Main Logo

Saturday 16 January 2021

නැහැසුම් නසා පැණිය බෙදා හැරිය යුතුයි

 නැහැසුම් නසා පැණිය බෙදා හැරිය යුතුයි  


බටහිර දැනුම් ආධිපත්‍යයේ රඟ දැන් සමහර අයට වැටහෙනවා. අඩු තරමෙන් දැනුම් පද්ධති රාශියක් ලෝකයේ තිබෙන බවත් ඉන් කිහිපයක් හරි ලංකාවට ආවේණික බවත් දැන් ඇතැමුන් පිළිගන්නවා. බටහිර දැනුම් පද්ධතිය එක ම දැනුම් පද්ධතිය නොවන බව රූපවාහිනී සාකච්ඡාවල  නිතර ප්‍රකාශ වෙනවා. දැනුම් පද්ධති කියන වචන ටිකවත් කලකට පෙර අහන්න තිබුණේ නැහැ.


එහෙත් මෙයින් කියැවෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය පරාජය වී ඇති බව නො වෙයි. එය තාමත් මෙරටත් වෙනත් රටවලත් ආධිපත්‍යය දරණවා. එය යටත්විජිතවාදයක්. ඒ යටත්විජිතවාදය බිඳ දැමීම පහසු කටයුත්තක් නො වෙයි. අද ධම්මික වෙද මහතාගේ පැණියට සිදු වී ඇත්තේ කුමක් ද? ඒ ගැන රාජ්‍ය ඇමතිවරුන් වූ චන්න ජයසුමන හා සිසිර ජයකොඩි ප්‍රකාශයක් කරනවා ද? එහෙමත් නැත්තන් ඇමතිනි පවිත්‍රා දේවී වන්නිආරච්චි ප්‍රකාශයක් කරනවා ද? 


අප දන්නේ පැණිය සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලින් එය සමත් වූ බවයි. එහි වසක් විසක් නැති බව බටහිර විද්‍යාව අනුව කරන ලද පරීක්‍ෂාවලින් තහවුරු වී තියෙනවා. මා එයින් අදහස් කරන්නේ ඒ බටහිර විද්‍යා පරීක්‍ෂා පිළිගන්න බවක් නො වෙයි. අවාසනාවකට බටහිර වෙදකමේ ආධිපත්‍යය නිසා ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර විද්‍යාවේ හා බටහිර වෛද්‍ය විද්‍යාවේ පරීක්‍ෂාවලට යටත් කරන්න සිදු වුණා. එය කිසිසේත්ම කළ යුතුව තිබුණු දෙයක් නො වෙයි. 


බුදුදහම ක්‍රිස්තියානි දහම අනුව පරීක්‍ෂා කළ යුතු යැයි යමකු කීවොත් බෞද්ධයන් එය පිළිගන්නවා ද? ඔවුන් ඒ නොපිළිගත්තත් බුදුදහම විද්‍යාත්මක යැයි කීමට නම් බොහෝ දෙනා පෙරට ඒවි. බටහිර විද්‍යාවේ අද කියන දේ බුදුුහාමුදුරුවන් අවුරුදු දෙදහස් හයසීයකට පමණ පෙර දේශනා කර ඇතැයි කීමට ඔවුන් ඉදිරිපත් වේවි. ඒ කතා පැත්තකින් තියල අඳුරු ද්‍රව්‍ය හරි අඳුරු ශක්තිය හරි ගැන බුදුදහමේ කියා ඇත්තේ කුමක් ද කියා බුදුදහම හා විශ්වවේදය සංසන්දනය කරන පඬි පෝතිකාවන් කියනවා ද? 


අඳුරු ශක්තිය හා අඳුරු ද්‍රව්‍යය ගැන බටහිර විද්‍යාවට කියන්න කිසිවක් නැහැ. එවැන්නක් තියෙන බවක් කියනවා. තියෙනවා ද කියන එකත් හරිහැටි පැහැදිලි නැහැ. මා කියන්නේ බටහිර විද්‍යාව, විශ්වවේදය ඒ ගැන කිසිවක් කීමට පෙර බුදුදහම බටහිර විද්‍යාව සමග සංසන්දනය කරන පඬි පෝතිකාවන්  අඳුරු ද්‍රව්‍යය හා අඳුරු ශක්තිය ගැන බුදුදහමේ ඇති දේ ප්‍රකාශ කළ යුතු බවයි. අඳුරු ද්‍රව්‍යය හා අඳුරු ශක්තිය කියා දේ නැත්නම් අඩු තරමෙන් ඒ බවවත් කියනවා ද? බටහිර විද්‍යාව ඒ ගැන යමක් කී පසු බුදුදහමේත් මෙහෙම තියෙනවා කියා කීම බටහිර විද්‍යා ආධිපත්‍යයට බුදුදහම යට කිරීමක් පමණයි. 


බුදුදහමේ ඇති බටහිර විද්‍යාවක් නැහැ. බටහිර විද්‍යාව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූවක්. බුදුදහමත් පදනම් වී ඇත්තේ ඒ චින්තනයේ ද? සමහරු හිතන්නේ මා මේ කරුණු කියන්නේ දැන්  කියායිි. එසේ කියන්නන්ට කිසිම අලුත් අදහසක් ඇති වෙලා නැහැ. ඔවුන් අනුන්ගේ අදහස් වමාරන්නන් පමණයි. මේ කරුණු විදුසර ලිපිවල පමණක් නොව මගේ ලෝකයෙහිත් කියැවෙනවා. බුදුදහමේ ඊනියා විද්‍යාත්මක බව ගැන මා ලිපි රාශියක් ලියා ඇති. විශේෂයෙන් ම කාලෝ ෆොන්සේකා සමග ඇති වූ සංවාදවල මේ ගැන ප්‍රකාශ කර ඇති.


ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර වෛද්‍ය විද්‍යාවේ පරීක්‍ෂාවලට ලක් කිරීමත් සම්පූර්ණයෙන් ම වැරදියි. එහෙත් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය නිසා එසේ කරන්න සිදු වුණා.  එහි දී මා කලින් සඳහන් කළ පරිදි එහි වසක් විසක් නැති බවට ද ඊනියා පරීක්‍ෂාවකින් තහවුරු වුණා. එපමණක් නො වෙයි. එයට අර බටහිර වෛද්‍ය විද්‍යාවේ කියැවෙන ආචාරධාර්මී අවසරය ද ලැබුණා. ඉන් පසු බටහිර වෙදකමේ රෝහලක පැණිය රෝගීන්ට දී ඊනියා සායනික නැහැසුම් (පරීක්‍ෂා) කිරීමද පටන් ගත්තා. අපේ ප්‍රශ්නය මේ නැහැසුම්වලට සිදු වුණේ කුමක් ද කියන එකයි.


ඒ පරීක්‍ෂා දවසකින් දෙකකින් කරන්න බැරි බව කියාවි. රෝගීන් දහසකටවත් නැහැසුම් පවත්වන්න ඕන කියාවි. දැනට රෝගීන් කී දෙනකු සම්බන්ධයෙන් නැහැසුම් කෙරි ඇත් දැයි පවිත්‍රා දේවී ඇමතිවරිය අපට කියනවා ද?  ඒ පිළිතුරෙන් ඔය නැහැසුම්වලට තව කොපමණ කලක් ගත වේවි දැයි අපට හිතාගන්න පුළුවන් වේවි. 


ඊනියා නැහැසුම්වලට කලක් ගත වෙනව නම් කළ  යුත්තේ ඇමතිනි පවිත්‍රා දේවිට බැරි නම් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පැණිය බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීමයි. පැණිය ඖෂධයක් ලෙස නිෂ්පාදනය කළ හැකි බවට ආයුර්වේද සූත්‍ර කමිටුව තීරණය කර තියෙනවා. ධම්මික වෙද මහතාගේ ඖෂධාගාරයේ එය නිෂ්පාදනය කළ හැකි බවට ආයුර්වේද කොමසාරිස් සහතිකයක් දී තිබෙනවා. පැණිය නිෂ්පාදනය කිරීමේ ප්‍රශ්නයක් නැහැ. එමෙන් ම එය ආහාර පරිපූූකයක් ලෙසත් අනුමත වෙලා තියෙනවා. පැණිය අවශ්‍ය අයට බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කරන්න පුළුවන්. ඒ සඳහා අර නැහැසුම් ප්‍රතිඵල බලා ඉන්න ඕන නැහැ. 


මා හිතන්නේ ඒ නැහැසුම් අවශ්‍ය වන්නේ බටහිර වෙද මහතුනට පැණිය ඖෂධයක් ලෙස බටහිර රෝහල්වල හා ඔවුන්ගේ බෙහෙත් ශාලාවල නියම කිරීමටයි. ආයුර්වේදයේ හා හෙළ වෙදකමද ඇතුළත් පාරම්පරික වෙදකමේ පැණිය බෙදා හැරීමට ප්‍රශ්නයක් නැහැ. ආයුර්වේදය හා පාරම්පරික වෙදකම  බටහිර වෙදකමේ නැහැසුම් පරීක්‍ෂා අවසන් වන තුරු ඉන්න ඕන නැහැ. රෝගීන් හා වෙනත් අය පැණිය ඉල්ලනවා. වසක් විසක් නැති ඖෂධයක් වූ පැණිය බෙදා හැරීමට සුදුසු වැඩ පිළිවෙළක් සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ බටහිර වෙදකමේ පමණක් අමාත්‍යාංශයක් නො වෙයි.