාංශික දේශපාලනයෙ යෙදෙන අය ආදීන් බලන් හිටියෙ පොම්පියෝ ඇවිල්ල එම්සීසී ගිවිසුමයි තවත් ගිවිසුම් කිහිපයකුයි අතසන් කරන  තෙක්. හරියට පොම්පියො තකහනියක් ඔහුගෙ රටේ ජනාධිපතිවරණය අත ළඟ තියාගෙන ලංකාවට ඇවිල්ල ගිවිසුම් අත්සන් කරල ට්‍රම්ප්ට ඡන්ද වැඩි කර ගන්න උදවු වෙයි කියල වගේ. සමහර පඬියන් පොම්පියො කවුද කියලවත් දැන හිටියෙ නැහැ. රාජ්‍ය ලේකම් කිවුව ම අපේ රාජ්‍ය ඇමති කෙනෙක් වගේ කියල ඔවුන් හිතුවෙ. 





පොම්පියො මූලික ව ආවෙ ඉන්දියාවට.  එහෙට පොම්පියො විතරක් නොවෙයි ආරක්‍ෂක ලේකම් මාක් එස්පර්ත් ගිහින්. පොම්පියොට හා ට්‍රම්ප්ට ඕන වෙලා තිබුණෙ ජනාධිපතිවරණයට ඉස්සෙල්ල ඉන්දියාව එක්ක චීනයට එරෙහිව ගිවිසුම් කිහිපයක් අත්සන් කරන්න මිසක් ලංකාව එක්ක එම්සීසී අත්සන් කරන්න නො වෙයි. එහෙත් පොම්පියොලාට අපත් වැදගත් වෙනවා. අප ඉන්දියන් සාගරයෙ නිසා. පොම්පියො මාල දිවයිනටත් ගියා. මාලදිවයිනේ නැත් ද ඇමරිකන් කොමියුනිස්ට් පක්‍ෂයක්. 


ඉන්දියාවට පොම්පියොත් එස්පර්ත් ආපු වෙලාවෙ ඔවුන් පිළිගන්න ගිහින් තිබුණෙ ඉන්දියාවෙ ආරක්‍ෂක ඇමති රාජ්නාත් සිං. එස්පර් වෙනුවෙන් පසුව රාජ්‍ය ගෞරවත් ලබා දුන්න. ඔවුන් වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහ එහෙමත් තිබිල තියෙනවා. ඒත් පොම්පියො ලංකාවට ආවම මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන ගුවන් තොටුපොළට ගියේ නැහැ. එය එතරම් මෙරට සාකච්ඡා වුණු බවක් පේන්න තිබුණෙ නැහැ. මේ ආවෙ මහා බලවත් ඇමරිකාවෙ විදේශ ඇමති. අපේ විදේශ ඇමති පිළිගන්න ගියේ නැහැ. ඒ වෙනුව ගියේ රාජ්‍ය ඇමති තාරක බාලසූරිය. 


මා තාරකට අගෞරවයක් කරනවා නො වෙයි. ඔහුගේ දෙමවුපියන් මා හොඳින් දන්නවා. මට මතක හැටියට දැන් අවුරුදු පහළොවකට පමණ ඉස්සර මාත් කමල් කරුණානායකත් තාරක සමග කොළඹ සිට ඔවුන්ගේ කෑගල්ලේ නිවසට ගියා. ඒ චන්ද්‍රිකාගෙ කාලෙ පවත්වපු ශ්‍රී ල නි ප සම්මන්ත්‍රණයකට සහභාගි වීමට. මට මේ සිද්ධිය මතක තියෙන්නෙ වෙන කාරණයක් හින්ද නොවෙයි එය එක්තරා විධියකට තාරකගෙ දෙමවුපියන් චන්ද්‍රිකාට විරුද්ධව පවත්වපු සම්මන්ත්‍රණයක් නිසා. මට ඒකට එන්න කිවුවෙ චන්ද්‍රිකාට පක්‍ෂව කතා කරන්න නම් නො වෙයි.


කොහොමටත් පොම්පියො පිළිගන්න දිනේෂ් ගියෙ නැත්තෙ ආණ්ඩුවෙ වැඩ පිළිවෙළක් උඩ බව පැහැදිලියි. පොම්පියො වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්තුවෙත් නැහැ. ඔහු තව රැයක් හිටිය නම් මොනව හරි කර ගන්න තිබුණා. පොම්පියො ඇවිල්ල තම මූලික  කරතව්‍යය කළා. චීනයට බැණ වැදුණා. චීනයේ ගොදුරු අල්ලන් කන ප්‍රතිපත්තියක් ගැන කිවුව. මට පනුවන් කන සාම පරෙවියන් මතක් වුණා. සාම පරෙවියන් නම් නඩත්තු කෙරෙන්නෙ චීනයෙන් නො වෙයි. චීනය වහාම පොම්පියෝට උත්තර දුන්නා. එක්සත් රාජ්‍ය හා චීනය අතර ප්‍රශ්නය කොළඹ දි ප්‍රකාශ වුණෙ ගරු උගත් ඇමතිතුමා, තානාපති උතුමාණන් වැනි වැල් වටාරම් නැතිව.


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පොම්පියෝට කියා හිටියා අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන. චීනයේ ඊනියා ණය උගුලක් නැති බවත් පොම්පියෝගෙ මුණට ම කිවුව. සමහරු හිතනව  ගෝඨාභය රාජපක්‍ෂ තාමත් ඇමරිකන් රටවැසියෙක් කියා. එහෙම නම් ඔහොම කියන්න පුළුවන් ද? අනෙක් පැත්තෙන් තවත් දෙයක් පෙන්නුම් කෙරුණා. ඇමරිකන් රාජ්‍ය ලේකම්ට එහෙම කියන්න පුළුවන් ජනාධිපතිවරයකු අපට ඉන්න ඕන බව. ඒ කියන්නෙ ජනාධිපති, ඇමතිවරු, තානාපතිවරුන් ආදීන් ද්විත්ව රටවැසියන් නොවීමේ වැදගත්කම. 


විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනත් අපේ කිසිවකුට පක්‍ෂ නැති, රටේ ස්වෛරිභාවය ආරක්‍ෂා කර ගන්නා විදේශ ප්‍රතිපත්තිය ගැන පොම්පියෝට කියල දුන්න. මේ කතා සියල්ලෙන් ම පැහැදිලි වන්නෙ අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් කෙරෙන්නෙ අපට ඕන විධියට මිස වෙන කාටවත් ඕන විධියට නොවන බව පොම්පියෝටත් අනෙක් අයටත් දැන ගැනීමටත් සලස්වා ඇති බවයි. මට මතක් වෙන්නෙ බණ්ඩාරනායක මැතිණිය වගේ ම මහින්ද රාජපක්‍ෂ. මහින්ද ප්‍රංශ හා එංගලන්ත විදේශ ඇමතිවරුන්ට ඇඹිලිපිටියට එන්න කියල කිවුව දේ. 


ඒ එක්ක ම මට හිතෙනව සජිත් අනුර කල්ලිය බලයෙ හිටිය නම් වෙන්න තිබුණ දේ. අනුරගෙ උද්ඝෝෂණය නම් තියෙන්නෙ නැහැ. එම්සීසී ගිවිසුම අත්සන් කෙරෙන්නෙත් නැහැ. ඒකට හේතුව සජිත් ඇමරිකන් තානාපතිනිය සමග ගිවිසුම අත්සන් කර තිබීම. අර මිලියන 480 ණය උගුලක් ද කියල පොම්පියො කියන්න ඉඩ තිබුණා. සජිත් ට්‍රම්ප් වගේ ම කොවිඩ් 19ට මුහුණ දෙන්න තිබුණ.


පොම්පියෝ සිද්ධිය රටේ ගෞරවය රැක ගනිමින් හොඳින් සැලසුම් කිරීම ගැන ආණ්ඩුවට පින් දෙන්න ඕන. ඉන්දියාව ලොකු රටක් වුණාට දුර්වලයි. ඔවුන් එකල ඇමරිකන් සෙවණේ සිටි පකිස්ථානයට විරුද්ධව සෝවියට් සංගමය සමග මිතුදම් පැවැත්තුවා. නේරුට තිබුණු සමාජවාදයක නැහැ. ඔහුට තිබුණෙ පකිස්ථාන්වදය. අද මෝදිට තියෙන්නෙ චීනවදය. 1962 දී ඉන්දියාව හා චීනය අතර දේශසීමා ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවෙ ඒකට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මැදිහත් වුණා. ඇය බුරුමය (මියන්මාරය), කාම්බෝජය, ඝානාව, එක්සත් අරාබි ජනරජය යන රටවල නියෝජිතයන් ලංකාවට ගෙන්නල ප්‍රශ්නය තුනී කළා. 


අද වන විට ලෝකය හුඟක් වෙනස් වෙලා. ඒත් අපට මැදිහත් වෙන්න බැරිකමක් නැහැ. ඉන්දියාව හා චීනය අතර ප්‍රශ්නය දුරදිග ගියොත් මේ කලාපය ම මහා ව්‍යසනයකට පත් වෙන්න පුළුවන්. ඒත් මේ සියල්ල අස්සට කොවිඩ් ඇවිත්. එය එක ලෙඩක් වෙද්දු ගොඩක් වෙලා.